මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන්

අජිත් පැරකුම් ජයසිංහ

මැයි 9 ගැන මං එදා සිටම හිතන විදිය මං විවෘතව කියල තියෙනවා. ඒ ගැන අඛණ්ඩව අධ්‍යයනය කිරීමෙන් මං දැන් ඒ චිත්‍රය දකින හැටි මං විවෘතව කියනවා. මේ මගේ සිතීමේ නිදහස. හැමෝම හිතන ජනප්‍රිය විදිවලට මාත් හිතන්න ඕනැ කියල හිතන අය සිතීමේ නිදහසට ගරුකරන්න ඉගෙනගන්න.

මැයි 9 වෙනකොට අරගලය දියවෙලා තිබුණෙ. හැබැයි, ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය තීව්‍ර වෙලා තිබුණෙ. ජනාධිපති ගෝඨාභය අගමැතිටත් ඉල්ලා අස්වෙන්න කියල තිබුණෙ. රාජපක්ෂ පවුලෙ බලය ඒ පවුලෙම කෙනෙකු බිඳදමමින් තිබුණෙ. හැබැයි, ඒකට සමාන්තරව වෙනත් බලයක් ගොඩනැගෙමින් තිබුණෙ නැහැ. රට අරාජික වෙමින් තිබුණෙ. අලුතෙන් බස්සපු මහබැංකු අධිපති අනවශ්‍ය හදිසියකින් රට බංකොලොත් කරල තිබුණෙ. ඒ වෙනකොට ඇමරිකාව වැඩේ අතට අරගෙන තිබුණෙ.

මැයි 9 සමස්ත සිද්ධියම ස්ටේජ් කරපු එකක් කියලායි මම හිතන්නෙ. දේශබන්දු වැඩ කළේ කෙළින්ම ජනාධිපති උපදෙස් මත. ගෝල්ෆේස් එකට ගහන එක වළක්වන්න තියෙද්දි වැළැක්වුවේ නැද්ද කියන ප්‍රශ්නෙ අහන්නෙ මම නෙමෙයි, අරගලයෙම නීතීඥයො. එහෙම තියෙද්දිත් ඔහු අත්අඩංගුවට ගත යුතුයි කියන නීතිපති උපදෙස් පවා ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. දැන් කවුරුවත් ඒක ලොකුවට ප්‍රශ්න කරන්නෙත් නැහැ.

මැයි 9 ප්‍රහාරය සිරස ඇතුළු මීඩියා අධි සංවේදී විදියට ප්‍රචාරය කළා. මහජන අනුකම්පාව නිර්මාණය කළා. එහෙම අනුකම්පාවක් මැයි 9 උදේ වෙනකොට තිබුණෙ නැහැ. ජනතාව හිටියෙ දැඩි පීඩනයක, අසහනයක. හැබැයි, ජනතාව ගෝල්ෆේස් අරගලය අමතක කරල දාල තිබුණෙ. ප්‍රහාරය එල්ලවෙන වෙලාවෙ එතන 40ක්වත් හිටියෙ නැහැ කියල තමයි වාර්තා වෙන්නෙ.

එක පැත්තකින් සිරස වගේ මාධ්‍ය මහජන වෛරය අවුස්සන අතරෙ කට්ටියක් බැහැලා බස් ගිනිතියන්න පටන්ගත්තා. හෙල්මට්වලින් ගහ ගහ කුඩු කළා. හිඟවෙලා තිබිච්ච පෙට්‍රල් ගිනි තියන්න සං සං ගාලා ආවා. සමාජ මාධ්‍යවල කට්ටියක් එක එක්කෙනාගෙ ගෙවල් තියෙන තැන් ගැන ප්‍රචාරය කරන පෝස්ට්ස් දාලා පස්සෙ ඩිලීට් කළා. ඒ ගෙවල්වල ටොයිලට් කඩන එක විශේෂයෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්.

සංවිධානාත්මක කට්ටියක් හිටිය බව පෙනෙනවා. ඒත්, ඒ කවුද කියලා තවම දන්නෙ නැහැ. රනිල් ඇඟිල්ල දික්කරන පෙසප එහෙම කළාය කියලා මං කියන්නෙ නැහැ. පෙසපට ඒකට අවශ්‍ය ශක්තිය හා ධාරිතාව නැහැ. ඒක මිලිටරි පන්නයේ වැඩක්.

