අරාබි වසන්තය හා ලංකාවේ 2015 ජනාධිපතිවරණය
ලංකාවේ ඒකාධිපති දූෂිත පාලනය පලවා හැරීමේ අවශ්‍යතාව අද රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඒ වෙනුවෙන් ඉවහල් කර ගත හැකි මහජන රැල්ලක් ද රටේ නිර්මානය වී තිබේ. පාලක මහින්ද රාජපක්ෂ රෙජිම නිරතුරුව කියන කරුණක් වන්නේ තමන් පලවා හැර ලංකාවේ රජය දුර්වල කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බවයි. ජනාධිපතිවරණයේදී තමන් පැරදවීම සඳහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව පවසන ඔහුට මේ ජනාධිපතිවරණය නියමිත කලට පෙර කැඳවා ගත්තේ තමන් ම බව අමතක වී තිබේ. තමන්ට එරෙහිව අරාබි වසන්තයක් ඇති කිරීමට උත්සාහ කරන බව ද ඔහු පවසයි. ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි හා සිරියාවේ අසාද් වැනි කුප්‍රකට ඒකාධිපතියන් පලවා හැරීම ඔහු හඳුන්වන්නේ ශක්තිමත් පාලකයන් පලවා හැරීමේ බටහිර කුමන්ත්‍රණ ලෙසයි. ඔවුන් පලවා හැරීමෙන් පසු ඒ රටවල් අරාජික වී ඇති බව ද ආණ්ඩුව පවසයි. මෙය ඇත්තක් ද? ඒ ගැන පිළිතුරක් දෙන්නට පළමු අරාබි වසන්තය ලෙස හඳුන්වන ක්‍රියාදාමය සිදු වූ රටවල ඇත්තෙන් ම සිදු වූ දේ කුමක් ද යන්න විමසා බලමු. 2010 ජුලි මස ටියුනීසියාවේ රැකියා විරහිත උපාධිධාරියකු ජීවත් වීම සඳහා එළවළු විකුණමින් සිටි කරත්තය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ග...