රතු සෝගම් ලියූ මෝ යැංගේ හදවත
චීන ජාතික මෝ යැංගේ රතු සෝගම් නවකතාව චූලානන්ද සමරනායක විසින් සිංහලට නඟා තිබෙනවා. මේ මෝ යැංට පසුගිය වසරේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග හිමිවුණා. ඔහු වෙනුවෙන් කියැවුණු ප්‍රණාමයේ සඳහන් වූ පරිදි ඔහුට නොබෙල් තෑග්ග හිමි වුණේ ඔහු අතිශයෝක්තිය, උපහාසය හා ජනකතා හා මිථ්‍යා ඇසුරින් ලත් ආභාසය හරහා කොමියුනිස්ට්වාදී ප්රචාරාත්මක ඉතිහාසය වෙනුවට පනස් වසරක අතීතය අවබෝධාත්මක හා විවේචනාත්මක අයුරින් විවරණය කළ නිසායි. මේ කියමනත් සමග නොබෙල් සාහිත්‍ය තෑග්ග පිළිබඳ ජනප්‍රිය වාම අදහසක් වන මේ වනාහි ධනවාදී හා සමාජවාද විරෝධී සාහිත්‍ය ප්‍රවර්ධනයක්ය කියන මතය නැවත ඉස්මතු කරගන්න පුළුවන්. ඒත්, සමාජවාදී හෝ ධනවාදී හෝ ප්රචාරාත්මක සාහිත්‍යය ගුණයෙන් දුබලයි කියන අදහස එයින් යටපත් කරන්න බැහැ. සාහිත්‍යයෙන් දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කළයුතු කාරණයක්. අපට යම්, යම් චරිත වීරත්වයට නඟන්න පුළුවන්. සිද්ධි අර්ථකථනය කරන්න පුළුවන්. ඒත්, සාහිත්‍යය කියන්නේ කර්තෘගේ පමණක් නොවෙයි, පාඨකයාගේත් කාර්යයක්. එතකොට කර්තෘ කුමන අර්ථ ජනනය කරන්න උත්සාහ කළත් වැදගත් වන්නේ ඒ ඔස්සේ පාඨකයා සමග ඇති වන...