ඇඳිරි නීතියෙන් තොර රටක් සඳහා ජනාධිපතිතුමාට අපේ සහාය

 

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19 පාලනය සඳහා ඇඳිරි නීති පැනවීම ආර්ථිකය විනාශ කරන ප්‍රතිගාමී කාර්යයක් බව අපි පසුගිය මාර්තුවේ සිටම පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත්, ඇඳිරි නීති පැණවීම, හමුදාව හා පොලිසිය දමා රෝගීන් පසුපස හඹාගොස් අල්ලා නිරෝධායනයට දැමීම, රෝගීන් සමාජ වෛරයට හා පිළිකුලට ලක්කිරීම හා සමාජය පුර කොවිඩ්-19 සම්බන්ධයෙන් බිය පැතිරවීම හරහා පළමු කොවිඩ්-19 රැල්ල මර්දනය කරගැනීමට රජය සමත් විය.

එකම කොවිඩ්-19 රෝගියකුවත් හමු නොවුණ දිස්ත්‍රික්කවල පවා ඇඳිරි නීතිය පණවා, පන්දාහවල් බෙදමින් ඡන්ද මළ විකාරයක් සිදුකළ අතර එයින් ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු විය. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ඉතිරි කර ගිය විදේශ සංචිත පාවිච්චි කර මෙ අවුරුද්දේ ණය වාරික ගෙවාගැනීමට රජයට හැකි විය.

පළමු රැල්ල පාලනය කරගැනීමෙන් පසු රජය කටයුතු කළේ කොවිඩ්-19 ලෝකයෙන් තුරන් කළ පරිදි ය. ආණ්ඩුව හා දේශපාලකයන් මොන පිස්සුව කෙළියත්, මූලික ප්‍රශ්න කිරීම කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගෙනි. දෙවැනි රැල්ල වැනි වසංගත මතුවීම් නැවත සිදු වන විට ඒවාට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය සූදානම් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සිදුකළේ මොනවාද? හැදූ මාර්ගෝපදේශ, සංවර්ධනය කළ ප්‍රතිපත්ති, ධාරිතා වර්ධනය සඳහා කළ සැලසුම්, කරන ලද මිලදීගැනීම්, රජයට යෝජනා කළ ප්‍රතිපත්ති හා නීති සංශෝධන ආදිය මොනවාද? චව් චව් න්‍යායෙන් අපි කිව්වාය නොකියා විධිමත් අන්දමින් මෙම කටයුතු කළ ආකාරය හෙළිදරව් කරන්න. සියල්ලට වගකිව යුත්තේ දේශපාලකයන් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද පවිත්‍රා වන්නිආරච්චි ගානට වැටෙනවා නම් එහි බරපතල අවුලක් නැද්ද?

මේ වන විට දැඩි ලෙස ආනයන පාලනය කර තිබේ. බඩු ගැසීම වැනි පටු අරමුණු වෙනුවෙන් විදේශ සංචාර ගිය දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් දැන් ඒවා රට තුළින් සපුරාගනිති. ඒ හා සම්බන්ධ සේවාවන්ගේ දියුණුවක් ද දක්නට ලැබේ. මෙලෝ රහක් නැති පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදියට ගොස් ලංකාවෙන් ගෙන ගිය නූඩ්ල්ස් පැකට් තම්බ තම්බා කමින් සල්ලි ඉතුරු කරන රජයේ නිලධාරීන්ගේ චූන් එකද දැන් නැත. මේවායින් රට තුළ මුදල් ඉතුරු වී තිබේ. ඒ නිසා ජාමෙ බේරාගෙන යනු ලැබේ.

එහෙත්, මේ සෙල්ලම ගොඩක් කල් කළ නොහැකිය. අද අද එයි මරු පින් කරගන්නේ යන ආදර්ශය අනුව යමින් ආර්ථිකය දැන්ම ෂේප් කරගත යුතුය. නැතිනම් සිදුවන්නේ ලබන අවුරුද්ද වන විට වහ කන්නටය.

ඒ සඳහා ඇඳිරි නීති දමාගෙන හරියන්නේ නැත. දැන් දැන් වැටී මැරිච්ච මිනිසුන්ගේ පීසීආර් බලව විට පවා ඔවුන්ට කොරෝනා ඇති බව සොයාගනු ලැබේ. එහෙව් එකක් මැද තවමත් සමාජ ව්‍යාප්තියක් සිදු වී නැතිය, ඔක්කොම කුණු බේරුවල් බොක්කට යන්නා සේ මේ හැම වයිරස් මූලයක්ම බ්‍රැන්ඩික්ස් පොකුරට යනවාය කියා කියන්නට පුළුවන. මොන මගුල කිව්වත්, දැන් මේ වයිරසය හැම තැනම පැතිරිලා අහවරය. ඒ නිසා තවදුරටත් දොස්තරලාගේ බබා උකුං අදාළ නැත.

ලංකාවේ දොස්තරලා කොවිඩ්-19 හමුවේ බය වෙන එක සාධාරණය. එහෙත්, නර්ස්ලා, සුළු සේවකයන්, පීඑච්අයිලා වැනි අය ඔවුන්ටත් වඩා ඉදිරි පෙළට යති. රට වසාගත්තා කියා පලක් නැත.

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ.

මේ ඇඳිරි නීතිය ඉවත් කළ යුතුය. එහෙත්, රෝග පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කළ යුතුය. සාධාරණ හේතුවක් නැතුව කිසිවකු නිවෙස්වලින් පිටතට නොපැමිණිය යුතුය. වගකීම තනිකරම මහජනතාවට පැවරෙන අන්දමින් නීති රීති සම්පාදනය කළ යුතුය. ඒවාට අනුගත නොවන පිරිස් වෙනුවෙන් හමුදා හා පොලිස් මර්දනය ක්‍රියාත්මක කිරීම රජයේ වැඩකි. අපට ඒවා ගැන උපදෙස් දෙන්නට උවමනාවක් නැත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා