පොදු අපේක්ෂක කුමන්ත්‍රණයෙන් අන්තිමට වුණේ මොකක් ද?
විපක්ෂය පොදු අපේක්ෂකයකු සොයමින් සිටියි. විමල් වීරවංශ කියන හැටියට එය හරියට රියැලිටි වැඩසටහනක් වැනි ය. පොදු අපේක්ෂක කතිකාව මේ මොහොත වන විට නම් ක්‍රීඩා කරමින් සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොටුව තුළ ය. රනිල්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි, මෛත්‍රීපාල, අර්ජුන, සුනේත්‍රා බංඩාරනායක හා ශිරානි බංඩාරනායක වැනි නම් රැසක් කියවෙමින් තිබේ. විපක්ෂය සොයමින් සිටින්නේ මහින්ද තරමට ම ජාතිවාදීන්ට හා ගැමියන්ට අලෙවි කළ හැකි, ඒ තරම් ම ව්‍යාජ, ජනතාවට බොරු ආදරයක් පෙන්විය හැකි, මහින්දගේ පිරිමි යයි කියන පෙනුම ඇති කෙනෙකි. එහෙත්, පොදු අපේක්ෂකයකු ලෙස ගොඩනැගිය යුත්තේ මහින්දට විකල්පයක් මිස තවත් මහින්ද කෙනෙකු නොවේ. මේ කිසිවකුට මහින්දගේ වංචාකාරිත්වයට අලගු තබන්නටවත් බැරි ය. ඔහු සිය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය පවා කරන්නේ මහජන මුදලිනි. මේ නම් ලැයිස්තුවේ සිටින වඩාත් ම දේශපාලන සත්වයා කවුරු ද? මම නම් සිතන්නේ රනිල් ය කියා ය. අනෙක් අය හුදු කදෝපැණියෝ පමණි. රනිල්ට පුළුවන් ද? මේ අපේ රටේ ජනතාව අසන ප්‍රශ්නයයි. එහෙත්, ඇසිය යුතුව තිබෙන ප්‍රශ්නය එය නො වේ. පොදු අපේක්ෂකයා තෝරා ගන්නේ කවුරු ද? ...