පොලිසිය නිකම් හිටියා. හමුදාවට නියෝග දුන්නෙ නැහැ. ඒ වගේ ප්‍රහාරයක් පොහොට්ටුව බලාපොරොත්තු වුණේ නැහැ. මුහුණදෙන්න කිසිම සූදානමක් තිබුණෙ නැහැ.

වැටෙන්න ගිය අරගලය නැගිට්ටුවෙ එහෙම. පිටිපස්සෙ හිටියෙ ඇමරිකාව කියල මං කියනවා. අරමුණ වුණේ රාජපක්ෂ බලය බිඳින එක. ඒ සඳහා ලංකාවෙ මහා සැලැස්මක් ක්‍රියාත්මක වුණා. රාජපක්ෂ පවුල ඇතුළෙන්ම කඳ පණුවෙකුත් හොයාගෙන තිබුණා.

රාජපක්ෂ බලය බිඳින්න අපටත් අවශ්‍යයි. හැබැයි, ඒ එක්කම සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යයත් බිඳදමන විදියට තමයි බලවේග පෙළගැසුවෙ. මැයි 9න් පස්සෙ හැදුණු සන්ධානය බලන්න. ඒකෙ නායකයන් අති බහුතරය සිංහල-බෞද්ධ-ගොවිගම නෙමෙයි. කවුරු කොහොම කිව්වත්, සිංහල-බෞද්ධ-ගොවිගම බලවේගය මේ රටේ ජනගහනයෙන් 50%කට වැඩියි. ඒ බලවේගය තමයි, ජාතිවාදය, දූෂණය, මුග්ධකම, හිතුවක්කාරකම මැදින් ශ්‍රී ලංකාව කියන මේ රාජ්‍යය මේ විදියට පවත්වාගෙන ආවෙ. මේක වඩා ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්නට තියෙන සියලු අවස්ථා විනාශ කළෙත් ඒ අයම තමයි.

ඒ ශ්‍රී ලංකාව බිඳදමන්නට ආපු ප්‍රධාන අභියෝගය තමයි දෙමළ අරගලය. ඒක රාජපක්ෂලා එන්න කලින් ඉඳන්ම තිබුණා. රාජපක්ෂලා ආවෙත් ඒක නිසා. මං දෙමළ අරගලයට උදව් කළ කෙනෙක්. හැබැයි, කොටි සංවිධානය බලය බෙදාගැනීමේ සම්මුතිය වෙනුවට යුද්දෙ තෝරගත්තා. මහින්ද යුද්දෙන්ම වැඩේ අවසන් කළා. ඒ වෙලාවෙ දෙමළ ඩයස්පෝරාවට එල්ටීටීඊය සමූලඝාතනය කරන එක වළක්වාගන්න බැරිවුණා. ඒ නිසා එතන ඉඳන් ගේම ඉල්ලන්නෙ යුද අපරාධ ඉස්සරහට දාගෙන. දෙමළ ඩයස්පෝරාවට බටහිර දැක්ම පාලනය කරන්නට සිංහලයන්ට නැති හැකියාවක් තියෙනවා. ඔවුන් ඒක පාවිච්චි කරනවා.

මහින්දලාගෙ ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවෙ ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම පාලනය කරගන්න බැරිවුණා. ඒක එන්න එන්න උත්සන්න වුණා. හැබැයි, ඒකෙම නැගලා ජනප්‍රියත්ව ගොඩනගාගෙන නැවත බලයට එන්න ඔවුන්ට පුළුවන් වුණා. බලාපොරොත්තු නැති විදියට කොවිඩ් ආවා. ඒක අස්සෙත් ගෝඨාභය ජනප්‍රිය දේශපාලනය කළා. කවදා හෝ කරගහන්න නියමිත වුණ ණය අර්බුදය බලාපොරොත්තු වුණාට කලින් එනකොට බලයෙ හිටියෙ ගෝඨාභය. රාජපක්ෂලාගෙත් මණ්ඩලේ කචල්.

මැයි 9න් පටන්ගත්ත ප්‍රචණ්ඩත්වය මං කියවන්නෙ එහෙම. අරගලය අස්සෙ බස්සපු සල්ලි ආවෙ කොහෙන්ද? හිතල බලන්න (අනුර කුමාරත් නිතර කියනවා හිතල බලන්න කියලා). හැබැයි, ඒ මාස්ටර් ප්ලෑන් එකේ හිල් තිබුණා. සජිත්වත් පැත්තකින් තියලා තවත් ඇමරිකන් ඉත්තෙකු වන ඩලස්ව ජනාධිපති තරගෙට ප්ලේස් කරගන්න පුළුවන් වීම ඒකෙ තවත් ජයග්‍රහණයක්. හැබැයි, ජුලී චංලාට, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට වඩා ස්මාට් විදියට පොලිටික්ස් කරන්න පළපුරුද්දෙන් හැකියාව තියෙන රනිල් වික්‍රමසිංහ වෙන ගේමක් ගැහුවා. දැන් ඇමරිකාවත් පිට්ටු කෑවා වගේ බලාඉන්නෙ. හැබැයි, වැඩේ ඉවර නැහැ.

ආර්ථික පීඩනය නිසා නැවත මහජන නැගිටීම් ඇතිවෙන්න පුළුවන්. හැබැයි, ඒවා කලින් වගේ ‘අම්රගල’ වෙන්නෙ රනිල් බටහිර ඇජෙන්ඩා එකේ තියෙන පොයින්ට්ස්වලට ඇඩ්‍රස් කරන විදිය අනුව. ඒ කියන්නෙ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කරන කටයුතු, යුද අපරාධ සම්බන්ධයෙන් කරන කටයුතු ආදිය මත. කොහොම වුණත්, ජනාධිපති ධුරයෙ ඉන්නෙ ගෝඨාභයවත්, ඩලස්වත්, සජිත්වත් නොවීම තමයි වෙනස. ඒ වගේම පොහොට්ටුව සීන් එකෙන් අවුට් වුණේ නැහැ. හැබැයි, උන් අම්බානකට බයවෙලා තවමත් කකුල් මැන්ඩලින් ගහගහ ඉන්නෙ. බටහිර න්‍යාය පත්‍රය වෙනුවට ලාංකීය න්‍යාය පත්‍රයක් හදාගන්නා ගමන් මේ දුෂ්කර මොහොත පහුකරගන්න මේ වෙලාවෙ දේශපාලනිකව වැදගත් බලවේග දෙක තමයි රනිල් හා පොහොට්ටුව. ජවිපෙ බලයක් ගොඩනගාගන්න එකේ අවුලක් නැහැ. හැබැයි, ජවිපෙ දැනගනන්න ඕනැ බටහිර ඇජෙන්ඩා එකට අහුනොවී ඉන්න. සජිත්ට රටේ නායකත්වය අවශ්‍ය නම් ලොකු ටර්න් එකක් ගන්න වෙනවා. එයා දැන් ඉන්නෙ උගුලක් ඇතුළෙ.

බැසිල් බැස්සෙත් ඇමරිකාවෙන් තමයි. හැබැයි, බැසිල් ගැන අලුතෙන් හිතන්න ඕනැ. මීඩියාවලින් නිර්මාණය කරපු බැසිල්ට යටින් ඇත්ත බැසිල් කවුද කියලා මං ස්ටඩි කරනවා. තාම තීරණයක් නැහැ.

අරගලයේ චන්ඩි මගේ සිතීමේ නිදහසට එරෙහිව මොන පොර ටෝක් දුන්නත් උන් දන්නෙ නැති කාරණයක් තියෙනවා. ඒ තමයි උන්ට නායකත්වය දුන්නෙ ඇමරිකාව කියන එක.

(පිංතූරෙ තියෙන පෝස්ට් එක මහින්ද දේශප්‍රිය දාපු දවස මතකද? එදා මාත් කිව්වා සාකච්ඡා කරන්න ඕනැ කියලා. ඒ වෙලාවෙ මට කුණුහරුපෙන් බැන්නෙ කවුද දන්නවද? මගෙත් එක්ක ඒ දක්වා කිසිම අවුලක් නොතිබුණු ඇමරිකාවෙ ඉන්න ලංකා ඊ නිව්ස් පොර. ඒ පොර විතරක් නෙමෙයි, ඒ කාලෙ ඇමරිකාවෙ ඉඳන් මට කතාකරපු තවත් අය හිටියා. මේ වෙනකොට ඒ අය කතාකරන්නෙවත් නැහැ. අන්‍රයිය කියනවා වගේ හිතල බලාන්න.)

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු