අමරදේවයන්ගේ උපන් දිනය අද
(2009 දෙසැම්බර් 05 - W3Lanka ) දේශපාලකයන් ඉදිරියේ දණින් නො වැටුණ ලංකාවේ අදීන කලාකරුවන් අතළොස්ස අතින් ප්‍රමුඛයකු වන අමරදේව ගාන්ධර්වයාණෝ අද 82වන උපන් දිනය සමරයි. අපි ඔහුට දීර්ඝායු පතමු. 1927 දෙසැම්බර් 05දා මොරටුවේදී වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා ලෙස උපත ලද ඔහු ශාන්ති නිකේතනයෙන් සංගීතය උගෙන අද දක්වා ම සංගීතය ම සිය භාවිතාව කරගෙන සිටින්නේ ඔහුගේ සමකාලික කලාකරුවන් බොහෝදෙනෙකු සරස්වතිය වෙනුවට දේශපාලකයන්ගේ සාක්කුවේ සිටින්නේ යයි සිතන ලක්ෂ්මිය වන්දනා කරමින් සිටියදී ය. ලාංකීය සංගීතයේ අමරණීය නිර්මාන රැසක් බිහි කර ඇති අමරදේවයන්ට කලා කීර්ති, දේශමාන්‍ය වැනි ලංකා රජය විසින් සොරුන්ට පවා දී ඇති පට්ටම් ද, ඉන්දියාව විසින් පිරිනමන සම්භාව්‍ය සම්මානයක් වූ පද්ම විභූෂණය ද, පිලිපීනය විසින් පිරිනමනු ලබන රැමොන් මැග්සේසේ සම්මානය ද ඇතුළු සම්මාන රැසක් හිමි වී තිබේ. මාලදිවයින් රජයේ ආරාධනයක් මත එරට ජාතික ගීය නිර්මානය කළේ ද අමරදේවයෝයි.