කොවිඩ්-19 හරහා සාධනීය සමාජ වෙනසක් ඇති කරගන්නේ කෙසේ ද?

මේ වන විට චීනය කොඩිඩ්-19 වයිරසය අලුතෙන් ආසාදනය වීම බොහෝ දුරට පාලනය කරගැනීමට චීනය සමත් වී තිබේ. එහෙත්, මේ වන විට ඉතාලිය ඇතුළු රටවල්වල කොවිඩ්-19 වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. එය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ ද පැතිර යාම ආරම්භ විය හැකි ය.
Translations by Creative Content Consultants
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය ලෝක මට්ටමේ වසංගතයක් බව නිවේදනය කර තිබේ.
කොවිඩ්-19 වයිරසයේ පවත්නා දරුණුකමටත් වඩා ඒ සම්බන්ධ මාධ්‍ය චර්යාව දරුණු ය. එහි චීන විරෝධී ආර්ථික හා දේශපාලන අරමුණු තිබුණු බව පෙනේ. එහෙත්, ඉදිරි කාලයේදී මෙය බොහෝ දුරට සාමාන්‍යකරණය වනු ඇත. කොවිඩ්-19 සමග ජීවත් වීමට ලෝකය ඉගෙන ගනු ඇත.
කොවිඩ්-19 වයිරසය ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදු කර තිබේ. එය ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපා තිබේ. අර්බුදයේ ගැඹුර තවමත් අපැහැදිලි ය.
එහෙයින්, කොරෝනා වයිරසයෙන් පසු ලෝක හා ලාංකික ආර්ථිකයන් ඉන් පෙර ආර්ථිකයන්ගෙන් සපුරා වෙනස් විය හැකි ය.
කෙසේ වෙතත්, මේ මොහොතේ පටන් ම කොරෝනා වයිරසය යම් යම් සාධනීය සමාජ වෙනස්කම් සඳහා බලපෑම් කිරීමට යොදාගත හැකි ය.
චීනය කොවිඩ්-19 ඇසුරෙන් සිදු කරන ලද ඇතැම් ක්‍රියා මෙහිදී හැදෑරිය හැකි ය. චීනය වයිරසය සමග සටන් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය, ජංගම දුරකථන තාක්ෂණය, සීසීටීවී. කැමරා පද්ධති
සහ ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ ලබාගන්නා මහා දත්ත මැනැවින් උපයෝගී කරගත්තේ ය.
ශ්‍රී ලංකාවට තවමත් වයිරස ආසාදන පැතිරී නොමැති සංදර්භය තුළ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස ගත හැකි බොහෝ පියවර තිබේ. ඒ අතරින් ලාංකිකයන්ගේ පිරිසිදුකම සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කිරීම පහසුවෙන් සිදු කළ හැකි ය.
ලාංකිකයන් වැඩි දෙනෙකු අපරීක්ෂාකාරී ලෙස තැන තැන කෙළ ගසති. ප්‍රසිද්ධියේ බුලත් කා කෙළ ගැසීම ද එයට ඇතුළත් ය. කිවිසුමක් පිට කරන විට මුඛය ආවරණය කරගත යුතු බව තවමත් බොහෝ අයට අලුත් දැනුමකි. අපේ මිනිසුන්ගේ දෑත් සේදීමේ පුරුදු ඉතාම නරක ය. ආපන ශාලාවල සේවකයන් අපිරිසිදු අත්වලින් කෑම අතපතගාති. කෑම පිළියෙල කිරීම ද සිදුවන්නේ ඉතාමත් අපිරිසිදු තත්වයන් යටතේ ය.
මෙම තත්වයන් පාලනය කිරීමට අවශ්‍ය නීති රීති දැනටමත් සම්පාදනය කර තිබේ. එහෙත්, ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. නීති ක්‍රියාත්මක කරන්නට සිටින ඇතැම් අය ද නීති කඩන්නන් වැනි ම වූ අපිරිසිදු සත්වයෝ ය.
පවත්නා තත්වය පාවිච්චි කරමින් අධ්‍යාපනය හා ජනමාධ්‍ය ඔස්සේ නිවැරදි සෞඛ්‍ය පුරුදු බලපෑමක් සහිතව ඉගැන්විය හැකි ය. ඒ අතර, දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමෙන් ද තත්වය යහපත් අන්දමට පරිවර්තනය කළ හැකි ය.
ආණ්ඩුව මහා සංවර්ධන වැඩසටහන් ම ක්‍රියාත්මක කරන්නට ඕනෑ නැත. මෙවැනි කාර්යයන් ද දැවැන්ත සමාජ විපර්යාසවලට හේතු වනු ඇත.
ලාංකිකයන්ගේ පිරිසිදුකම නැංවීම ඇත්තෙන් ම සමාජ විප්ලවයකට මුලපුරනු ඇත. බොහෝ විප්ලවවාදීන් අතිශය අපිරිසිදු අය බව අපි අත්දැකීමෙන් දනිමු.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා