අපේ දරුවන්ට ඇත්ත කියමු -ඌරුවරිගේ වන්නියලැත්තෝ
(2010 ජනවාරි 01 - W3Lanka ) (දෙසැම්බර් 23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.) මගේ වයස අවුරුදු 62 යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑ...