ජනාධිපතිගේ බලකා කාර්ය සාධක ද? ‘බාධක’ ද?

අජිත් පැරකුම් ජයසිංහ

(කවරයේ රූපය මුස්ලිම් ජාතිකයන් යටත් විජිත හමුදාවලට එරෙහිව සටන් කරන අයුරු දැක්වෙන, කාතන්කුඩි උරුම කටුගෙයි තිබෙන මියුරල් චිත්‍රයකි)
පසුගිය සතියේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙකක් කෙරෙහි රටේ අවධානය යොමු වී තිබේ. ඒ අතරින්, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය විෂය කොටගත් ජනාධිපති කාර්ය සාධක බලකාය දෙමළ හා මුස්ලිම් සුළු ජාතීන් අතර විමතියක් හා තදබල සැකයක් ඇති කර තිබෙන බව නිරීක්ෂණය කළ හැකි ය.
Translations by Creative Content Consultants
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සභාපතිත්වය දරණ මෙම බලකායේ ලේකම් වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක ය. සෙසු සාමාජිකයන් වන්නේ, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, උතුරු, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.
නැගෙනහිර පළාත දෙමළ හා මුස්ලිම් බහුතරයක් ද අනුපාතික වශයෙන් අඩු සිංහල ජනගහණයක් ද ජීවත් වන පළාතකි. එහෙත්, එම පළාතේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කරන්නට යන ජනාධිපති කාර්ය සාධක බලකායේ එක ද දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු හෝ නැත. එම සාමාජිකයන් අතර දෙමළ භාෂා සාක්ෂරතාව ඇති අය ද නැති තරම් ය.
නැගෙනහිර පළාතට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන හඳුනා ගැනීම, හඳුනාගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය හා ප්‍රතිස්ථාපනය, පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යාත්මක භූමි සදහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණ හඳුනා ගැනීම සහ නිශ්චිතව හා නිත්‍යානුකූලව භූමි ප්‍රදේශ වෙන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, එකී භූමි ප්‍රදේශවල සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සහ එකී උරුමයන් ප්‍රවර්ධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකායට පැවරේ.
මෙම කාර්යයන් සඳහා තනි සිංහල කාර්ය සාධක බලකායක් පත් කිරීම හා එයට ප්‍රසිද්ධ සිංහල ජාතිවාදීන් ඇතුළත් කිරීම ජනාධිපතිවරයාට උරුමය පිළිබඳ සංවේදී කාරණය සම්බන්ධයෙන් පමණක් නොව සමස්තයක් ලෙස ජාතික සමගිය පිළිබඳව ද තිබෙන පටු දැක්ම ප්‍රකාශ කරයි.
නැගෙනහිර පළාත වනාහි දීර්ඝ ඉතිහාසයක සිට දෙමළ හා මුස්ලිම් ජාතීන් පමණක් නොව, මුහුදු වැද්දන් වැනි අප්‍රකට ජන කොට්ඨාසය පවා ජීවත් වූ සංකීර්ණ උරුමයක් ඇති පළාතකි. එහි බෞද්ධ නටබුන් රැසක් ඇති බව ද, ඒවාට තර්ජන එල්ල වී තිබෙන බව ද බොරුවක් නොවේ. එසේ සිදු වී තිබෙන්නේ අතීත උරුමය පොදු උරුමයක් ලෙස භාර නොගෙන වර්තමාන සමාජ ගැටුම් හරහා විග්‍රහ කිරීමට යාම නිසා ය. ඒ සම්බන්ධයෙන් සියලු ජාතීන් වගකිව යුතු ය. නායකත්වය යනු එම ගැටලු විසඳීමයි. තව අවුල් කිරීම නොවේ.
බෞද්ධ හැම උරුමයක් ම සිංහල බෞද්ධ ම නොවේ. මෙරට දෙමළ බෞද්ධ උරුමයන් ද තිබේ. එසේම, නැගෙනහිර පළාත තුළ තිබෙන දෙමළ, මුස්ලිම් උරුමය ද සුවිශාල එකකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කාතන්කුඩි උරුම කෞතුකාගාරය වැනි තැන්වලින් එවැනි කාරණා ගැන හැදෑරීමේ හැකියාව තිබේ.
අතිශය සංවේදී කාරණා සම්බන්ධයෙන් අසංවේදීව හා ජාතිවාදී අන්දමින් කටයුතු කිරීම නායකයන්ගේ හා රජයේ විනය පිළිබඳ බරපතල ගැටලුවකි. එය රටෙහි අනාගත සුරක්ෂිතභාවයට බාධාවකි. සෑම ජන කොටසකට ම එක හා සමාන ලෙස නොසැලකීම නීති විරෝධී ය. එවැනි කටයුතු කරන නායකයෝ ගුණ ගරුක අය නොවෙති.
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ද ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සභාපතිත්වය දරණ මෙම බලකායේ ලේකම් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක ය. එම කමිටුවේ සියලු සාමාජිකයෝ හමුදා සහ පොලිස් නිලධාරීහු ය. ඔවුන් නම්,
යුද හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. වාසගේ, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අයයි.
පහත දැක්වෙන්නේ කාතන්කුඩි උරුම කෞතුකාගාරයේ තබා ඇති ලංකාවේ පොලිසිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පළමු පුද්ගලයා වන මුස්ලිම් ජාතික සභාන්ගේ පිළිරුවකි. ඔහු මිය ගියේ සරදියෙල් ඇල්ලීම සඳහා කරන ලද මෙහෙයුමේදී ය. ඔහුගේ සුසානය මාවනැල්ල නගරයේ පිහිටා තිබේ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා