ඇල්කොහොල් නැති බියර් ජීවිතේ FALL IN LOVE මොහොත

අජිත් පැරකුම් ජයසිංහ

Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමය වූ රංගනය මේ වැටීමට අපූරුවට ගැලපෙනවා. ඇය තමයි Fall in love කියන රූඪිමය සංකල්පය මතු කරගන්නෙ. රූඪිවලට ඉඟි වැකි කියලාත් කියනවා.
Translations by Creative Content Consultants
හඳගම මේ චිත්‍රපටයෙ භාෂා හරඹයක් කරනවා. ඒකෙ කතා කරන මූලික භාෂාව සිංහල වුණාට ඒකෙ තේමාව ඉංග්‍රීසි ඉඩියම් එකක්. ඉඩියම් එකක් කියන්නෙ වාක්‍යයේ වචනවලින් දෙන අර්ථය ඉක්මවා ගිහින් වෙනස් අර්ථයක් ජනනය කරන අවස්ථාවක්. ඒ අර්ථය ලැබිලා තියෙන්නෙ භාවිතයෙන්. හඳගම මේ චිත්‍රපටය හරහා Fall in love ඉඩියමයේ නිරුක්තිය ගවේෂණය කරනවා.
Beer Without Alcohol චිත්‍රපටයෙ මූලික භාෂාව වන සිංහලයේ අර්ථ පද්ධතිය ඉක්මවා යන එක් තැනකදී චරිතවලට ඉංග්‍රීසියට හැරෙන්නට සිදුවෙනවා. සිංහලය භාෂාවක් විදියට එක තැනකදී Fall in love කියන ඉඩියම් එකේ අර්ථය දෙන්නට අසමත් වෙනවා. හැබැයි, සිංහල කතාකරන මිනිසුන්ටත් ඒ ඉඩියම් එකේ කියන Fall in love සිද්ධිය වෙනවා.
රුක්මාල් නිරෝෂ් රඟපාන චරිතයට ඒක වෙනවා. එතකල් ඔහු ගතකරන්නෙ නාට්‍ය නැති ජීවිතයක්. ඒක වෙන්නෙ වැටීමක් එක්ක. වැටිලා සිහි නැතිවෙලා මුලින් ම ඇස් අරිනකොට දකින ඇස් දෙකත් එක්ක. ඒ තමයි තුෂාරි (සමනලී ෆොන්සේකා). හැබැයි, තුෂාරිට ඒක වෙලා නැහැ. Fall in love වෙන්නෙ වැටුණු කෙනා විතරයි ද? එයා Fall in love වෙන අනෙක් පුද්ගලයා වැටිලා නැහැ. ඒ නිසා එයාට ඒ Fall in love එක දැනෙන්නෙ නැහැ. චිත්‍රපටයෙ පසු අවස්ථාවකදි තුෂාරි තමන් Fall in love වෙච්ච හැටි ගැන කතාවක් කියනවා. ඒක රුක්මාල්ව අන්දන්න ඉන්ද්‍රචාපයි, තුෂාරියි ගොතන අලිබයි (alibi) කතාවක් කියලායි මට නම් හිතෙන්නෙ. ඔය අස්සෙ අන්තිමට, තනියෙන් ඉන්න, අධි රංගනීය ජීවිතයක් වන නදීත් කැමරාවට පෙනෙන්න ඇදවැටෙනවා. ඒ ඇත්තට ම ද?
හඳගම මෙතනදි සිනමා නිර්මාණයකට හසුකරගන්නට හදන්නෙ වෙන කෙනෙකු කවියකින්, වාචික අභිනයට මුල් තැන හිමි වන නාට්‍යයකින් ප්‍රති නිර්මාණය කරන්නට උත්සාහ කරන්නට ඉඩ තියෙන චින්තාවක්. සමහර විට, සංගීත නිර්මාණයකට, චිත්‍රයකට හසුවෙන්නට ඉඩ තියෙන සෞන්දර්යාත්මක හැඟීමක්.
එල්විස් ප්‍රෙස්ලි මේ හැඟීම Can’t Help Falling In Love ගීතයේ වචනයට පවා නගන්නෙ මෙහෙමයි. ගීතය මෙතනින් අහන්න >>
Wise men say only fools rush in
But I can’t help falling in love with you
Shall I stay?
Would it be a sin
If I can’t help falling in love with you?
Like a river flows surely to the sea
Darling so it goes
Some things are meant to be
Take my hand, take my whole life too
For I can’t help falling in love with you
මේ චිත්‍රපටය ඉතා රසවත් නාට්‍යමය කතාවක්. එහි හැම දෙබස් ඛණ්ඩයක් ම විශිෂ්ට නාට්‍ය පිටපතක වචන. හැම රංගනයක් ම හොඳට කිරලා මැනලා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ රංගනයන් ඔස්සේ නාට්‍යමය පෙළ ඉක්මවා යන සිනමාව අපට හමුවෙනවා. රුක්මාල් හා තුෂාරි යන දෙදෙනා පමණක් අතර ඇති වන සංවාදය, නදීගේ නාට්‍යමය අධි රංගනය හා ඇදවැටීම අපූරු සිනමාත්මක රසයන් මතු කරන අවස්ථා දෙකක්. ඉන්ද්‍රචාප ලියනගේගේ සැහැල්ලු රංගනය ආකර්ශනීයයි. රුක්මාල් නිරෝෂ්ගේ භාවාත්මක රංගනය විශිෂ්ටයි.
මේ චිත්‍රපටය මට නිර්මාණයට පිටින් නිර්මාණ කාර්යය ඇතුළෙත් වෙන විදියකට ස්පර්ශ වෙනවා. ඇයි මේ කොරෝනා ලොක්ඩවුන් අතරෙ ශාරීරිකව විතරක් නෙමෙයි භූගෝලීයවත් දුරස්ථව ඉඳගෙන, චිත්‍රපට නිර්මාණයට යෝග්‍ය නොවන කෝල් කොන්ෆරන්සිං තාක්ෂණයක් භාවිතා කරමින් චිත්‍රපටයක් කරන්නට අශෝක හඳගමට හිතෙන්නෙ? සිනමාව සමග ඒ Fall in love එක ඇතුළෙ ගැඹුරු නිර්මාණයක් බිහිවෙලා.
මං මේ ලියපු වචන ටිකත් එක්ක විනාඩි 20ක් වැය කරලා නැවත වතාවක් Beer Without Alcohol බලන්න. මේක ඉවසීමෙන් යුතුව රස විඳිය යුතු චිත්‍රපටයක්. සැබෑ ආදරය නොදැනුණ ජීවිතය ඇල්කොහොල් නැති බියර් වගේ හිස්. ඔබේ ජීවිතේ Fall in love මොහොත ඔබට හමු වෙලා තිබෙනවා ද?
Translations

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා