ජනාධිපතිවරයාට මේ අයුරින් රාජ්‍ය සේවය මට්ටු කළ හැකිද?


  Governance News

අජිත් පැරකුම් ජයසිංහ

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු පියවරකි.

Translations by Creative Content Consultants

රජයේ කාර්යාලවල ආදර්ශ පාඨය වන්නේ ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ ය යන්න විහිළුවක් නොවේ. මේ සම්බන්ධ සජීවී අත්දැකීම් කීපයක් මේ දිනවල මට ලැබෙමින් තිබේ.

2015 වසරේදී වයස අවුරුදු 50දී විසි අවුරුද්දකට වැඩි රජයේ සේවය මත විශ්‍රාම ගිය මා හට ලබන මාසයේ සිට විශ්‍රාම වැටුප ලැබිය යුතුය. කොරෝනා ඇඳිරි නීතියෙන් පසු රජයේ කාර්යාල විවෘත කළ වහාම මා මේ පිළිබඳ අදාළ කලාප කාර්යාලයට ගොස් සොයා බැලුවෙමි. අදාළ නිලධාරිනිය මගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කළාය.

මගේ තනතුර ආරම්භයේ සිටම විශ්‍රාම වැටුප් හිමි, වැන්දඹු, අනත්දරු අරමුදලට දායකත්වය ගෙවිය යුතු එකකි. එම අයකිරීම් පළමු වැටුපේ සිටම කරන ලදී. එහෙත්, දැන් මා ශතවර්ෂ කාලකට පමණ පෙර කාලයේ සේවය කළ කැබිතිගොල්ලෑව, අනුරාධපුර යන කලාපවලින් එසේ වැන්දඹු අනත්දරු අරමුදලට දායකත්වයන් සැපයූ බවට ලේඛන ගෙන්වා ගත යුතු යයි කියා පසුගිය ජුලි මස 20දා එම කාර්යාලවලට ලිපි යවා තිබේ. දැන් මාස තුනක් වුවද පිළිතුරු නැත.

දුරකථනයෙන් අනුරාධපුර කලාප කාර්යාලයෙන් මේ පිළිබඳ විමසුමක් කළ විට පවසන්නේ එවැනි ලිපියක් ලැබී නැති බවයි. ඒ සමග තැපැල් කළ මගේ පිටපත නම් මට තැපෑලෙන් ලැබිණි.

කැබිතිගොල්ලෑව කාර්යාලයේ අදාළ නිලධාරීන්ට පසුගිය සතියේ කතා කළ විට පැවසුවේ ‘මේ දවස්වල පඩි හදන නිසා විස්සෙන් පස්සෙ කතා කරන්න’ කියා ය. විස්සෙන් පස්සෙ තවම ඒ කාර්යාලය සම්බන්ධ කරගන්නට නොහැකි විය.

මහරගම ගුරු විද්‍යාලයෙන් ද මෙවැනි ලියුමක් ගෙන්වා ගත යුතු අතර, දැන් එම ගුරු විද්‍යාලය විද්‍යා පීඨයක් බවට පත් කර ඇති නිසා මහරගම ගුරු විද්‍යාලය ඉතිහාසයට එක් වී තිබේ. එකී ලිපිගොනු කොහේ තිබේදැයි අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ආයතන අංශයෙන් දුරකථනයෙන් විමසුව ද හරි තොරතුරක් ලබාගත නොහැකි විය.

මගේ විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා මා මෙකී බෝතල්කරවල් (bottlenecks) තුනට අමතරව තව කීයක් ජයගත යුතුද?

නිසි පරිදි විශ්‍රාම යාමෙන් අවුරුදු පහකට පසුව පවා තවමත් මට කවදා මගේ විශ්‍රාම වැටුප ලැබේදැයි කිව හැකි තත්වයක් නැත. ඒ පිළිබඳ වගකීම භාරගන්නා කිසිවකු නැත. මා මේ කන්නේ ඒ දවස්වල යුද කලබල මැද පදවියේ, මැදවච්චියේ පාසල්වල ළමයින්ට උගන්වන්නට ගොස් සතුටින් නමුත් කෑ පරිප්පුවල පිළුණු වුණ දිරවාගත නොහැකි හරියකි. අප මෙන් උඩ දාගෙන දුෂ්කර සේවයට යන අය තවත් ඉන්නවා නම්, ඔවුන් ද මේ පරිප්පුවට සූදානම් විය යුතුය.

මේ මා රජයේ සේවය ගැන මේ දිනවල ලබමින් සිටින අත්දැකීමයි. රජයේ සේවය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අත්දැකීම මෙවැනිය.

ආණ්ඩුව තවත් ලක්ෂ ගණනක් උපාධිධාරීන් හා සාමාන්‍ය පෙළ අසමතුන්ගෙන් පුරවන්නට හදන්නේ මේ රාජ්‍ය අංශයයි. ජනාධිපතිවරයාට නම් මෙම නිලධාරීන් වැඩ නොකරන බව දැන් දැන් තේරෙමින් තිබේ.

එහෙත්, මේ තරම් සරල විදියට මේ තැන්වලට පැනීමෙන් මෙම නිලධාරීන් බය වේ යයි ජනාධිපතිවරයා සිතනවා නම් එතුමාට වැරදිලාය. මේ තරම් සරල විදියට කාර්යාලවලට පැන නිලධාරීන්ගේ මයිල් ගහකටවත් හානියක් නොකර ඔහොම පිටවෙලා යාම දිගටම සිදු වුණොත්, ජනාධිපතිවරයා පවා දරමිටි බඳින්නට ගන්නට දන්නා මාමලා හා නැන්දලා රාජ්‍ය අංශයේ එමට ය.

ඔය විදියට අනතුරු අඟවන එක නරක නැත. එහෙත්, නිලධාරීන්ට රෙද්දෙ සුළුදිය පහවන තරම් ගාම්භීරබවකින් එය කළ යුතු ය. නැතිනම්, වැඩක් නොකර සිටින්නට හේතු ලෙස ඇලිබයි (alibi) හැටහුටහමාරක් කියන්නට මේ නෝනලා හා මහත්තුරු දක්ෂය.

රට හදන්නට නම් මේ ටික තේරුම් ගත යුතුය. රජයේ සේවය තිබෙන්නේ රජයේ සේවකයන් වෙනුවෙනි. ඔවුන් වැඩ කරන්නේ නිකම් ම සිට වැටුප් නොගන්නා බව පෙන්නන තරමට පමණි. මේ රටේ නිෂ්පාදනයක්, සේවාවක් කරන, රටට විදේශ විනිමයක් ගෙනෙන ව්‍යවසායකයන්ට හා වැඩ කරන ජනතාවට තිබෙන ලොකුම කොඩිවිනය මෙකී රාජ්‍ය සේවයයි.

කළ යුතුව තිබෙන්නේ මෙයට තව තවත් සෙනග පුරවමින් බදු ගෙවන, වැඩකරන මිනිසුන් මත තවත් බර පැටවීම නොවේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව 50%කින් හෝ ඉහළ නැංවිය හැකි නම් එය විශ්වකර්ම වැඩකි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙතරම් ඒකාධිපති බලතල පවරා ගත්තත් මෙවැනි දේ නම් පහසු නැත. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රයත්නයට අපි ගරු කරන්නෙමු.

මහජනතාව ගැන සිතා කටයුතු කරන රාජ්‍ය ආයතන ද කලාතුරකින් හෝ තිබෙන බව අප මෙහි සටහන් කරන්නේ ඔවුන් අගය කළ යුතු නිසා හා ආදර්ශයට ගත යුතු නිසාය.

Adapted from praja.lk

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)