මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න

 May 11, 2022 Politics

මෙම සටහන තබන්නේ කිසිවකුට උපදෙස් දීමට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ අවස්ථාවේදී මා සිටින්නේ මගේ ගෙදර හාන්සි පුටුවකය. ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව සිතමි. අරාජිකත්වය නැතිකිරීම සඳහා විශ්වාසය තහවුරු කළ හැකි කිසිදු නායකයෙකු ලංකාවේ නැති නිසා මා නම් සිතන්නේ ලංකාවට ඉක්මණින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකෝප කිරීම සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගත යුතුය. ප්‍රති ප්‍රචණ්ඩත්වය එමෙන් ලක්ෂ වාර ගණනක් ප්‍රචණ්ඩය. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් අත්අඩංගුවට ගැනීමට, නීතිය ක්‍රියාත්මක කිරීමට, රඳවා තැබීමට තරම් ශක්තියක් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ගොනු කළත් නිර්මාණය කළ නොහැක.

ප්‍රති ප්‍රචණ්ඩත්වය සිදුකළ විනාශයට අප සැම වගකිවයුතු බව තේරුම්ගත යුතුය. විනාශ වූ රට හැදීම මා ආරම්භ කළ යුත්තේ මගෙනි. ඊයේ දවසේ මා නම් ගිනිතැබූ පිංතූරයකට ලයික් එකක්වත් දැම්මේ නැත. ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කිසිවෙකුට හිනාවුණේ නැත. වධහිංසනය ගැන මට තිබෙන අත්දැකීම් නිසා මට ඔවුන්ගේ මානසිකත්වය වැටහේ. අප කරන්නේ සන්නිවේදනයයි. අපේ මැදිහත්වීම එය මිස මොබ් සමග ඊනියා ‘මැදිහත්වීම’ නොවේ. මොබ් යනු බුද්ධියෙන් තොර කලාප බව දන්නා නිසා මා නම් කිසිදු මොබ් එකක් සමග නොගියෙමි. සමාජ මාධ්‍ය මොබ් චර්යාවන්ගෙන් සිතාමතා වැළකුණෙමි. පසුතැවෙන්නට කිසිදු වරදක් නොකළත්, මේ විනාශය වළක්වාගැනීමට පුරවැසියකු ලෙස අසමත්වීමේ මගේ වගකීමෙන් මට මිදිය නොහැකිය.

මෙවැනි ඉල්ලීමක් මගේ මිතුරන්ගෙන් කිරීම පවා නුසුදුසු බව අපේ ඇතැම් පැරණි මිතුරන් පවා කරන තර්ජන අනුව සිතේ. එහෙත්, බොහෝ උගත්, බුද්ධිමත්, මානව හිතවාදී පුරවැසියන් ඊයේ දවසේ සමාජ මාධ්‍යවල හැසිරුණ ආකාරය නිරීක්ෂණය කළ අයෙකු ලෙස එළියේ විනාශකාරී ලෙස හැසිරුණු මිනිසුන් ගැන කිසිසේත්ම පුදුම නොවෙමි.

මොබ් යනු බුද්ධියට ඉඩක් නැති තැනක් බවත්, එහි තිබෙන්නේ හැඟීම් නොව ආවේග බවත් තේරුම් ගන්න. මොබ් චර්යාවන් හා අනුරාගී අරගල එකට පෑහෙන තැනක් නැත. මොබ් විසින් කරනු ලබන්නේ මිනිසා තුළ සිටින ප්‍රාථමික ම්ලේච්ඡයා මතුකරගැනීමයි. ඉන්පසු ඇත්තේ, කැඩීමේ, බිඳීමේ, ගිනිතැබීමේ, හිංසනයේ, ඝාතනයේ සහ අවස්ථාව ලැබේ නම්, ස්ත්‍රී දූෂණයේ පෙළඹවීම් මිස විරෝධය හෝ අරගලය හෝ නොවේ.

ඔබට උපදෙස් දීමට මට බැරිය. මා කරන දේ මම කියමි. මේ මොහොතේ මා නම් කිසිදු උද්ඝෝෂණයකට සහභාගී වන්නේ නැත. එය ක්‍රියාමාර්ගයකි. මෙය කොවිඩ් ව්‍යාප්තිය වැනි තත්වයකි. මොබ් වයිරසය ඔබටත් ආසාදනය විය හැකිය. ඒ නිසා ගෙදර ඉන්න. සමාජ මාධ්‍ය මගින් ද මොබ් වයිරසය වේගයෙන් පැතිරේ. ඒ නිසා හැකිනම් ඒවායින් ද ඈත්වන්න.

ඔබගේ සමාජ මාධ්‍ය චර්යාව මට පෙනේ. ඒනිසා, ඔබ කැමති නම්, පසුව ලජ්ජා වීමට සිදුනොවන පරිදි හැසිරෙන්න.

තමා මෙතෙක් පෙනීසිටි ප්‍රජාතන්ත්‍රවාදය, සාධනීය සමාජ විපර්යාස, මානව හිමිකම්, පුද්ගල නිදහස, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, ජීවත්වීමේ අයිතිය, වධහිංසනයට ලක්නොවීමේ අයිතිය වැනි වටිනාකම් අත්නොහරින්න. අපට නොව සෙසු අයට ඒවා අහිමි වීම වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටින්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා