එච්අයිවී නැතුව ආදරය කරන හැටි

 

‘ගණිකා වෘත්තිය’ නීතිගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.

ගණිකා වෘත්තිය කියන වචනෙම තියෙන්නෙ නිශේධාත්මක අර්ථයක්. ඒක විශේෂයෙන් ස්ත්‍රී ලිංගික සේවිකාවන් පිළිකුල් කරන වචනයක්. ගණිකා වෘත්තිය නීතිගත කරනවාය කියන එකම විකාර කතාවක්. වෙනත් ඕනෑම සේවාවක් වගේම ලිංගික සේවා සැපයීමත් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනැ. ඒකට නීතිමය බාධාවක් තියෙනවා නම් ඉවත්කිරීම විතරයි වෙන්න ඕනැ. ලංකාවෙ නීති විරෝධී වෙන්නෙ මම දන්න විදියට නම් ලිංගික සේවා සපයන ස්ථාන පවත්වාගැනීමයි. ඒ නීතිය සංශෝධනය කරන්නට උද්දේශනය කළ යුතුයි.

ශ්‍රී ලංකාව එච්අයිවී ව්‍යාප්තිය අඩු රටකි. රටේ ජනගහනයෙන් දසදහසක් දෙනා අතර එච්අයිවී ආසාදිතයන් දෙදෙනෙකුවත් නැහැ. කෙසේ වෙතත්, 3,500ක් පමණ එච්අයිවී ආසාදිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. අවුරුදු පතා අලුත් රෝගීන් 300කට වැඩි පිරිසක් හඳුනාගනු ලැබේ. 2018 වර්ෂයේදී අලුත් රෝගීන් 350ක් හඳුනාගනු ලැබුවා.

එච්අයිවී ව්‍යාප්තිය වළක්වන්නට හොඳම ක්‍රමය තමයි ලිංගික ක්‍රියාවලදී කොන්ඩම් එකක් පළඳින එක. යෝනි සංසර්ගයේදී වගේම හෝ ඊටත් වඩා ගුද සංසර්ගයේදී කොන්ඩමයක් පැළඳීම වැදගත්. මුඛ සංසර්ගයේදීත් කොන්ඩමයක් පළඳින තරමට ආරක්ෂිතයි.

කෙසේ වෙතත්, ඇතැමෙක් කොන්ඩම් පළඳින්නට කැමති නැහැ. ඒ වගේම සමීප සහකරුවන් අතර විශ්වාසයටත් කොන්ඩම් බලපානවා. සැමියාට කොන්ඩමයක් පළඳින්නැයි කී විට ඔහු ගැන අවිශ්වාසය පමණක් නොවෙයි බිරිඳ ගැන සැමියා තුළ අවිශ්වාසයකුත් ඇතිවෙන්නට පුළුවන්. සැමියා කොන්ඩමයක් පළඳින්නේම ඔහු වෙනත් ලිංගික සම්බන්ධතා පවත්වන නිසාය කියා සිතීමත් ගැටලු ඇතිකරන තත්වයක් විය හැකියි.

ඇතැම් අය කොන්ඩම් මිලදී ගන්නට යන්න ලැජ්ජයි. කොන්ඩම් ළඟ තබාගන්නට ලැජ්ජයි. ඒවා ළඟ තිබිලා අහුවුණාම පවුලේ අය විතරක් නෙමෙයි, පොලිසිය පවා ලෙඩ දාපු අවස්ථා තිබෙනවා.

කොහොමින් කොහොම හරි අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදුවුණා නම්, එච්අයිවී ආසාදනයක් ඇතිවන්නට පුළුවන්. එය හඳුනාගන්නට නම් පරීක්ෂාවක් කරගන්නට ඕනැ. මේ පරීක්ෂාව අමාරු දෙයක් නෙමෙයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ Know4Sure වෙබ් අඩවියට මෙතැනින් පිවිස එච්අයිවී පරීක්ෂාව සඳහා වෙලාවක් වෙන්කරගන්නට පුළුවන්.

වයිරසය ආසාදනය වුණොත් එය දිගටම ශරීරයේ තිබෙනවා. ආසාදිත පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට වයිරසය ආසාදනය වෙන්නට පුළුවන්. හැබැයි, දැන් ඉස්සර වගේ හැම එච්අයිවී ආසාදිතයෙකුම ඒඩ්ස් වැළඳී මියයන්නට අවශ්‍ය නැහැ. නිසි පරිදි දිගටම ප්‍රතිකාර ගත්තොත් පුද්ගලයකුට ඒඩ්ස් තත්වයට පත්නොවී, බොහෝ දුරට සාමාන්‍ය පරිි ජීවිතය ගතකරන්නට පුළුවන්.

මොකක් හරි හේතුවක් මත අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදුවෙනවා නම්, දැන් පූර්ව හා පසු ආරක්ෂක ක්‍රියාමාර්ගත් තිබෙනවා. PrEP (pre-exposure prophylaxis) කියන්නේ අවදානමට ලක්වන්නට ඉඩ තිබෙන අය දිගට ලබාගන්නා ඖෂධ විශේෂයක්. එමගින් එච්අයිවී ආසාදනය වීම වළක්වන බව ලිංගාශ්‍රිත පිළිබඳ රෝග වෛද්‍ය දර්ශනී මල්ලිකාරච්චි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පසුගිය සතියේ සංවිධානය කරන ලද රූපවාහිනී වැඩසටහනකදී පැවසුවා. අවදානම් පුද්ගලයන්ගෙන් රුධිර සාම්පල ලබාගන්නා අයට එන්නත් කටු හේතුවෙන් ඇතිවන අවදානම මගහරවාගන්නටත් මෙවැනි ඖෂධ ලබාදෙන බව ඇය පැවසුවා.

අනාරක්ෂිත ලිංගික චර්යාවෙන් පසු පැය 72ක් ඇතුළත සායනයකට පැමිණියහොත්, අවදානම තක්සේරු කර දවස් 28ක් එකදිගට ලබාදෙන ඖෂධ මගින් වයිරසය විනාශ කිරීමේත් හැකියාව තිබෙන බව ද ඇය පැවසුවා. මේ ප්‍රතිකාර දැන් ලංකාවේ තිබෙනවා.

ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු පශ්චාත්තාප වෙමින් කල්ගන්නට එපා. වහා ක්‍රියාත්මක වෙන්න. අනාරක්ෂිත ලිංගික ඇසුරුකිරීම් වළක්වාගැනීම තමයි හොඳම දේ.

හැබැයි, ආදරය කරන්නට, සතුට ලබන්නට පසුබසින්නත් එපා. සතුටෙන් ජීවත් වෙන්න.

(මූලාශ්‍ර: ජාතික ලිංගාශ්‍රිත ආසාදන හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය)

Adapted from praja.lk

Popular posts from this blog

සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 23ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?