ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

 

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. GSP+වැදගත්කම පිළිබඳ මෙම ලිපියෙන් කියවන්න:

අර්බුදය තවත් තීව්‍ර කරන ජීඑස්පී ප්ලස් අහිමි වීම

ශ්‍රී ලංකාව මහා මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදුකිරීමේ මාර්ගය වෙත යොමු වී තිබෙන අවදානම කෙරෙහි අවධානය යොමුකරන යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ජීඑස්පී ප්ලස් ඉවත් කිරීමට හේතු ලෙස දක්වන්නේ සිවිල් රාජ්‍ය කටයුතුවලට හමුදාව මැදිහත්වීම වැඩිවීම, වගවීමේ ක්‍රියාවලිවලට දේශපාලනික බලපෑම් කිරීම, (වගකීම්වලින්) බැහැර වන බවට කයිවාරු ගැසීම, සිවිල් සමාජයට තර්ජනය කිරීම හා ත්‍රස්ත විරෝධී නීති භාවිතා කිරීමයි.

වත්මන් ආණ්ඩුව විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් නඩුවක් හෝ විධිමත් චෝදනාවක් නොමැතිව සිරගත කරගෙන සිටින ආකාරයෙන් පෙනේ. නීතීඥ හිජාස් හිස්බුල්ලා හා කවියකු වන අහ්නාෆ් ජසීම් නඩු නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කරගෙන සිටින ආකාරය ද දැඩි කතාබහට ලක්වී තිබේ.

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම ආරම්භ වුණේ 1979දී ය. එය 1982දී ස්ථාපිත කරන ලදී. එහි ආදීනව ගැන බොහෝ කලක් තිස්සේ සාකච්ඡා කරමින් සිටි ශ්‍රී ලංකාව 2016දී එය ඉවත් කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළේය. එයට පදනම් වූයේ අලුතින් හඳුන්වා දීමට උත්සාහකළ ප්‍රති ත්‍රස්ත පනතයි.

ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ I Only Came to Use the Phone (මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි) නම් කෙටිකතාවේ කතා නායිකාව කාන්තාරයක් මැදින් ගමනක් යද්දී ඇය ගමන් කළ මෝටර් රිය ක්‍රියා විරහිත වේ. වැස්සක් වසිමින් තිඛෙන මේ මොහොතේ ඇයට පිහිට වන්නේ මානසික රෝගීන් පිරිසක් රැගෙන යන බසයකි. ඇය තෙතබත්ව සිටි හෙයින් කිසිවෙක් ඇයට ජර්සියක් දෙයි. එය මානසික රෝගීන් අඳින වර්ගයේ එකක් බව ඇය නොදන්නීය. මානසික රෝහල ඉදිරිපිටදී පිරිස බස්වන බසය පිටත්ව යයි. ඇය එන තෙක් බලා සිටින සිය සැමියාට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා යන්නට හදද්දී ඇයවද මානසික රෝගියකු ලෙස වරදවා වටහා ගන්නා රෝහල් සේවකයෝ ඇය බලෙන් රෝහලට ඇතුළත් කරති. මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි යි ඇය කියන කතාවට කිසිවෙක් ඇහුම්කණ් නොදෙති. ඇය කුපිත වෙයි. කතාව ඉදිරියට ගලා යන විට වෛද්‍යවරු, අගේ සැමියා ඇතුළු සියලු දෙනා ඇයට මානසික රෝගයක් ඇති බව පවසති. අපේ කතා නායිකාව ඇඳ සිටි ජර්සිය පිළිබඳ සමාජයේ පූර්ව විනිශ්චය ඇගේ ජීවිතය විනාශ කළේය.

1971 අරගලය සමයේ ජවිපෙ විප්ලවවාදීන් විසින් බලය අල්ලා ගන්නා ලද ඇල්පිටිය පැත්තේ සිදු වූ සිද්ධියක් මෙසේයි. විප්ලවවාදීන් රතු කමිස ඇඳ, අවි රැගෙන, ට්‍රැක්ටරයක නැඟී ශබ්ද විකාශනයක් ද පවත්වමින් යන සඳ කුඹුරක වැඩ කරමින් සිටි එක් ගොවියෙක් පාරට පැමිණියේ මේ කුමක්දැයි බැලීමටයි. ට්‍රැක්ටරයේ සිටි දන්නා හඳුනන තරුණයෙකුගෙන් මේ කුමක්දැයි ඇසූ කල සහෝදරයාත් එන්න අප සමඟ යයි ඔහු ගොවියාට ආරාධනා කළේය. උදැල්ල පැත්තකින් තබා ට්‍රැක්ටරයට ගොඩ වූ ගොවියා ආපසු ගෙදර ආවේ පස් වසරකට පසුවයි.

