සමගි ජන බලවේගය පාර කපන්නේ චම්පිකට ද?

මෙම ඡායාරූපය සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී ගන්නා ලද්දකි. එහි හොඳින් ම ෆෝකස් වී සිටින පුද්ගලයා වන්නේ පාඨලී චම්පික රණවකයි.
සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරි මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වේ. මෙම ඡායාරූපයේ සිටින සජිත් හා චම්පික දෙදෙනා හැර අනෙක් අයට නැවත පත් වීම පවා අභියෝගයකි.
Translations by Creative Content Consultants
සජිත් හා චම්පිකට කොළඹ දිස්ත්‍රික්කයෙන් එතෙර වන්නට හැකි වනු ඇත. චම්පිකගේ එතෙර වීම අතිශය වැදගත් ය. මෙම ඡායාරූපයේ සිටින රංජිත් මද්දුම බණ්ඩාර වැනි මොන තනතුර ලැබුණත් වැඩක් කරගන්නට බැරි අඬන්නන් හා චන්ද්‍රානි බණ්ඩාර වැනි වැඩකට ම නැති චරිත අහෝසි වී යාමත් සමග පළමු වටයෙන් ම ඉදිරි පෙළෙහි ඉතිරි වනු ඇත්තේ සජිත් හා චම්පිකයි. සජිත් යනු දේශපාලනයේදී ධාරණාවකින් කටයුතු කළ හැකි සටන්කාමී පුද්ගලයෙකු නොවේ. ඉදිරි මැතිවරණ පරාජයෙන් පසු ඔහු නැවතත් මානසික ව්‍යාකූලත්වයට පත්ව කලකට අතුරුදහන් වනු ඇත. මෙවර ඔහු ඔසවාගෙන ඒමට තරම් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉතිරි වන්නේ නැත. එජාපට හෝ සමගි ජනතා බලවේගයට විපක්ෂ නායකකම පවා හිමි වන්නේ නැත.
චම්පික රණවක කර තිබෙන්නේ ඉතා සකසුරුවම් සහගත ආයෝජනයකැයි මට සිතේ. ඔහුට එක්සත් ජාතික පක්ෂය වැනි සම්ප්‍රදායික දැවැන්ත පක්ෂයක් හරහා ඉදිරියට යන්නට අපහසු බව ඔහු දනියි. මේ මොහොතේ ඔහු අඩු තරගකාරිත්වයක් ඇති ජනප්‍රිය අවකාශයක් වෙනුවෙන් ආයෝජනය කරන්නේ එහෙයිනි. එක්සත් ජාතික පක්ෂයේ බලවේග දෙකෙහි ම නියත අන්ත පරාජය හමුවේ චම්පිකට පුළුල් අවස්ථාවක් හිමි වේ.
ඔහුට ඇති එකම බාධකය වනු ඇත්තේ රිය අනතුර සම්බන්ධ නඩුව පමණි. එහෙත්, මෙවැනි නඩුවකින් මින් පෙර ගුවන් හමුදාපතිවරයකු ද නිදහස ලැබී ය. මෙය කලින් අසා අවසන් කරන ලද නඩුවක් හා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නැවත මතු කරගන්නක් බව පෙනී යාම නිසා ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත්, චම්පික අප සිතන තරම් එඩිතර පුද්ගලයකු නොවන බව මෙම සමස්ත සිද්ධියෙන් ම ඔහු ඔප්පු කර හමාර ය. එයින් ඔහුගේ ප්‍රතිරූපයට සෑහෙන හානියක් සිදු විය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තරම් ආරම්භයේ පටන් ම අසාර්ථක වූ ආණ්ඩුවක් ඉතිහාසයේ කිසි කලෙක තිබුණේ නැත. වර්තමානය වන විට ඔවුන් සිටින තත්වය හා මුහුණ දෙන්නට තිබෙන අභියෝගවල සුවිසල්භාවය අනුව, බලයේ රැඳී සිටින්නට නම් ඔවුන්ට තව කැරැල්ලක් අත්‍යවශ්‍ය ය. සහරාන්ගෙන් පසුව, ඒ වෙනුවෙන් ඉතිරිව සිටින එකම බලවේගය ලෙස සැලකිය හැක්කේ ඥානසාර, රතන වැනි ආන්තික බලවේග පමණි. එහෙත්, ඔවුන් අවංක ජාතිවාදීන් නොවේ. දැනට පවතින තත්වය අනුව නම්, ගෝඨාභය රාජපක්ෂට 2025 දක්වා බලය රැකගැනීම දුෂ්කර බව පෙනේ.
එක්සත් ජාතික පක්ෂය විසින් සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි අතර අහිමි කරගෙන තිබෙන ජන පදනම යළි දිනාගැනීමට සජිත්ට බැරි ය. විපක්ෂ බලවේගයට අලුත් මුහුණුවරක් දීමේ යම් හැකියාවක් චම්පික රණවකට තවමත් තිබේ. ඔහු පසුබැස්වීමට සමත්, ඒ හා සමාන නායකත්වයක් තවමත් කරළියේ දැකිය නොහැකි ය.
චම්පික රණවකට වාසිදායක දේශපාලන අනාගතයක් ඇත. ඔහු ඒ වෙනුවෙන් සියුම් හා අවදානම් සහගත ආයෝජනයක් කර තිබේ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා