කොවිඩ්-19 හා සමාජවාදය සඳහා අරගළය

අජිත් පැරකුම් ජයසිංහ

එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් ලක්ෂ 15ක් හඳුනාගැනීමට ලැබීම රටේ කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශ කිරීමක් වන හෙයින් එය ගෞරවයක් බව එරට ජනාධිපති ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ.
Translations
මේ වන විට එක්සත් ජනපද වැසියන් 91,000කට වඩා කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ.
එක්සත් ජනපද රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට සිදුකර තිබෙන පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 11.3කට වැඩි ය. සාමාන්‍යයෙන් සෑම පරීක්ෂණ 7.8කට ම වරක් එරට රෝගියකු හමුවේ. එය වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ අගයකි.
එක්සත් ජනපදය මිලියන 328කට වැඩි ජනගහනයක් ඇති රටකි.
කෙතරම් අපවාදයට ලක් වුණත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා හා රජය මෙන් ම, එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් ද කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙන අප්‍රකාශිත සාකල්‍ය මූලෝපාය අවධානය යොමු විය යුතු කරුණකි.
රෝගීන් සංඛ්‍යාව බිංදුව කිරීමේ, සියලු ආකාරයේ මරණ වළක්වාගැනීමේ බොළඳ අදහස් ජනාධිපති ට්‍රම්ප්ට තිබුණේ නැත. සිදු විය හැකි මරණ සංඛ්‍යාව පිළිබඳ තිත්ත දත්ත කල් තබා පුරෝකථනය කිරීමට පවා ඔහු එඩිතර විය. මිනිස් ඉතිහාසයේ මින් පෙර පැමිණි වසංගත හැම එකකදී ම මිනිස් ජීවිතවලින් ගෙවිය යුතුව තිබුණු වන්දිය ලෝකය විසින් ගෙවන ලදී.
කොවිඩ්-19ට එරෙහිව සටන් කිරීම යනු වයිරසයට බියේ සියලු කටයුතු නවත්වා සැඟවී සිටීම නොවේ. එසේ කරන්නට සිතීම ම අපරිණත බොළඳකමකි. ආර්ථිකය ආරක්ෂා කර නොගතහොත්, නූතන සමාජයට පැවැත්මක් නැත. එසේම, කොවිඩ්-19 ඕනෑවට වඩා ඇඟට ගෙන විෂබීජවලින් තොර ලෝකයක ජීවත් වන්නට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ අපට ලැබුණු ජීවිතය නීරස වී යාමයි.
කොවිඩ්-19 සමග සටන් කරමින් ජීවිතයේ සතුට උපරිමයෙන් විඳගන්නට අප උත්සාහ කළ යුතු ය. මුඛ ආවරණ නොපළඳින ට්‍රම්ප් යනු කොවිඩ්-19 අභියෝගය හමුවේ සුබවාදී මිනිස් අපේක්ෂාවේ සංකේතයකි. ඔහු සම්බන්ධයෙන් තිබෙන අනෙකුත් විවේචන මෙයට අදාළ නැත.
අප ද, අපේ ප්‍රියයන් ද මේ වසංගතයට ඔරොත්තු දීමට සමත් විය. යුතු ය. එම විභාගය අසමත් වන අය සමුගත යුතු ය. මිතුරනි, මට ද ඔබට ද සුබ ගමන්! මගේ හා ඔබගේ සමුගැනීම මිනිස් වර්ගයා වෙනුවෙන් අප කරන යුතුකමකි. ඒ වෙනුවෙන් සොබාදහම විසින් අප තෝරාගෙන තිබේ. ලෝකයට මිනිසුන් වැඩි ය. එමගින් අපගේ ග්‍රහලෝකයට ඇති වී තිබෙන පීඩනය කෙතරම් ද යත්, අප තවදුරටත් මෙසේ කටයුතු කරගෙන ගියහොත්, සමස්ත සත්ව සංහතිය ම වුව විනාශ වී යා හැකි ය. අනන්ත වූ විශ්වයේ අප දන්නා අසිරිමත් ම ග්‍රහලෝකයේ පැවැත්ම වෙනුවෙන් ශක්තිමත්, නිරෝගී මිනිසුන් හා ඔවුන්ගේ ජාන මානව පරිණාමයේ ඉදිරියට යන්නට සලස්වා අප පැත්තකට වීමේ කිසිදු වරදක් නැත.
ඇමරිකාවේ මැරෙන්නට බය නැති ට්‍රම්ප් නාකියාට මගේ ප්‍රණාමය! මහළු නොවුණත්, මෙම සටහන තබන මා ද මැදි වියේ කෙළවර සිටින පුද්ගලයෙකි. මා නිදහස් චින්තකයකු වුව ද, මා ගොඩනැගෙන බෞද්ධ පසුබිම තුළින් මට උරුම වී ඇති අත්හැරීමේ ගුණය මගේ ජීවිතයට ද අදාළ බව මම දනිමි. තරුණ ජවයට ඉඩ දී ඉවත්ව යන්නට අපගේ මහළු රාජ්‍ය පාලකයන් හා දේශපාලකයන් දැන්වත් සිතන්නේ නම් ශ්‍රී ලංකාවට ඔවුන් කරන විශිෂ්ට ම සේවය එයයි.
මරණය ජීවිතයේ ම කොටසකි. මිනිසුන් ලෙස අපට මිනිස් වර්ගයා වෙනුවෙන් යුතුකම් තිබේ. කොවිඩ්-19 සමග සටන අපට කළ නොහැක්කක් නම්, අප මිය යා යුතු ය. අප මිය යාමට තිබෙන එකම හේතුව කොවිඩ්-19 නොවන අතර, කුමන හේතුවක් නිසාවත් අප කිසිවකු අමරණීය වන්නේ නැත. ජීවිතය යනු අරගළයකි. අප ද රැකෙන ගමන්, අපේ ප්‍රියයන්, රෝගීන්, මහළු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම ඒ අරගළයේ කොටසකි. අප කොවිඩ්-19 වැළඳ නොගත යුත්තේ ඒ නිසා ය. එහෙත්, වයිරසයට බියෙන් සැඟවෙන්නට ද අපට බැරි ය.
කොවිඩ්-19 හමුවේ මා දන්නා සමාජවාදය එයයි. සමාජවාදය යනු ජීවන විලාසයකි. එය අද මේ මොහොතේ පවා අරගළයකි. ඔව්, දැන්, මෙන්න මෙතන ම තියෙන සටනකි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා