ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සියදෙනෙකුගෙන් එක්කෙනයි - ලෝක බැංකුව
(2009 දෙසැම්බර් 07 - W3Lanka ) ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සෑම පුද්ගලයන් 100කගෙන් ම එක් අයෙකු බව අලුත් ම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. මෙය වසර 2000දී පැවතියේ 0.2%ක් තරම් පහත් මට්ටමකයි. Information and Communications for Development 2009: Extending Reach and Increasing Impact නම් වූ පසුගිය සිකුරාදා නිකුත් කරන ලද වාර්තාවට අනුව, පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා හා ආර්ථික වර්ධනය අතර සම්බන්ධයක් තිබේ. පුළුල් පරාස හෙවත් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 10%කින් වර්ධනය වන විට රටේ ආර්ථික වර්ධනය 1.3%කින් ඉහළ යන බව ලෝක බැංකුවේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති විශේෂඥ ටෙන්සින් ඩොල්මා නොර්බු මෙම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවේදී පැවසීය. වාර්තාවට අනුව, 2007 වන විට ලංකාවේ පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය සමස්ත අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාවෙන් 31.3%කි. ලංකාවේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය මේ වන විට 16% ඉක්මවා තිබේ. 2004දී මෙය පැවතියේ 9.7% මට්ටමේ ය.