පලතුරු මුදලාලි ‘‘මළාට නො කියන’’ඇපල් ගෙඩියේ බියකරු කථාව
ක්ලෙමන්ට් නාමල් පීරිස් විසිනි (2010 අගෝස්තු 05, W3Lanka ) ස්වභාව ධර්මය සහ මිනිසා අතර පවත්නා සෘජු සබඳතාවයන්ගේ හොඳම උදාහරණය පලතුරු සහ මිනිසා අතර ඇති සබඳතාවයයි. අප එසේ කියන්නේ අප ගන්නා සෑම ආහාරයක්ම බොහෝ විට පිස, සැකසූ හෝ රසකාරක දමා අනුභව කරන මුත් අප කෙලින්ම පලතුරු අනුභව කරනු බැවිනි. පලතුරු මිල දී ගැනීමට වෙළඳපොලට යන බොහෝ දෙනකු ගේ නෙතට හසු වන්නේ පිටපොත්ත දිලිිසෙමින් තිබෙන පලතුරු ය. මායාකාරියගේ කූඩයේ තිබු විෂ යෙදූ දිලිසෙන ඇපල් ගෙඩිය මෙහිදී සිහියට නැඟෙයි. එය අදට ද ගැලපෙන බවක් දැකිය හැකිය. දිලිසෙන ඇපල් ගෙඩිය කෑ හිම කුමරියට සිදු වූ දෙයම පාරිභෝගිකයාට සිදු වීමට හොඳට ම ඉඩ තිබෙන බව සිහියට නැගීම වටී. අනෙක් බෝග වර්ග කෙසේ වෙතත් බොහෝමයක් පලතුරු අප ගන්නේ අමු තත්ත්වයෙනි. එනම් ඒවා පිසීමකට භාජනය නොවේ. මේවායෙහි යම් කිසි විෂ භාවයක් අන්තර්ගත වී තිබේ නම් මිනිස් සිරුරට ඒවා ඇතුලත් වීම වැලැක්විය නොහැක. විදේශීය රටවල සිට ගෙන එනු ලබන ඇපල් දොඩම්, චෙරි, මිදි වැනි පලතුරු වර්ග දීර්ඝ කාලයක් ගත කර මෙරටට ලඟා වෙයි. තොග වෙළඳුන් විසින් සිල්ලර වෙළඳුන් හට ලබා දෙන එම පලතුරු පසුව පදික වේදිකාවල සිට සුපිරි වෙළඳසැල්...