සරත් ෆොන්සේකාට එරෙහිව කුමන්ත්රණ චෝදනා නැහැ | No conspiracy charges against Sarath Fonseka
(2010 මාර්තු 12- W3Lanka ) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ රජය පෙරළා හමුදා පාලනයක් පිහිටුවීමට මහා කුමන්ත්රණයක් මෙහෙයවූ බව කියමිනි. ඒ කුමන්ත්රණයේ එක් ජවනිකාවක් රඟ දක්වනු ලැබුවේ ජනාධිපතිවරණයදා රාත්රියේ සිනමන් ලේක් හෝටලයේ යයි ද කියන ලදී. කුමන්ත්රණය අනුව ජනාධිපතිවරයා හා ඔහුගේ පවුල ඝාතනය කිරීමට ද සැලසුම් කර තිබූ බව ජනාධිපතිවරයා පවා කීවේය. එහෙත්, දැන් විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධ හමුදා පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා හත අතර රජය පෙරළීමට හෝ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට අදාළ චෝදනා කිසිවක් නැත. චෝදනා හතක් විභාග කිරීම සඳහා සේනාධිනායක වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධාධිකරණ දෙකක් පත් කර තිබේ. මෙම යුද්ධාධිකරණ දෙකේ විනිසුරු මණ්ඩල සභාපති ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග සහ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති. මේ යුද්ධාධිකරණ දෙක හමුවේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා විභාග කිරීම මේ මස 16 හා 17 දෙදින ආරම්භ කෙරේ. නාවික හමුදා මූල...