මාධ්‍යකරුවකු වූ ජේ.එන්. තිස්සයිනායගම්ට මුහුණ දෙන්නට සිදු වූ තත්වයත් මෙවැනි එකකි. ඔහු විසින් පුවත්පතකට ලියන ලද වාක්‍යයක් නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු විසි වසරක සිර දඬුවමකට ලක් කරන ලදී.

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරයයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ය.

සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. නඩු තීන්දුවක් නොවන එම අදහස් ප්‍රකාශය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්.ඩී.ඩබ්ලිව්. ගුණසේකර මහතා මගින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනය කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ වගඋත්තරකරුවක් වූ හිටපු අගවිනිසුරු සරන් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් එය විභාග කරන ලදී.

ශ්‍රී ලංකා නීතිය වැරදියට අර්ථ නිරූපණය වන අයුරින් අදාළ එම නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවට සැලකෙන හෙයින් එය නැවත සලකා බැලීමට සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මේ තීරණය ගත් බව එම සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා සැප්තැම්බර් 14දා දිනමිණට පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියේය. එම ප්‍රකාශයට එරෙහිව නීතිඥ දර්ශන වේරදුවගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරයෙකු සිදු කරන ප්‍රකාශයක් ගැන අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිය යන තර්කය මත පදනම්ව ය.

සරත් නන්ද සිල්වා අගවිනිසුරු සමයේ දෙන ලද නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර විනිශ්චය සභා විසින් පනවනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී නොමැති බවට නියමයක් කර ඇති බව නීතිඥ වේරදූවගේ අධිකරණයට පෙන්වා දුන්නේ ය.

යුරෝපා සංගමය ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ලබාදෙමින් තිබූ ජීඑස්පී ප්ල්ස් සහනය ලංකාවට අහිමි කිරීමට ද මෙම නඩු තීන්දුව එක් හේතුවක් වූ බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි. ඒ ලංකාව අත්සන් තබා තිබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට අදාළ විකල්ප ප්‍රොටකෝලයේ ක‍්‍රියාකාරීත්වය බලරහිත කිරීමට මෙම නඩු තීන්දුව හේතු වී ඇති බව ඔහුගේ අදහසයි.

“විශ්ව ප‍්‍රකාශනයේ එන වටිනාකම් සඳහා සාමාජික රටවල් සඳහා නීතිමය බැඳීමක් ඇති කරන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් කරළියට ආවේ 1966දීය. ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තියයි. එම ප‍්‍රඥප්තියෙන් මනුෂ්‍යයන්ට හිමි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විස්තර කරන අතර එම ප‍්‍රඥප්තියට අත්සන් තබන සාමාජික රාජ්‍යයන් කෙරෙහි එම රාජ්‍යයන් එම අයිිතිවාසිකම් ආරක්ෂා කිරීමට නෛතික බැඳීමක් ඇති කරයි. එම ප‍්‍රඥප්තියට අදාළ දෙවැනි වෛකල්පිත ගිවිසුම අත්සන් කරන රාජ්‍යයන් එම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේද යන්න සොයා බැලීමේ අයිතිය මානව අයිතිවාසිකම් කොමිසමට ලබාදෙයි. (2006 සිට මේ වගකීම පවරන ලද්දේ මෙම වසරේ සිට අලූතෙන් ඇති කරගත් මානව හිමිකම් කවුන්සිලයටය.) දෙවැනි වෛකල්පිත ගිවිසුමට අත්සන් කළ රාජ්‍යයන් මානව හිමිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත එම ගිවිසුමට අත්සන් තබා ඇති වෙනත් රාජ්‍යයකට හෝ රාජ්‍යයන් කණ්ඩායමකට පැමිණිලි කිරීමේ හැකියාව ලබාදී තිබෙන අතර එවැනි පැමිණිලි මානව හිමිකම් කවුන්සිලය විමර්ශනයකට ලක් කළ යුතුය. ඊට අතිරේකව එම වෛකල්පිත ගිවිසුමට අත්සන් තබා ඇති රාජ්‍යයන්ටද පුරවැසියකුටද අයිතිවාසිකම් උල්ලංඝනයකදී එම රාජ්‍යයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය යටතේ ක‍්‍රියාත්මක වන මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය ලැබුණි. එහෙත් පුරවැසියකු එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළ විට මානව හිමිකම් කමිටුවට එය විභාග කළ හැක්කේ පැමිණිලිකරු දේශීය වශයෙන් ඒ ප‍්‍රශ්නය විසඳා ගැනීමට රටේ තිබෙන ඉහළම අධිකරණයට ගොස් ඉන් ද සාධාරණ විසඳුමක් ලබාගත නොහැකි වී තිබෙන අවස්ථාවකදී පමණය. එවැනි පැමිණිල්ලක් විභාග කොට කමිටුව දෙනු ලබන තීරණයන් හා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය එම අන්තර්ජාතික ගිවිසුම අනුව බැඳී සිටින්නේය.

“ශ‍්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිිතිවාසිකම් ප‍්‍රඥප්තියට 1980දී අත්සන් තබන ලද අතර, 1997දී එම ගිවිසුමට අදාළ වෛකල්පිත ගිවිසුමටද අත්සන් තබන ලදි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ටද බරපතළ මානව හිමිකම් උල්ලංඝනයකදී දේශීය වශයෙන් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවකදී සිය දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය ලැබුණි.” (වික්ටර් අයිවන්, රාවය 2016 ජුලි 17)

මෙම සංවාදය රට තුළ සිදු වන අතරතුර සිංහරාසා තවමත් සිරගෙදර විය හැකි බව මම සිතමි. ඔහුට එරෙහිව එල්ල වූ උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පහර දීමේ හෝ පහර දීමට උත්සාහ කිරීමේ චෝදනාව සාධාරණ අන්දමින් ඔප්පු වී නැත.

තමිලිනීගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි ඇය මෙවැනි ප්‍රහාර ගණනාවක් ගැන සටහන් කර තිබේ. ඇගේ කටඋත්තරවල ද එවැනි දේ සඳහන් වන්නට ඇත. ඇය වධහිංසනයට ලක් නො වූ බව ද ඇගේ කෘතියෙහි දැක්වේ. තමිලිනීට එරෙහිව ඇගේ කටඋත්තරය යොදා ගත්තා නම් කුමක් විය හැකි ද? එහෙත්, තමිලිනීගේ කෘතියෙන් ම පැහැදිලිව ම පෙනෙන ආකාරයට ඇය ඒ අන්දමින් කටයුතු නොකළා නම් ඇගේ ඉරණම ද ඇය පරිද්දෙන් ම භාර වූ තවත් කොටි නායකයකු වන වී. බාලකුමාර් වැනි අයගේ ඉරණම වන්නට ඉඩ තිබිණි. යමෙකුට කටඋත්තරයකින් වරද පිළිගන්නට බල කෙරෙන සංදර්භය සමීපස්ථ හිංසනයට වඩා පුළුල් එකක් බව එයින් පෙනේ.

යහපාලන ආණ්ඩුව යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත ප්‍රතිරෝධන පනතක් හඳුන්වා දීම සඳහා කටයුතු කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය. වත්මන් ආණ්ඩුව වන එදා විපක්ෂය එය දුටුවේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් ලෙසයි. මේ අතර, අති වාමාංශික කොටස්වලට ත්‍රස්තවාදය මුළුමනින්ම ඉවත් කිරීමට අවශ්‍ය විය. අතරමැදි විසඳුමක් ඉදිරිපත් කිරීමට රජය සමත් වූයේ නැත.

ත්‍රස්‌තවාදය මැඬලීම අවශ්‍ය දෙයකි. කෙසේ වෙතත් ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචන ඉතා පටුය. රාජ්‍ය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවකි. ත්‍රස්ත මර්දන නීතිවලට රාජ්‍ය ත්‍රස්තවාදයත් අයත් විය යුතුය. ත්‍රස්ත මර්දනයේදී වුව මානව හිමිකම් වගකීම් පරිපූර්ණව ඉටු කිරීම සහතික කිරීමට නව නීතිවලට හැකි විය යුතුය.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු ය. එමගින් වරදකරුවන් කරන ලද දේශපාලන හේතු මත ත්‍රස්තවාදී චෝදනාවට ලක් වූ සියලු පුද්ගලයන්ට කොන්දේසි සහිත පොදු සමාවක් දීම සලකා බැලීම පවා සාධාරණ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිකම්ම අහෝසි කර දැමිය හැකි ද යන්න ඇත්තෙන් ම ගැටලුවකි. හේතුව, මේ වන විට ඉස්ලාමීය රාජ්‍යය, අල් ක්වයිඩා වැනි ත්‍රස්තවාදයේ නව ස්වරූප ඉස්මතු වී තිබීමයි. ශ්‍රී ලංකාව තුළද පාස්කු ප්‍රහාරයෙන් දැවැන්ත විනාශයක් සිදුවූ අතර එය මෙහෙයවූ බලවේග පිළිබඳ රහස් තවමත් හෙළිදරව් වී නැති බවට චෝදනා එල්ල වේ. එසේම වර්තමාන රජය හා පොලිසිය ද රාජ්‍ය ත්‍රස්තවාදය වෙත යොමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කොවිඩ් මර්දනය, එන්නත්කරණය අවුල් කළ ආකාරය හා සොරකම් කළ ආකාරය පවා ත්‍රස්තවාදය ඔස්සේ අර්ථ නිරූපණය කළ හැකිය.

පීඩිත ප්‍රජාවන්ගේ විමුක්ති අරගල හා ත්‍ර‍ස්තවාදය අතර ඇති සම්බන්ධය පුළුල් සංවාදයකට බඳුන් වූවකි. අයුක්ති සහගත සමාජ ක්‍රමයකට එරෙහිව කැරැලි ගසන්නට ජනතාවට අයිතියක් ඇත. එහෙත්, කැරැලි කියන්නේ අන් කිසිදු ඉඩක් නැති තැනක ජනතාවට ඉතිරි වෙන අවසන් විකල්පය මිස, දේශපාලන ව්‍යාපාරයක මූලික අරමුණ නො විය යුතුයි.

වර්තමාන‍යේදී පීඩිත වන සමාජ කණ්ඩායමක් විසින් බලය ලබා ගත් විටකදී වුවත් ඔවුන් රජය අහෝසි කරන්නේ නැත. ඔවුන් ද රජය සකසා ගන්නේ තම පාලනය තහවුරු කර ගැනීම සඳහා ඉවහල් වන මෙවලමක් ලෙසයි. රජය ස්වාභාවික නො වුණත්, රාජ්‍යය යන සංකල්පය මේ වන විට මිනිස් සමාජයේ මුල් බැසගෙන හමාර ය. එය ප්‍රතික්ෂේප කිරීම යනු මේ වන විට මිනිස් සමාජයට සිතා ගත හැකි තත්වයක් නො වේ. ඒ නිසා අප උත්සාහ කළ යුත්තේ රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික හරය පංති හෝ සමාජ කණ්ඩායම්වල ආධිපත්‍යය තුළ වෙනස් කළ නො හැකි අන්දමින් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා අපි හැකි උපරිමයෙන් නීති ගරුක විය යුතුයි. විප්ලවවාදියා වඩාත් නීති ගරුක, ඊටත් වඩා යුක්ති ගරුක පුද්ගලයෙක් විය යුතුයි. නීතිය වඩා යුක්තිසහගත වන අන්දමින් සංවර්ධනය කරන්නට ද සමාජය උත්සාහ කළ යුතුයි. යුක්තිගරුක සංකල්ප මත පිහිටි සමාජයක් කුමන අර්බුදයකදී වුව ම්ලේච්ඡත්වය වැළඳගන්නේ නැත.

ත්‍ර‍ස්ත ප්‍ර‍තිරෝධන නීති රාමුව විසින් සිවිල් නිදහස යම් යම් ආකාරවලින් සීමා වීම වළක්වා ගැනීම ඉතා දුෂ්කර ය. එය කවර රජයකට වුවත් දැවැන්ත අභියෝගයකි. ත්‍ර‍ස්තවාදීන් ද දිනෙන් දින සිය වැඩරාමුව වෙනස් කර ගන්නා සංදර්භය තුළ ත්‍ර‍ස්ත ප්‍ර‍තිරෝධන නීති හා සිවිල් අයිතිවාසිකම් අතර තුලනය හැමදාමත් සාකච්ඡා කළ යුතු විෂයක් වීම නො වැළැක්විය හැකි ය.

Adapted from praja.lk

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය