‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

( 2010 අගෝස්තු 24, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහ ) ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි. පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී. මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.‛ කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද? නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි. ...