උකුස්සන්, බළලුන් ලවා කුඩු ප්‍රවාහනය සහ කියවන විට ලියන මාධ්‍ය



අජිත් පැරකුම් ජයසිංහ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ජාවාරම් කර අසු විය. වැඩි විස්තර වාර්තා වෙන්නේ නැත. විමර්ශන මන්දගාමී බව නීතිපති දෙපාර්තමේන්තුව ම පෙන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ලොකු ටෝක් ද නැත.

Translations by Creative Content Consultants

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා කුඩු ජාවාරම්කරුවන්ට අන් සිරකරුවන්ට නැති සුපිරි පහසුකම් සපයා අසු විය. නඩු පැවරෙන්නේ කූඨ ලේඛන සැකසීමක් ගැන ය. එහෙත්, බන්ධනාගාර අධිකාරිවරයා එසේ කරන්නට ඇත්තේ නිකම් නොවන බව ඕනෑ කෙනෙකුට වැටහේ. එහෙත්, අල්ලස් ගැනීම ගැන විමර්ශනයක්වත් ඇති බවක් වාර්තා නොවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාලයේ මර්දනය කිරීමට උත්සාහ කළ, එහෙත් ඉන්පසු, ඔහුගේ සොහොයුරු ජනාධිපති රාජපක්ෂ විසින් තකහණියක් හෙලිකොප්ටරෙන් ගොස් බදා වැළඳගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වෙමින් තිබේ.

ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කරගන්නට අසමත් වී ඇත. ඉන්දියාවෙන් ගිය සතියේ ණයක් ඉල්ලා ගන්නා ලදී. මේ සතියේ වරාය සේවකයෝ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වරාය සේවකයෝ වර්ජනයේ ය. වරාය විකුණන්නේ නැති බව කියන ආණ්ඩුවට එය ලිඛිතව දෙන්නට බැරි ය.

ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරි වී අසාර්ථක වන බව දන්නා නිසා, දැන් සිට ම රජය සූදානම් වන්නේ වෙනත් ජනප්‍රිය වැඩකට යන්නට ය. එනම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මර්දනය කිරීමයි. එහිදී ලොකු ලොකු මෝරුන් අසු වේ ද? නැතිනම් සාමාන්‍ය කාලකණ්ණි ටිකක් පරලොව යයි ද?

කුඩු අදින උකුස්සන්, බන්ධනාගාර පූසන් ගැන කතා එළියට එන්නේ මේ අතර ය. අලුත්ම කතාව වන ප්‍රිසන් පූසා ගැන අපට නම් කියන්නට තිබෙන්නේ එය බන්ධනාගාර පොලිසියේ ප්‍රබන්ධයක් විය හැකි බවයි. මේ අන්දමින් බළලකු කුඩු ප්‍රවාහනයට යොදාගෙන තිබේ නම්, එය හුදෙක් ම අභ්‍යන්තර වැඩක් පමණක් විය හැකි ය. කෑම දී, සුරතල් කර, බළලකු යම් ස්ථානයකට හුරු පුරුදු කරගත හැකි ය. එතැනට කුඩු පැකට් එකක් යැවීමට බළලකු යොදාගන්නට පුළුවන. බුද්ධි අංශයක් පවා තිබෙන බන්ධනාගාරයට මේ පූසා යන තැන සොයා ගැනීම මහ ලොකු දෙයක් විය නොහැකි ය. කළ යුතුව තිබුණේ පූසා අල්ලාගැනීම නොව, පූසා මෙහෙයවන පුද්ගලයා අල්ලාගැනීමයි. පූසෙකු අල්ලන්නට බන්ධනාගාර පොලිසියක් අවශ්‍ය නැත.

එහෙම නැතිව, ලියුං බෙදන පියුංලා සේ කුඩු බෙදා හරින්නට පූසන්ට තබා උකුස්සන්ට ද බැරි ය.

උකුස්සාට වඩා සන්නිවේදනයේදී විශ්වාසවන්ත පක්ෂියා වන්නේ පරෙවියා ය. එහෙත්, පරෙවියා කළේ ද අමුතු දෙයක් නොවේ. කූඩුවක දමාගෙන රැගෙන ගොස්, ලියුමක් පයේ ගැට ගසා නිදහස් කළ පසු, ආපසු තමා මුලින් සිටි ස්ථානයට ම යන්නට පරෙවියාට පුළුවන. එහෙම නැතුව, පරෙවියා ඇඩ්‍රස් එක බලමින් ලියුම් බෙදුවේ නැත.

මීගොඩ ගොවිපොළකින් අල්ලා ගත් ‘පාතාල උකුස්සා’ සම්බන්ධ කුමන්ත්‍රණ කතාව ද පොලිස් ප්‍රබන්ධයක් විය හැකි ය. මෙවැනි විශේෂ පක්ෂීන් ඇතිකිරීම සල්ලිකාරයන්ගේ විලාසිතාවකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෝරුන් ඇති කළේ ද මේ අන්දමිනි. මිළ අධික රට බල්ලන්ගේ සිට කැළෙන් අල්ලාගත් අලින් දක්වා මෙසේ මෝස්තරයට ඇති කරන සත්තු සිටිති.

මාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ පොලිසිය හා වෙනත් රාජ්‍ය නිලධාරීන් කූට අරමුණු සහිතව පතුරුවන බේගල් ඒ අන්දමින් ම මහජනතාවට ගිල්ලවීම නොවේ. මේවා පසුබිමේ ඇති කතා සොයා බැලිය යුතු ය.

පහත දැක්වෙන්නේ දේශය පුවත්පතේ වාර්තාවකින් උපුටා ගත් කොටසකි. පොලිසිය වෙනුවෙන් කියවන විට ලිවීම කරන මාධ්‍යකරුවන් අඩු තරමේ වායු රයිෆල යනු බලපත්‍ර අවශ්‍ය නොවන, නීති විරෝධී නොවන අවියක් බවවත් දන්නේ නැත. ගොවිපළක එවැනි රයිෆලයක් තිබීම සාමාන්‍ය දෙයකි.

“සුනඛයන් රැසකගේ බිරුම් හඬ මැද ගොවිපළට ඇතුල් වූ පිරිසට අවබෝධ වී තිබුණේ මෙතරම් සුනඛයන් ගොවිපළ පරිශ්‍රයේ රඳවා ඇත්තේ පිටස්තර පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බවය. ලැබුණු තොරතුරැ ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂාවේදී ඌරන්, කුකුළන්, වටු කුරුල්ලන් මසට අලෙවි කරන ගොවිපළ පරිශ්‍රයේ තැනක වූ විශේෂ කූඩුවකි. එහි රඳවා සිට ඇත්තේ තරමක විශාල උකුස්සෙකි. ඒ සමඟ ගොවිපළ පරිශ්‍රයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ වායු රයිෆලයක් සහ උණ්ඩ දහයක් සමඟය. එම සැකකරුවන් වූයේ ගොවිපළේ හිමිකරු හා තවත් පුද්ගලයෙකි. ලද තොරතුරු අනුව වාර්තා වී තිබුණේ මාසයකට ඉහතදී අත්අඩංගුවට ගත් ගයාන් මෙම ගොවිපළේ සිට උකුස්සා රැකබලාගත් බවය. අංගොඩ ලොක්කා විසින් ගයාන් බාරයට මෙම උකුස්සා පත්කළ බවද හෙළිවූයේ ඉන්පසුවය. ගයාන් විසින් ගොවිපළේ මස් ආහාරයට දෙමින් උකුස්සා රැකබලා ගත්තද ඔහු අත්අඩංගුවට පත්වූ පසුව ගොවිපළ හිමියා හා සහායකයා විසින් උකුස්සා රැකබලාගෙන තිබෙන බවත් උකුස්සා ඔවුන් දෙන්නාට තරමක් හීලෑ වී ඇති බවත් පෙනී ගොස් ඇත.”



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා