දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණේ හරි පාරෙන්ද?

 

දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියෙන් තමන්ට හිමිවන බලතල ප්‍රකාරව සමාවක් ප්‍රදානය කර තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් අය ඝාතනය කරන ලද ගැටුමෙහිදී දුමින්ද සිල්වාට ද බරපතල තුවාල සිදුවූ බව බොරුවක් නොවේ. කෙසේ වෙතත්, ඔහුට මරණ දඬුවම හිමි වූ නඩු තීන්දුවෙන් නීති විරෝධී රැස්වීම් හා මිනීමැරීම ඔප්පු වී තිබෙන නිසාත්, අග විනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව අනුමත කළ නිසාත් දුමින්ද සිල්වා සැකයකින් තොරව වරදකරු වී තිබේ.

දුමින්ද සිල්වා හා ඔහුගේ පවුලේ අය නීතියෙන් ගැලවීමේ දුෂ්කර මාර්ගය ගැන බලාපොරොත්තු තබා ගත හැක්කේ රාජපක්ෂ පවුල යළි බලයට පත් කර ගැනීම තුළ ය. හිරු රූපවාහිනිය හරහාත්, වෙනත් අප නොදන්නා මාර්ගවලිනුත් වත්මන් පාලනය සමග පැවැත්වූ ආචාරධාර්මික නොවන සම්බන්ධතා හරහා දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාගැනීමට සිල්වා පවුල සමත් වී තිබේ.

සිරගත වීම කෙතරම් කණගාටුදායක ඉරණමක් ද යන්න දන්නේ සිරගත වූවෝ පමණි. අධිකරණයෙන් මරණීය දණ්ඩනයට ලක් වීම යනු පහසුවෙන් ලිහා ගත නො හැකි ගැටයක සිර වීමකි. දුමින්ද සිල්වා තවත් සිරකරුවෙකු නිසා ඔහු නිදහස් වීමපිළිබඳ අපි සතුටු වෙමු. අපට ගැටලුව වන්නේ එම අවස්ථාව සෙසු සිරකරුවන්ට ලබා නොදී, විශේෂ කර තෝරාගත් පදනමකින් දුමින්ද සිල්වාට පමණක් ලබාදීමයි.

සිය සැමියාගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව ඝාතනය කර මරණීය දණ්ඩනයට ලක් වූ හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිය මරණීය දණ්ඩනයෙන් මුදා ගැනීම පවා සංකීර්ණ ක්‍රියාදාමයක් විය. පහත පළ වන්නේ අප ඒ පිළිබඳව 2009 ජුලි 16 දින තැබූ සටහනකි.

“සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.”

2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිඩිහි අවතැන් කඳවුරේ සිට, හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හි තම ඉඩම් වෙත කෑමට යමක් සොයාගැනීමට ගිය මිනිසුන් පිරිසක් අතර සිටි වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් තිදෙනෙකු  සමග දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා වැසිකිළි වලකට දැමූ බවට වූ චෝදනා ඔප්පු වූ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.ඝාතකයින්ගෙන් පණ බේරාගත් පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙළිදරව් කළේ ය. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට උපකාර කළේ දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින යාපනය මන්ත්‍රී ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. සංවිධානයයි. සුනිල් ඇතුළු හමුදා භටයන් පස්දෙනෙකු අඩංගුවට ගන්නා ලදී. සුනිල් රත්නායක ප‍්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පාපෝච්චාරණය කර ඇති බව වාර්තා වේ. වැසිකළිි වළක සඟවා තිබූ මළ සිරුරු යුද හමුදා පොලිසියට පෙන්වා තිබෙන්නේ ද ඔහු විසින් බවත් අධිකරණයේදී කියැවිණි. 2002 දී නඩු විභාගය ආරම්භ විය. වසර 13කට පසු සුනිල් රත්නායක පමණක් වරදකරු බවට පත් විය. මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායකට ජනාධිපතිවරයා 2020 මාර්තු මස සමාව ලබාදුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ඒ පිළිබඳ දැක්වෙන්නේ මෙසේ ය: “යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.”

දුමින්ද සිල්වාට සමාව පිරිනමනු ලැබුවේ නඩුව විභාග කළ විනිශ්චයකාරවරුන්ගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් සහ ගරු අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුවද යන්න දැනගැනීමට මහජනයාට අයිතියක් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එවැනි වාර්තාවක්, උපදෙසක් හෝ නිර්දේශයක් තිබේද, එසේ තිබේ නම්, ඔවුන් විසින් ඇත්ත වශයෙන්ම එවැනි සමාවක් දුමින්ද සිල්වාට ලබාදීමට නිර්දේශ කර තිබේද නැද්ද යන්න විමසා සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලිපියෙහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ: 

ගරු ජනාධිපතිවරයාට එවැනි සමාවක් ලබාදීම සඳහා අභිමතය හා බලය තිබේ. එම අභිමතය හැමවිටම භාවිතා කළ යුත්තේ නීතියට අනුකූලවය. එවැනි බලයක් බලහත්කාරී හෝ තෝරාගත් පදනමකින් ක්‍රියාත්මක නොකළ යුතුය.  

අතීතයේදී ද තෝරාගත් පුද්ගලයන්ට සමාව පිරිනැමීම සිදුවී තිබෙන බව හා අදාළ සිරකරුවන් සමාව දීම සඳහා තෝරාගැනීමේ පදනම සාධාරණීකරණය කරන කිසිදු පැහැදිලි කිරීමක් සිදුවී නැති බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිහිපත් කරයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය එවැනි අවස්ථාවලදී ද වර්තමානයේ ගනු ලබන ස්ථාවරයම ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ නියමානුකූලව ඕනෑම සමාවක් ලබාදිය යුතු වන්නේ එවැනි සමාවක් ලබාදීම සඳහා තිබෙන අවශ්‍යතාව පරිස්සමෙන් විශ්ලේෂණය කිරීමෙන් පසුවයි.

ඉහත විස්තර කරන ලද පසුබිම තුළ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පහත දැක්වෙන කරුණු ශ්‍රී ලංකා නීතීඥ සංගමයට හා පොදු ජනතාවට දන්වන ලෙස ඉල්ලා සිටියි:  

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ සමාවක් ලබාදීමේ අරමුණ සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම;

(ආ) වර්තමානයේදී තීන්දු ලබාදී තිබෙන නඩු අතරින් දුමින්ද සිල්වාගේ නඩුව සුවිශේෂ වීමට හේතුව;

(ඇ) ගරු ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ දුමින්ද සිල්වාට සමාවක් ලබාදීමට පෙර නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවූවාද යන කාරණය හා එවැනි වාර්තාවක අන්තර්ගතය;

(ඈ) දුමින්ද සිල්වාට සමාවක් ලබාදීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තාද යන කාරණය හා එවැනි උපදෙසක අන්තර්ගතය;

(ඉ) දුමින්ද සිල්වාට සමාවක් ලබාදීමට පෙර අධිකරණ ඇමතිවරයාගේ නිර්දේශය ලබාගත්තාද යන කාරණය හා එසේ ලබාගත්තා නම්, දුමින්ද සිල්වා නිදහස් කිරීමට අධිකරණ ඇමතිවරයා නිර්දේශ කළාද යන වග.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉහත දක්වන ලද කරුණු එකක් හෝ කීපයක් සංතෘප්ත නොවේ නම්, දුමින්ද සිල්වාට ලබාදුන් සමාව අසාධාරණ හා අත්තනෝමතික වන බව ද, නීතියේ ආධිපත්‍යය පිරිහීමට හේතු විය හැකි බව ද, යුක්තියේ පරිපාලනය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳවැටීමට හේතු විය හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.  

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය