දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ

 

නිශාන් පෙරේරා

පිළිකාව බෝනොවන රෝගයක් වුණාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුණා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?

විවිධ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් දෙනා විසින් පිළිකා රෝගය සඳහා විවිධ හේතු ප්‍රකාශ කරනු දකින්නට පුළුවන්. රෙදි සෝදන කුඩු සහ දියර වර්ග පිළිකාවලට හේතු වන බව එක් මතයකි. බාල වර්ගයේ විලවුන්, ක්ෂණික කෑම වර්ග, කෘත්‍රීම බීම වර්ග, රසකාරක, වර්ණකාරක පිළිකාවලට හේතු වන බව තවත් මතයකි. දුරකථන කාඩ්පත්  සීරීමට නියපොත්ත හාවිතා කිරීම ද පිළිකා අවධානමකැයි ඇතැමෙක් කියති. සමාජයේ ද පිළිකා ගැන විවිධ මත පැතිරී ඇත. කරපිංචා කොළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත බව එක් මතයක් වන අතර ඇතැමෙක් එය පිළිකාකාරකයක් බව කියති. කතුරුමුරුංගා කොළවල පිළිකා වර්ධක රසායනිකයක් අඩංගු බව එවැනි තවත් මතයකි. ප්ලාස්ටික් භාජන ඇසුරුම් , පොලීතීන් හා ප්ලාස්ටික් දැවීම පිළිකා සඳහා හේතුවේ. සිගරට් පැකැට්ටුවේ ස්ථීරවම දුම්බීම පිළිකා ඇති කරන බව සඳහන් කර ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ  දුම් නොබොන පිළිකා රෝගීන් රැසක් හමුවීමයි. ආසනික් නම් රසායනිකය ප්‍රබල පිළිකාකාරකයක් බව කියවේ. බ්‍රොයිලර් කුකුල් මස්වල ආසනික් ඇති බව හා ආසනික් වැඩිපුරම අඩංගු වන්නේ කුකුලාගේ අක්මාවේ බව ජයවර්ධනපුර සරසවියෙන් පසුගිය කාලයේ ප්‍රකාශ කෙරිණි. ඊට පෙර සහල්වල ආසනික් අඩංගු බව රජරට විශ්වවිද්‍යාල‍යන් ප්‍රකාශ කෙරිණි. ඊට ඇතැම් මහාචාර්යවරුනට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට නාථ දෙවියන් පවා ප්‍රතිචාර දැක්වූ අතර පිළිකාව සඳහා හේතු වන්නේ මේවාය. මේවායින් ජනතාව මුදාගත යුතුය කියා අද වනතෙක් කිසිම දෙවියෙකු හෝ මනුෂ්‍යයෙකු පවසා නැත.

ඩෙංගු රෝගියෙකු හෝ වෛරස් උණ රෝගියෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ විට ඔහු වාසය කළ පරිශ්‍රය පිලිබඳව තොරතුරු ලබාගෙන අදාල පරිශ්‍රය හා ඒ අවට පරීක්ෂා කිරීම ඩෙංගු මර්ධන ව්‍යාපාරය විසින් කඩිනමින් සිදු කරයි. එයින් අනෙක් පුද්ගලයන්ට රෝගය බෝවීම වළක්වා ගත හැකි අතර  මදුරු කීටයන් බෝවූ ස්ථානවලට දඩ නියම කිරීමෙන් රජයට ආදායමක් ද ලබා ගැනීමට හැකිවේ. ඒ හා සමාන අන්දමින් පිළිකා රෝගීන් පිළිබඳව තොරතුරු රැස් කිරීමක් සිදුවෙනවාද?

පිළිකා සඳහා ඖෂධ ගෙන්වීමේදී සිදුවන මූල්‍ය අක්‍රමිකතා හා වෙනත් වංචාවන් පිළිබඳව පලවන වාර්තා දෙස බැලීමේදී පිළිකා රෝගියා ද ඇතැමෙකුට එක්තරා ආකාරයක මූල්‍යමය උත්පාදනයක් වී ඇති බව පෙනේ. පිළිකා රෝහලේ ආගමික කටයුතුවල සිට උපස්ථාන සේවා, වෛද්‍ය සේවා, රෝගීන් සඳහා වන යටිතල පහසුකම් සහ ඖෂධ ආනායනය දක්වා ලාභ උපයන ව්‍යාපාර බිහි වී තිබේ. ඒ අතර පිළිකාව සුව කරන හොර වෙදුන් ද දේව යක්ෂ  බලයෙන් රෝග සුව කරන්නන් ද විශ්ව ශක්තියෙන් මෙන්ම අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරන්නන්ටද මෙම අසරණ රෝගීන් හොඳ ඉල්ලමකි. ඇතැම් ප්‍රගතිශීලීන්ගේ අදහස් අනුව ඇතැම් සමාගම් විසින් බෙදාහරින නිෂ්පාදන පිළිකාකාරක වන අතර පිළිකා සඳහා ඖෂධ ගෙන්වන්නේ ද එම සමාගම් වලට අනුබද්ධ සමාගම්ය. පෙර කී පිළිකාකාරක නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන්නේ ඖෂධ ගෙන්වීමේ තම ප්‍රධාන ව්‍යාපාරයට ආයෝජනයක් ලෙසිනි.

විවිධ සංවිධාන පිළිකා රෝගීන් සඳහා රෝහල් තැනීම පවා සිදු කළද පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් කවුරුන් හෝ විසින් කර ඇද්ද? රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයකට මෙම සමීක්ෂණය කළ හැකිය. රෝගියාගෙන්ම අදාළ තොරතුරු ලබා ගැනීමට පුළුවන. රෝගියා වාසය කළ වටපිටාව, ආහාර පුරුදු, විශේෂ පුරුදු (දුම්බීම ,බුලත් කෑම වැනි), මත්ද්‍රව්‍ය භාවිතය, රෙදි සේදීම සඳහා නිතර භාවිතා කළ දේ, කරන ලද රැකියාව හා ඒ ආශ්‍රිත තොරතුරු ආදී පිළිකා සඳහා අදාළ වන සියලු තොරතුරු ආවරණය වන පරිදි ප්‍රශ්නාවලියක් රෝගියා වෙත ඉදිරිපත් කර තොරතුරු ලබා ගැනීමට පුළුවන. මෙම ප්‍රශ්නාවලිය සකස් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගත යුතුය‍. එසේ රට පුරා රෝගීන්ගෙන් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර පිළිකාව පිලිබඳව යම් දළ අදහසක් හෝ ලබා ගැනීමට පුළුවන. ඒ තුළින් තවතවත් පිළිකාවන්ට ගොදුරුවීම අවම කර ගැනීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට හැකි වනු ඇත. පිළිකා රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැපයියයුතු අතර නිරෝගී ජනතාව පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීමට ඉක්මනින් ජාතික වැඩපිළිවෙලක් වහාම අවශ්‍යව ඇත. නැතිනම් මෙය තවත් ඡන්ද වේදිකා පොරොන්දුවක් දක්වා සංවර්ධනය වෙනු ඇත.

කියවන්න: නිදහසට යට වූ පිළිකාව

ඡායාරූපය මෙම ලිපියෙන්: It’s time to stop depicting brave cancer patients as soldiers

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා