මගේ පරණ සහෝදර සහෝදරියන්ට පොදු පැහැදිලි කිරීමක්

 

අජිත් පැරකුම් ජයසිංහ

උඹලා හිතනවා උඹලා වැඩිදෙනෙකු කැමති වෙන එකට මං ඇයි විරුද්ධ වෙන්නෙ කියලා. එහෙම වෙන්නෙ ඇයි කියන එක මං ඇති තරම් පැහැදිලි කරලා තියෙනවා.

සරලව කිව්වොත්, වර්තමානයේ ලංකාවෙ තියෙන්නෙ ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තත්වයක්. මීට කලින් ලංකාව බංකොලොත් වෙලා නැහැ. රාජ්‍යය දේශපාලනිකව අභියෝගයට ලක්වුණාට, මේ වගේ ආර්ථික හේතු මත බිඳවැටෙන තත්වයට පත්වෙලා නැහැ. ලංකාව ආර්ථික වශයෙන් ගොඩයනවද නැතිනම් සදාකාලික අගාධයකට වැටෙනවද කියන එක තමයි මෙතන ප්‍රමුඛ ප්‍රශ්නය.

ආර්ථිකය කළමනාකරණය කරගන්නට අසමත් වුණොත්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ ඒවා විතරක් නෙමෙයි, වර්තමාන ශ්‍රී ලංකා ජනරජය කියන එකත් පවතින්නෙ නැහැ. ඒක වෙනම සංදර්භයක්.

මේ වෙලාවෙ මේක ගොඩදාන්න හැකියාව තියෙන එකම නායකයා රනිල් කියල තමයි සියලු සාධකවලින් පෙන්වලා තියෙන්නෙ. වෙන කිසිම නායකයෙකු එහෙම හැකියාවක් පෙන්නලා නැහැ. ජනතාවට තීරණය කරන්න දෙන්නය කිව්වට ජනතාවට තෝරගන්නවත් හැකියාවක් තියෙන කිසිවෙකු නැහැ. අනෙක, මං නම් කවදාවත් ඔය ජනතාවගේ ජනප්‍රිය අදහස් එක්ක හිටගත්ත කෙනෙකු නෙමෙයි.

රනිල්ගෙ අනෙක් අඩුපාඩු මෙතනදි අදාළ නැහැ. ඔහු තත්වය මනාව කළමනාකරණය කරනවා. උදාහරණයක් විදියට, ලංකාව ආර්ථික වශයෙන් ගොඩදාගන්න අවශ්‍ය ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ දෙකක් ඔය ඡන්ද කලබලය අතරෙ කළා.
1. බදු ප්‍රතිසංස්කරණය
2. විදුලිය සම්බන්ධ පිරිවැය අනුව මිලකරණය

මේවා ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ. පහසුවෙන් කරන්නටත් බැරි ඒවා. මම හිතන විදියට අනුර කුමාර පවා කරන්නෙ අවධානය වෙනතකට යොමු කර කළමනාකරණය කිරීම. අනුර හා රනිල් අතර අවබෝධයක් තිබෙනවා. පසුගිය දවස්වල අසාර්ථක වුණ සංකේත වර්ජනය අතර රාජ්‍ය ආයතනවලට පෞද්ගලික බැංකුවල ගිනුම් අරින්නට අවසරත් ලබාදුන්නා. දැන් ශ්‍රීලන්කන් වගේ ආයතන පෞද්ගලීකරණය කරන්නෙ නැත්තෙ ඇයි කියලා අහන ජනමතයක් ගොඩනැගිලා තියෙන්නෙ. සමාජ පරිවර්තන වෙන්නෙ එහෙමයි.

මේ පරිවර්තනය අත්‍යවශ්‍යයි. දුෂ්කරයි. ඒක කරගත්තෙ නැතිනම් ලාංකීය රාජ්‍යය වගේම සමාජයත් අස්ථාවර වෙන එක නවත්තන්න බැහැ. මොකද, විරුද්ධ වෙන අය මිසක් විකල්ප යෝජනා කරන අය නැහැ. උඹලා විකල්ප විදියට ගෙනාපු අදහස් ඔක්කොම මේ මොහොතෙ ක්‍රියාත්මක කරන්න බැරි ඒවා. විසඳුම් ඕනැ මේ දැන්. රාජපක්ෂලාගෙ හොරකං අල්ලනකල්, රටින් පිට තියෙනවාය කියන මුදල් ගේනකල් කල්ගන්න පුළුවන් තත්වයක් නැහැ. ඒව අනුරගෙ ආණ්ඩුවක් යටතෙ කරයි. අනෙක, ඔය සල්ලි පිළිබඳ තියෙන්නෙ අනුමාන. ඒවායෙ නියම වටිනාකම ගැනවත් කාටවත් තක්සේරුවක් නැහැ. ඒ සල්ලි මේ රටට ගෙනෙන විදිය ගැන කාටවත් කිසිම අදහසක් නැහැ. ඕවා විකල්පයක් ඉදිරිපත් කරන්නට අසමත් වීමේ විලි ලැජ්ජාවට කියන ඒවා මිසක් ප්‍රායෝගික විසඳුම් නෙමෙයි.

ලංකාවට ඔප්ෂන් නැත්තෙ විසඳුම් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. නායකත්වය සම්බන්ධයෙනුත් විකල්ප නැහැ. අනුර, සජිත්, චම්පික ත්‍රිත්වයට අනාගත නායකයන් වෙන්න විභවයක් තියෙනවා. හැබැයි, මේ මොහොතෙ ඔවුන්ට මේ පරිවර්තනයට නායකත්වය දෙන්නට බැරි බව ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා පොඩ්ඩක් ඔහොම ඉන්න.

රනිල් දැන් වියපත්. ඔහු මේ වෙලාවෙ අවශ්‍ය දේ කරනවා. මැතිවරණ වියදම් සීමාකිරීමේ නීති උදාහරණයක්. දැන් ජාජබට කොහෙන් හරි සල්ලි ගොඩක් එන නිසා උඹලට ඒකත් ප්‍රශ්නයක් වෙලා වගේ. කොහොම වුණත්, ඒ වගේ සල්ලි උල්පත් නැති සාමාන්‍ය දේශපාලන ක්‍රියාධරයන්ටත් දේශපාලනයට පිවිසෙන්න ක්‍රම සම්පාදනය කළ යුතුයි. පළාත් පාලනයේ තරුණ නියෝජනය වැඩි කරන්නට ඕනැ. පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව අඩුකරන්නට ඕනැ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඕනැ. මේ ප්‍රතිසංස්කරණ ටික කරන්නට තියෙන වෙලාව අපතේ හරින්නට හොඳ නැහැ.

ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. උඹලා මොනවා හිතුවත් මට කමක් නැහැ. ඒ කාලෙ වගේම තමයි. මම මේ වැඩේ කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඔව්, අපි කරනවා. බැරි වුණොත් උඹලා දිනුම්. එච්චරයි. අපි සාර්ථක වුණොත්, සමහරවිට ආයෙමත් දෘෂ්ටිවාදී දේශපාලනය කරන්න මාත් එයි. එතකල් මං කරන්නෙ තත්කාර්යවාදී හෙවත් ප්‍රැග්මැටික් පොලිටික්ස්.

මෙයට,
පැරා

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා