අපි කන හැටි ලිපා දනී

 

අජිත් පැරකුම් ජයසිංහ

ළමයින්ට හෙට ඉඳන් ඉස්කෝලෙ. බයිසිකලේ හැන්ඩල් එකේ කිරිපිටි කිලෝ එකයි බිත්තර දහයයි ෂොපිං බෑග් දෙකක දාලා එල්ලගෙන ආවා. හරිනම් සේප්පුවක දාන්න වටින්නෙ. රුපියල් තුන්දාස් පන්සීයයි. බිත්තරකාරයාගෙන් වැඩිපුර පිදුරු ටිකක් ඉල්ලගත්තා, ෂොකැබ්සෝබර් කරන්න. ඇයි යකෝ බිත්තරයක් බිඳුනොත් පනස් අටක්.

ඇත්තම කිව්වොත්, අපි පරිභෝජනය එතරම් අඩුකරලා නැහැ. බ්ලැකීටත් උදේට කිරි කෝප්පයක් දෙනවා. එයාට වෙනම මස් මාළුත් දෙනවා. අපට අඩු කළත් එයාට අඩුවක් කරන්නෙ නැහැ. මොකද, එයා මේ හුටපට දන්නෙ නැහැ.

ඉස්සර ඉඳන්ම අපි අධි පරිභෝජනයක් කළේ නැහැ. අපේ ගානට තමයි කළේ. ළමයි කැමති දේ අඩු නැතුව දුන්නා. භාණ්ඩ හිඟය අඩුවීමත් එක්ක අපි ඒ ගානට නැවතත් පරිභෝජනය කරනවා, ඕනැ බම්බුවක් කියලා. කොටින්ම බෝතලයක් ඉවරවෙනකොට බෝතලයක් ගානෙ මගේ බ්‍රෑන්ඩ් එක වන සංස්ථා ඕල්ඩ් ඇරැක්ම අරන් එනවා. හැබැයි, දැන් මිල අධිකයි. සමස්ත වියදම ඉස්සර වගේ තුන්ගුණයක් විතර.

කොහොමද අපි මේක බැලන්ස් කරගන්නෙ? අන්න ඒ දේ තමයි මං කියන්නෙ. මේක මගේ කතාව විතරක් නෙමෙයි. මධ්‍යම මට්ටමේ ආදායම් ඇති බොහෝ අයගේ කතාව.

විනාඩි පහෙන් පහට වගේ බස් තියෙන පාරක් අද්දර මෑතදී පදිංචියට ආපු නිසා අපට සෑහෙන පෙට්‍රල් ප්‍රමාණයක් ඉතුරුයි. හැබැයි, ඒ චාන්ස් එක ටිකක් සුවිශේෂයි.

ඒකෙන් විතරක් මේක බැලන්ස් කරන්න බැහැ. එහෙනම් කොහොමද?

ඇත්තම කිව්වොත්, අපි මේ අර්බුදය එන්න කලින් මාසෙකට අපේ ආදායමෙන් තුනෙන් එකක් විතර ඉතිරි කළා. ඒකෙනුයි, ණය අරගෙනයි අපි බොහෝ දේ කළා. අපේ මධ්‍යම පන්තික මිතුරන් අපට වඩා ඉතුරු කළා. අපට වඩා දියුණු වෙන වැඩ කළා. අපි වගේ ඇල්ටො ගන්නවා වෙනුවට ජපන් කාර්වලට තමයි යොමුවුණේ. අපි තරම් ණයට බය වුණේ නැහැ.

හැබැයි, කට ඇරියොත් කියන්නෙ නැතිවාදමම තමයි. හරියට අපි ණය ඉල්ලයි වගේ. ඒ වුණාට පොඩ්ඩක් අවුස්සලා ගත්තාම අරින නයි අස්සෙ ඇත්ත තියෙනවා.

දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? අපේ කතාව කියන්නම්. ඉතුරු කිරීම් නැත. තව දියුණු වෙන්නට අපේක්ෂාවක් ද නැත. තවම ගත් ණය ගෙවනු ලැබේ. ණය ගෙවීම දුෂ්කර වන විට සමහරවිට අපට ද පරිභෝජනය අඩුකිරීමට සිදුවනු ඇත.

මේ කතාව මා කීවේ මා ගැන වුව ද, ඔය ඉතුරුම් කතාව බොහෝ මධ්‍යම පන්තිකයන්ට අදාළය. අප වගේ නොව බොහෝ අය කල් තබාම විශාල ණය අරගෙන තිබෙන බැවින් ඔවුන් කරන්නේ ණය ගෙවීමයි. ඉතුරුම් චංචල හා නිශ්චල දේපළයි.

මධ්‍යම පන්තිය දැන් යන්නේ මේ ආකාරයෙනි. පහළ ආදායම් තිබෙන අය ගැන වටින් ගොඩින් අධ්‍යයනය කරමින් සිටිමි.

මේවා සමීක්ෂණ නොවේ. බම්බු සමීක්ෂණවලට ඔය හැම රෙද්දම අහුවෙන්නේ ද නැත. උදාහරණයක් විදියට, බොහෝ දෙනා පන්සල්වලට, කට්ටඩියන්ට, කේන්දරකාරයන්ට, හොර වෙදුන්ට පුදන පිදිලි මොන සමීක්ෂණයකවත් වාර්තා වන්නේ නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා