අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence
අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය. සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ. ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය. බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය. ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති. පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත්...