ප්‍රියන්ත කුමාර නමින් මොබ් ප්‍රචණ්ඩත්වය පිටුදකින්න


 December 4, 2021 Crime Politics

අජිත් පැරකුම් ජයසිංහ

සියලු මොබ් ප්‍රියන්ත කුමාර ඝාතනය කළ මොබ් එකට සමානය. නිස්සංක සේනාධිපති මැදි වූ ගුරු මොබ් එක මෙතරම් ප්‍රචණ්ඩ නොවුණත්, එයට ද පහසුවෙන් ප්‍රචණ්ඩ විය හැකිව තිබිණි.

පසුගිය කාලයේ මහින්දානන්දගේ පඹයන්ට පහරදුන් ගොවි මොබ් ඔබට මතකද? එතැනට ඇත්තටම මහින්දානන්ද තනිව ගියා නම් කුමක් විය හැකිව තිබුණාද?

මොබ්වලට සිංහලෙන් අයුතු ජනරාශි යයි ද කියැවේ. මොබ් එකක් යනු ආවේගශීලී මිනිස් සමූහයකි. එය තුළ තිබෙන්නේ තනි තනි මිනිස් හැඟීම් නොවේ. තනි තනි හැඟීම්වල එකතුවක් ද නොවේ. එය තනි තනි හැඟීම්වල එකතුවට වඩා වැඩි දෙයකි. මොබ් එකක් තුළදී මිනිසුන් හැසිරෙන්නේ තම තර්ක බුද්ධිය අනුව නොවේ. ඒ වෙනුවට ඔවුන් හැසිරෙන්නේ යම් මෝහනයකින් මෙනි.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර අවසන් වන්නේද මේ හා සමාන මෝහනයකිනි. ඡන්ද ප්‍රචාරක රැස්වීම් යනු එම මෝහනය නිර්මාණය කිරීම සඳහා සංවිධානය කරන මොබ් වේ.

මොබ් විවිධාකාරය. අහිංසක මොබ්වල සිට, සංහාරක මොබ් දක්වා විවිධ ප්‍රචණ්ඩත්ව මට්ටම් පැවතිය ද සෑම මොබ් එකක්ම මූලික වශයෙන් එක හා සමානය. එහි ආත්මය වන්නේ සාමූහික බලය පාවිච්චි කරමින් අවශ්‍යතාවන් ඉටුකරගැනීමයි.

2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද?

1983 ජුලි 27, 28 දිනවලදී වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ සිරකරුවන් 52ක් ඝාතනය කරන ලදී. එය බන්ධනාගාර බලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු වූ බව කුප්‍රකට ය. ඉතාලි ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඒ වන විට සිරගතව සිටි සේපාල ඒකනායක එම ඝාතන මෙහෙයවූ අයෙකු බව ඇතැම් අය කියති. එහෙත්, ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු වී නැත. එදා වැලිකඩ බන්ධනාගාරය තුළ දෙමළ සිරකරුවන් ඝාතනය කිරීමට අයුතු ජනරාශියක් සෙසු සිරකරුවන් අතරින් නිර්මාණය වෙද්දී රට පුරා ම අයුතු ජන රාශි විසින් දෙමළ ජාතිකයන් ඝාතනය කරමින් දේපළ විනාශ කරන ලදී.

1987 ජුලි මාසයේදී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පැන නැගුණු මොබ් ප්‍රචණ්ඩත්වය වඩා දේශපාලනික මහජන කැරැල්ලක් බවට පරිවර්තනය විය. පසුව, එය සිංහල ජාතිකවාදී හා ධනේශ්වර විරෝධී දිග්ගැසුණු කැරැල්ලක් විය.

දෙමළ ඊලාම් කැරැල්ල තුළ ද ආරම්භයේ සිට අවසානය දක්වා ම මොබ් ප්‍රචණ්ඩත්වයට මූලික තැනක් හිමි විය.
ජනතාව දේශපාලනයට මැදිහත් වන්නේ බුද්ධියට වඩා හැඟීම්වලට මුල් තැන දෙමිනි. විශේෂයෙන් ම මහජන බල අරගලවලදී බුද්ධියට වඩා හැඟීම් වැදගත් වේ.

වර්තමාන ආණ්ඩුව හිමි පොහොට්ටු දේශපාලනය හා රාජපක්ෂවාදය ද උපරිමයෙන් ම මොබ් ලක්ෂණ සහිත දේශපාලන ව්‍යාපාරයකි. එහි මොබ් රජු වන මහින්ද රාජපක්ෂ වනාහි යන යන තැන මොබ් නිර්මාණය කළ හැකි පුරාවෘත්තයකි.

තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.
ඇතැමෙකු මුළු ජීවිත කාලය පුරාම ජීවත් වන්නේ මොබ් සමග, මොබ් විසින් මෙහෙයවීමට ලක්වෙමින් සහ මොබ් මෙහෙයවමිනි. මෙයට හොඳම උදාහරණ දෙකක් වන්නේ අතුරලියේ රතන හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවරු ය.

මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.

නව යොවුන් හා තරුණ පුද්ගලයන් පහසුවෙන් ආවේගශීලී වන අතර ඔවුන් බොහෝ විට මොබ්වල සාමාජිකයන් වේ. එහෙත්, ඒවා තරුණයන්ට පමණක් සීමා වන්නේ නැත. ඕනෑම අයෙකු ඕනෑම මොහොතක මොබ් එකක සාමාජිකයකු විය හැකි ය. මොබ් වාතාවරණයක් තුළට පිවිසි අයෙකු සාමාන්‍ය පුද්ගල ස්වභාවයන්ගෙන් වෙනස්ව ප්‍රචණ්ඩව හැසිරීමට ඉඩ තිබේ.

මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. එවැනි ක්‍රියාමාර්ග මගින් මොබ් පවා දේශපාලන අරමුණු වෙත මෙහෙයවාගත හැකි නායකත්වයන් බිහි වේ.

හුදු මොබ් මානසිකත්වයෙන් පමණක් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.

මොබ් නායකයන්ට සියුම් ලෙස මොබ් මෙහෙයවිය හැකි ය.

මොබ් හා විප්ලවීය බලවේග යනු එකක් නොවේ. එමෙන් ම දෙකක් ද නොවේ. මොබ් සංවිධානාත්මක අරමුණු කරා යොමු කරගත් විට ඒවා විප්ලව දෙසට යොමු විය හැකි ය. ඒකාධිපතියන්, හමුදා ආණ්ඩු, ජනප්‍රිය නොවන ආණ්ඩු ආදිය පළවා හැරීමට මොබ්වලට හැකි බව ඔප්පු වී තිබේ.

කැරැලි නිසා බලතුලනය වෙනස් වේ. එමගින් සමාජ පරිවර්තන සිදු වේ.

ඔබ මොබ්වලට නායකත්වය දී තිබේද? මොබ් ප්‍රචණ්ඩත්වයට සහභාගී වී තිබේද? මා නම් මොබ්වල සිට ඇත. එසේම, මොබ්වලට මැදිවී අසීරුවෙන් පණ ගැටගසාගෙන ද ඇත.

මොබ් සංවිධානය කරන්න එපා. ඒවාට සහභාගී වන්න එපා.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා