මත්වීමේ වර්තමානය


  Life

අජිත් පැරකුම් ජයසිංහ

මිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට ලොල්ය.

Translations by Creative Content Consultants

මත්වීමේ නිදහස මිනිසුන්ට තිබිය යුතුය. එහෙත් වෙනත් ඕනෑම නිදහසක් පරිද්දෙන් එම නිදහසට ද සීමාවක් ඇත. ඔබේ අත ඇති සැරයටිය හතර අතට වනමින් යාමට ඔබට ඇති නිදහස අනෙකාගේ නහය අසලින් අවසන් වේ යයි සුප්‍රකට කියමනක් තිබේ.

සමාජමය වගකීමක් සහිතව මත්වන්නෝ මත් වී රිය නොපදවති. අඹු දරුවන්ට පහර නොදෙති. මත් වීමෙන් ලෙඩ නොවෙති. මහජන මුදලින් ප්‍රතිකාර අපේක්ෂා නොකරති.

ලංකාවේ වර්තමානය තුළ අති විශාල පිරිසක් මතට ලොල් වී සිටිති. මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන ආකාරයට මත්පැන් හා දුම්වැටි වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකාවේ මිනිසුන් දිනකට රු. කෝටි 99ක් වැය කරති. එයින් කෝටි 59ක් මත්පැන් වෙනුවෙනි. හෙරොයින්, මරිජුවානා, කංසා, අයිස් ආදී මත්ද්‍රව්‍ය වෙනුවෙන් කරන වියදම පිළිබඳ පැහැදිලි තක්සේරු නැත.

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිනකට මියයන ප්‍රමාණය 80කට අධික බව ද එම මධ්‍යස්ථානය පවසයි. එයින් අඩක් පමණ මියයන්නේ මත්පැන් නිසාය.

මෙතන නොකියන කතාව ආණ්ඩුව මත්පැන්වලින් ලබන ලාභයයි. 2019 වසරේ සුරාබදු ආදායම රු. කෝටි 12,000 ඉක්මවීය. ගල් අරක්කු බෝතලයකින් පමණක් රජය ලබන බදු ආදායම රු. 1000 ඉක්මවයි. මහින්ද රාජපක්ෂගේ මතට තිත පුරාජේරු කතා යථාර්ථයක් නොවුණේ ඇයිදැයි දැන් සිතාගත හැකිය. කොයි ආණ්ඩුවක්වත් මත්පැන්, දුම්වැටි තහනම් කරන්නේ නැත.

ලොව පුරාම මත්වීම පුරුෂෝත්තමවාදය සමග සම්බන්ධය. ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් 35%ක් මත්පැන් බොන අතර කාන්තාවන් අතර මත්පැන් බීම 1%ටත් අඩු ය. මත්පැන් බොන්නන් අතරින් 84%ක්ම බොන්නේ ස්ප්‍රීතු මධ්‍යසාරයි. එයට හේතුව අඩු ගානට පදමට වෙරිවන්නට හැකි වීමයි. බියර් බොන්නේ 13%ක් පමණි. වයින් බොන් පිරිස 1%කි. වයින් මිළ වැඩි වීම එයට හේතුවක් විය හැකිය.

වර්තමානයේදී සිදුවෙමින් තිබෙන මත්ද්‍රව්‍ය වැටලීම් දෙස ද බැලිය යුත්තේ ආර්ථික දෘෂ්ටිකෝණයකිනි. හෙරොයින්, කංසා වැනි මත්ද්‍රව්‍යවලින් රජයට ආදායම් ලැබෙන්නේ දඩවලින් පමණි. ඒ සම්බන්ධ වැරදිකරුවන් සිරගෙවල්වල නඩත්තු කිරීමට ඊට වඩා මුදලක් වැය වේ. එය රජයට ලාභදායී නැත. හෙරොයින්, කංසා භාවිතා කරන්නන් මත්පැන් බොන්නේ ද නැත. ඔවුන් මත්පැන්වලට ඇබ්බැහි වන්නේ නම් රජයටත් හොඳය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියට අනුව, පසුගිය සැප්තැම්බර් 30 වන විට බන්ධනාගාර ජනගහනය 32,000 ඉක්මවා තිබේ. ඒ අතරින් 22,000ක් රිමාන්ඩ් සිරකරුවෝය. මත්ද්‍රව්‍ය වැරදි සැකකරුවන් 12,000ක් පමණ සිටිති. ඔවුන්ගෙන් 8,500කට වඩා හෙරොයින් වැරදිවලට සම්බන්ධය. එයින් බහුතරය වන්නේ ජාවාරම්කරුවන්ට වඩා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය. ඇබ්බැහි වූවන් ද සුළු පරිමාණ ජාවාරම්වල යෙදෙති.

බන්ධනාගාරවල ඇති අධික තදබදය හේතුවෙන් ඇතැම් සිරකරුවන් රඳවා සිටින්නේ තාවකාලික මඩුවලය. පසුගිය මාස දෙක තුළ බන්ධනාගාර තුළ සියදිවිනසාගැනීම් පහක් සිදුවුණ බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

ශ්‍රී ලංකාවේ වැරදිකරුවන්ගෙන් 39%ක් පමණ නැවත නැවත බන්ධනාගාර වන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. වැඩිපුරම එසේ නැවත සිරගත වන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධවයි.

මත්පැන් හා මත්ද්‍රව්‍යවලට එරෙහිව කොයි තරම් නීති තද කළත්, තහනම්කාරී බදු පැනෙව්වත්, මිනිසා මත්වීම අත්හරින බවක් නොපෙනේ. සිදුකළ යුතුව තිබෙන්නේ මතට තිත ප්‍රවර්ධනය කිරීම නොවේ. යම් ආකාරයකට සංස්කෘතික වශයෙන් උසස් මත්වීමක් ප්‍රවර්ධනය කිරීමයි.

මිනිසුන් විෂ මත්පැන් බොන එක වැළැක්වීමට නම් ගුණාත්මක මත්පැන් මිල අඩු කළ යුතුය. හෙරොයින් වැනි හානිකර මත්ද්‍රව්‍ය වෙනුවට කංසා වැනි අඩුවෙන් හානිකර මත්ද්‍රව්‍ යම් සීමාවන් තුළ නීත්‍යානුකූල කළ හැකිය.

දේශීය යයි කියන බුලත් විට ද මත්ද්‍රව්‍යයකි. හානිකරභාවය ගැන කතා කරනවා නම්, සීනි ද මත්ද්‍රව්‍ය මෙන්ම හානිකර ඇබ්බැහිකාරකයකි.

අවසාන වශයෙන් ප්‍රශ්නයක් අසමි. වර්තමානයේදී ජනාධිපතිවරයා විසින් දියත් කර තිබෙන මත්ද්‍රව්‍ය විරෝධී මහා මෙහෙයුමට හසු වූ තෝරුන් හා මෝරුන් කවුරුද?

(මුල් ඡායාරූපය: බන්ධනාගාරයට කුඩු ගෙනා පූසා)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා