ගෝඨාභය සාර්ථක ආරම්භයක් ගත් ඇමති මණ්ඩලය

 


ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මතු වන කරුණු රැසක් තිබේ. අපි කැබිනට් ඇමති මණ්ඩලයේ සංයුතිය ගැන කළ විග්‍රහය මෙතැනින් කියවන්න. කැබිනට් මණ්ඩල සමාජ විශ්ලේෂණය

Translations by Creative Content Consultants

ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙන තවත් බරපතල ගැටලුවක් නම් කාන්තා නියෝජනයයි. 1997 සිට කැබිනට් අමාත්‍යාංශයක් වූ කාන්තා කටයුතු සඳහා මෙවර ලබා දී තිබෙන්නේ පිරිමියකු අමාත්‍ය තනතුර දරන අමාත්‍යාංශයක එක් විෂයක ඉඩකඩ පමණි. ඒ පිළිබඳ ඊළඟ ලිපියකින් සාකච්ඡා කරමු.

ඇමති මණ්ඩල පත්කිරීම් කොයි ආණ්ඩුවක වුණත් අර්බුද ඇති කරයි. 1977න් පසු ක්‍රම ක්‍රමයෙන් ඇමති තනතුරු වගකීම්වලට වඩා බලය හා වරප්‍රසාද වෙනුවෙන් ලබාදෙන අල්ලස් බවට පත් වී තිබේ.

කෙසේ වෙතත්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබී තිබෙන බලය තුළ ඔහු ඇමති මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් සතුටු කිරීම වෙනුවට, ඔහුගේත්, රාජපක්ෂ පවුලේත් වඩාත්ම හිතවත් පිරිස සතුටු කිරීමට හා සන්ධානයේ පක්ෂවලට යම් නියෝජනයක් ලබාදීමට කටයුතු කර තිබේ.

මේ වන විටත්, ඔහුගේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම විනය විරෝධී ක්‍රියා සිදු කර තිබේ. විජේදාස රාජපක්ෂ තමන්ට දුන් ඇමති තනතුර භාර නොගත් බව කියැවේ. රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාවේදී තිදෙනෙකු එය මගහැර ගිය බව කියැවේ. විනය ගැන දැඩිව සලකන බව කියන ජනාධිපතිවරයා මේ මොහොතේ සිට ම එවැනි සෙල්ලම් නැවැත්විය යුතු ය. නැතිනම්, ඔය සෙල්ලම් කෙළවර වන්නේ එක්කෝ රාජපක්ෂ පවුලටත් හොරෙන් ගහන ගැහිලිවලින් හෝ ගෙඹි පැනිලිවලිනි.

ඇමතිවරුන් දිවුරුම් දෙන්නටත් පෙර, අමාත්‍යාංශ කාර්යාල හා විෂය වෙන් කර දී තිබිණි. එහිදී විෂය සම්බන්ධයෙන් යම් විහිළු සහගත තත්වයක් දක්නට ලැබුණත්, එය ශ්‍රී ලංකා රජයේ තිබෙන විහිළුසහගත ස්වභාවයේ ප්‍රකාශනයක් බව අප මතක් කරගත යුතු ය. රජය වේවැල්, පිත්තල, මැටි, බතික්, අත් යන්ත්‍ර රෙදි, පොල්, කිතුල්, තල්, රබර්, ඉස්සන්, අර්තාපල් ආදිය සම්බන්ධ බිස්නස්වලට සම්බන්ධ ය. බොහෝ විට පාඩු ලබන මෙම රාජ්‍ය ව්‍යවසාය අඩු තරමේ පාඩු නොලබන මට්ටමට ගෙන ඒමට හා ඒ ක්ෂේත්‍රවල ඇත්ත ව්‍යවසායන්ට ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහාය ලබා දීම වෙනුවෙන් ඒ ඒ නම්වලින් ඇමතිවරුන් පත් කිරීමේ ඇති වරද කුමක් ද?

ජනාධිපතිවරයා ද දේශපාලනයට නවකයෙකි. එසේම, ඔහු නවක දේශපාලකයන්ට කැබිනට් ඇමති වගකීම් පවා ලබා දී තිබේ. හොඳම උදාහරණය අලි සබ්‍රි ය. තමන් බලයට ගෙන ආ මුස්ලිම් විරෝධී රැල්ල තඹයකට නොතකමින්, සියලු නවකයන්ට ඉදිරියෙන් තමන්ගේ නඩු මෙහෙයවූ නීතීඥවරයා ආචාරධර්ම විරෝධී ආකාරයෙන් හෝ අධිකරණ ඇමති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන එඩිතරකම කැපීපෙනේ. කෙසේ වෙතත්, නවක මුස්ලිම් මන්ත්‍රීවරයකුට මෙතරම් තැනක් දීම හරහා ආණ්ඩුව සුළුතර ජාතීන්ට දෙන පණිවුඩය බලාපොරොත්තු සහගත එකකැයි අපට සිතේ.

සුපුරුදු ලෙස ලොකුම බලතල ප්‍රමාණය රාජපක්ෂ පවුලේ අයට ලබාගැනීම ගැන අප කිසිවකු පුදුම විය යුතු නැත. රාජපක්ෂවාදය යනු එයයි. රෝහිත අබේගුණවර්ධන වැනි දූෂිත අන්තේවාසිකයකුට වරාය කැබිනට් ඇමතිකම දීම ද එහි ම දිගුවකි. නිමල් ලන්සා වැනි අයට පවා ඇමති තනතුරු ලැබීමෙන් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් අතර බොහෝ දෙනෙකු සිතන තරම් වෙනසක් නැති බවයි.

ආණ්ඩුවේ අයිය මලෝ ගැටුම් ඇති වේ ය, රාජපක්ෂ පවුලේ අර්බුද ඇති වේ ය, අයියා නිසා මල්ලීට හරියට වැඩක් කරගන්නට බැරි වේ ය ආදී මිථ්‍යාවන්ගෙන් ජනතාව මිදිය යුතු ය. එහෙම ඒවා ගැන බලාපොරොත්තු නොතබා, ඉදිරි වසර පහක කාලයක් ආණ්ඩුවට රට පාලනය කිරීමට පුරවැසියන් ලෙස වැඩ කර, බදු ගෙවා අපගේ සහාය ලබා දිය යුතු ය. විපක්ෂය කරන භූමිකාව අනුව අවුරුදු පහකින් පසු මේ ආණ්ඩුව තව දුරටත් පවතී ද නැද්ද යන්න තීරණය වනු ඇත.

කෙසේ වෙතත්, දැන් ඉතින් පිළිගැනීම්, වැඩභාරගැනීමේ උත්සව, සතුට පළ කිරීමේ සම්භාෂණ ආදිය නවත්වා වැඩ කරන්නට පටන් ගනු ඇතැයි මහජනතාව ලෙස අපි බලාපොරොත්තු වෙමු.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා