දේශපාලනය සඳහා කොවිඩ් වයිරසය තවදුරටත්


 November 30, 2021 Politics

අජිත් පැරකුම් ජයසිංහ

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන පාලනය කිරීමට හැකිවුවහොත් ජනතාවට ලබාදුන් පොරොන්දු සහ සියලුම ව්‍යාපෘති කඩිනමින්ම අවසන් කරන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

මේ වන විට ඕමික්‍රෝන් නම් නව කොරෝනා වයිරස් ප්‍රභේදය නිසා ලෝකයේ අලුත් බියක් නිර්මාණය වී තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසාදමන්නට සිදුවීම ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන එකම අභියෝගයද? නැත. ලබන අවුරුද්දේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන හතරකට වැඩි විදේශ ණය වාරික හා පොළී ප්‍රමාණයක් ගෙවිය යුතුය. මේ වන විට පවතින විදේශ සංචිත ප්‍රමාණය ගෙවිය යුතු ණයවලින් අඩකටත් වඩා අඩුය. ණය අතරින් වැඩි ප්‍රතිශතයක් විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගත් ණය වන අතර ගෙවීමට අපොහොසත් වුවහොත් ලංකාවේ රජය බංකොලොත් වනු ඇත. ලබන අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය වන්නේ ණය ගෙවාගත හැකිවේද, නොහැකිවේද යන්නයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි හෝ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ප්‍රයත්නයක් නැත.

මේ උගුලෙන් ගැලවෙන්නට ආණ්ඩුව උත්සාහ කරනු ඇත්තේ මොන මොනවා රාජ්‍ය දේපලක් විකුණාගෙනය. එහෙත්, බංකොලොත් රජයකට රාජ්‍ය දේපළ විකුණන එක ද පහසු නැත.

රටවල් වැසීම ගැන කතාකරන නිසා මේ වගත් කිව යුතුය. මේ වන විට කොවිඩ්-19 සඳහා එන්නත්වලට අමතරව ඖෂධත් වෙළඳපොළට පැමිණෙමින් තිබෙනවා. අද වන විට ලෝකය සිටින්නේ 2019 අගභාගයේදී චීනයේ වූහාන් වෙතින් වසංගතය මතුවූ අවස්ථාවේ තිබුණ තත්වයේ නෙමෙයි. ඒ නිසා රටවල් වසාදැමීම අද වන විට එතරම් වැදගත් මාතෘකාවක් නෙමෙයි. කොවිඩ් රැලි නැවත නැවතත් ඇතිවුණත්, මරණ රැලි එතරම් ඉහළ නොයන බවක් ලෝකයේ උදාහරණවලින් දකින්නට ලැබෙනවා. තව සැලකිය යුතු කාලයක් යනකල් කොවිඩ්-19 මිනිස් වර්ගයාට අභියෝගයක් වේවි. ඒ නිසා කොවිඩ්-19 සමග ජීවත් වන්නට අප හුරු විය යුතුය. එහිදී කොවිඩ්-19 භීතිකාවෙන් පළමුව අප මිදිය යුතුයි.

ශ්‍රී ලංකාවේ බංකොලොත් ආණ්ඩුව කොවිඩ්-19 වයිරසය ලංකාවට පැමිණි පළමු මොහොතේ සිටම දේශපාලන වාසි ගැනීම සඳහා එය භාවිතා කළ බව අප මතක තබාගත යුතුය.

කොවිඩ්-19 පාලනය සඳහා ඇඳිරි නීති පැනවීම ආර්ථිකය විනාශ කරන ප්‍රතිගාමී කාර්යයක් බව අපි මුල්වරට ඇඳිරි නීති පැනවූ 2020 මාර්තුවේ සිටම පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත්, ඇඳිරි නීති පැණවීම, හමුදාව හා පොලිසිය දමා රෝගීන් පසුපස හඹාගොස් අල්ලා නිරෝධායනයට දැමීම, රෝගීන් සමාජ වෛරයට හා පිළිකුලට ලක්කිරීම හා සමාජය පුර කොවිඩ්-19 සම්බන්ධයෙන් බිය පැතිරවීම හරහා පළමු කොවිඩ්-19 රැල්ල මර්දනය කරගැනීමට රජය සමත් විය.

එකම කොවිඩ්-19 රෝගියකුවත් හමු නොවුණ දිස්ත්‍රික්කවල පවා ඇඳිරි නීතිය පණවා, සමෘද්ධි අරමුදලනේ රුපියල් පන්දාහවල් බෙදමින් ඡන්දය වෙනුවෙන් සූදානම් වූ ආණ්ඩුව එයින් ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුකළේය. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ඉතිරි කර ගිය විදේශ සංචිත පාවිච්චි කර 2020 අවුරුද්දේ ණය වාරික ගෙවාගැනීමට රජයට හැකි විය.

පළමු රැල්ල පාලනය කරගැනීමේ හා මහජන මුදලින් රුපියල් පන්දාහවල් බෙදීමේ වාසිය පාවිච්චි කරමින් තුනෙන් දෙකේ ජනවරමක් සහිතව මහ මැතිවරණය ජයගැනීමට ආණ්ඩුව සමත් විය. එහෙත්, ඉන්පසු නැවත නැවතත් කොවිඩ් රැලි ඇති විය. හමුවූ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ පහ ද මරණ සංඛ්‍යාව දස දහස ද ඉක්මවීය. වර්තමානය වන විට තුනෙන් දෙකේ ජනවරම බලු නොවටින තත්වයකට පත්වී තිබේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ධුර කාලය බලයේ සිටීම පවා දුෂ්කර වන තරමට ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පිරිහී ගොසිනි.

මේ වන විට ඩොලර් හිඟය නිසා ආනයන දැඩි ලෙස සීමාවී තිබේ. ආනයන සීමා ඉවත් කළ ද ආනයනික භාණ්ඩවල හිඟය අවසන් වන්නේ නැත. ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, ලූණු , සීනි, හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසක් පමණ වරායේ හිරවී ඇතැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කළේය.

පොහොර හා පලිබෝධ නාශක තහනම් ඉවත් කළ ද ඉදිරි කාලයේදී ගොවීන්ට ගෙවිය හැකි මිලකට ඒවා ලබාගත නොහැකි වනු ඇත. කෘෂි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහළ යනු ඇත. රටේ ආහාර කැරලි පවා ඇතිවීමේ අවදානමක් රජය විසින් නිර්මාණය කර තිබේ. ජන අරගල මර්දනය කිරීමට කොවිඩ්-19 පාවිච්චි කිරීමේ කැමැත්තක් ජනාධිපතිවරයාට තිබෙන බව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී පවත්වන ලද කතාවෙන් හෙළිදරව් වේ. එහෙත් වසංගත නිසා රට වසන්නට පුළුවන් තත්වයක් රටෙහි තවදුරටත් ඉතිරිවී නැත.

රජයේ සේවකයන්ට හා ගෙදර සිට වැඩ කළ හැකි රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් වැනි අයට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද තවදුරටත් කිසිදු පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද ප්‍රශ්න ඇතිවේ.

වසංගත පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කිරීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, මර්දනය සඳහා කොවිඩ්-19 වසංගතයට ආවරණය වීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. කොවිඩ් සම්බන්ධ භීතිකාවන් පැතිරවීමට පුරවැසියන් උදව් නොකළ යුතුය. එහෙත්, වසංගතය පාලනය කරගැනීමට හැකි සෑම දායකත්වයක්ම ලබාදිය යුතුය.

Adapted from praja.lk



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා