2020-02-29

ට්‍රැෆික් පොලිසිය හා ටෙරිෆික් ආණ්ඩුව

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020 පෙබරවාරි 29

මිලිටරි පොලිසිය, ගුවන් හමුදා පොලිසිය හා නාවික හමුදා ප්‍රොවොස්ට් ශාඛාව රථවාහන පාලනයට මහා මාර්ගයට දැමීම ගැන රටේ ගොඩනැගී තිබෙන සංවාදය ගැඹුරින් ම නීතිය හා රාජ්‍ය පාලනය සමග සම්බන්ධයි.
Translations
ප්‍රශ්නය රථ වාහන පාලනයට පොලිසියේ පිරිස් ප්‍රමාණවත් නැතිකම නම්, කළ යුතුව තිබෙන්නේ පොලිසියට අමතර පිරිස් බඳවා ගැනීමයි.
ඒ වෙනුවට කර තිබෙන්නේ රථ වාහන පාලනයට යුද හමුදාව කැඳවීමයි. රජයට එහෙම කරන්නට සිදු වුණේ ඇයි?
ට්‍රැෆික් පොලිසිය හරි ටෙරිෆික් ආයතනයක් ය කියන එක කවුරුත් දන්නවා. ඔවුන් අල්ලස් ගන්නා හැටි, මිනිසුන් අමාරුවේ දාන හැටි, අකාර්යක්ෂමකම ආදිය ගැන විස්තර මෙහි සටහන් කිරීම අවකාශය අපතේ යැවීමක්. ඒ ගැන කවුරුත් දන්නවා. හැබැයි, රථවාහන පොලිසිය අකාර්යක්ෂම වීම නිසා රට ආර්ථිකමය හා සමාජමය වශයෙන් විශාල මිළක් ගෙවනවා.
රථවාහන පාලනයට මිලිටරි පොලිසිය යෙදවීම පොලිස් පනතට එරෙහිව යෑමක් බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. මා හිතන්නෙ මේ නීතිමය බාධකය රජය පහසුවෙන් මගහරවා ගන්නවා.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවට ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතුවල නියැලීමට අවශ්‍ය බලතල ලබා දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2019 දෙසැම්බර් 19 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළා. එසේ කරන්නේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් යම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව තර්ජනයට ලක් වී තිබෙන බවට හෝ එලෙස තර්ජනයට ලක් වීමේ අවදානමක් තිබෙන බවට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් සහ එබඳු තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම්, එබඳු අවස්ථාවක හමුදාව කැඳවීමට ජනාධිපතිට බලය ඇති බව ජනාධිපතිවරයා වෙත පවරා තිබෙන මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යෙදවීමේ බලය යටතේයි.
මෙහි තිබෙන ගැටලුව නීතිමය ගැටලුවක් නෙමෙයි. රාජ්‍ය පාලන ප්‍රවේශයේ ගැටලුවක්. සාපේක්ෂ වශයෙන් ගත් කල රාජ්‍ය සේවයේ සෙසු අංශවලට වඩා ත්‍රිවිධ හමුදා විනය ඉහළ බව ඇත්තක්. පොලිසිය රාජ්‍ය සේවයේ දූෂිතම අංශ අතරින් ඉදිරියෙන් සිටින බව පසුගිය සමයේ විවිධ  අධ්‍යයන, නිරීක්ෂණ මගින් පෙන්වා දෙනු ලැබුවා.
රාජ්‍ය අංශය කියන්නේ විශ්‍රාමිකයන් ද ඇතුළුව ලක්ෂ 20ක පමණ දැවැන්ත සේනාවක්. මූලික වශයෙන් ඔවුන් නියැලී සිටින්නේ සේවා සම්පාදනයේයි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවල අකාර්යක්ෂමතාව පැත්තකින් තිබියදී, අඩු තරමේ රජයට බදු ආදායම් එකතු කර දීමේ අංශ හෝ ප්‍රමාණවත් තරමින් කාර්යක්ෂම නැහැ. එකතු කරගත හැකි බදු ආදායමවත් රජයට ලැබෙන්නේ නැහැ. පොලිසිය ගත්තොත්, රජයට දඩ ලෙස ලැබිය යුතු ආදායම් පවා සොරකම් කරන අය ඉන්නවා.
රථවාහන පොලිසිය කරන්නේ ඉතා දුෂ්කර රැකියාවක්. ඝන කාකි නිල ඇඳුම් ඇඳගෙන, තොප්පි, ග්ලවුස් දමාගෙන ගිනි මද්දහනේ, අධික රශ්මියෙන්, දුමින් යුත් වාහන මැද පාරේ රාජකාරි කිරීම ලෙහෙසි වැඩක් නෙමෙයි. ඔවුන්ගේ සේවය නොමැති නම්, කොයි තරම් රථවාහන තදබදයක් ඇති වන්නට, අනතුරු වැඩි වන්නට පුළුවන් ද? මේ දුෂ්කර රාජකාරියට ප්‍රමාණවත් වැටුපක් ඔවුන්ට ලැබෙනවා ද? මහජන මුදලින් නඩත්තු වන, භවන වැනි වායු සමනය කළ වාහනවල ගමන් බිමන් යන ලොකු ලොක්කන් මේ දුක දන්නවා ද? පවුල් පිටින් රජයේ නිවාසවල පදිංචි වීගෙන මහජන මුදලින් කකා බිබී විනෝද වෙමින් සිටින පාලකයන් තත්වය වෙනස් කිරීම පටන් ගන්නට හදන්නේ තමන් ආදර්ශවත් වෙමින් නොවෙයි.
Translations by Creative Content Consultants
රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවට විසඳුම හමුදාව යෙදීම නොවෙයි. හැබැයි, හමුදාව රාජ්‍ය සේවාවන්ට ආධාරක වීම නරක තත්වයකුත් නෙමෙයි. හැම හමුදා නිලධාරියෙකු ම මර්දකයෙකු නෙමෙයි. ඒ වගේ ම දැන් රණ විරුවොත් නැහැ. යුද්ධයක් නැහැනේ. බැරැක්කවලට සීමා කර තබනවා වෙනුවට මහජන සේවයට හමුදා යෙදවීම නරක දෙයක් නෙමෙයි. ඒ සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි. එමගින් සිවිල් කටයුතු මිලිටරිකරණයක් නොවිය යුතුයි.
මෙතනදි රාජ්‍ය සේවයටත් වගකීමක් පැවරෙනවා. දැන් ආණ්ඩුව දෙන පණිවුඩය සරලව මේකයි. “උඹලා හරියට නොකරන නිසා අපි හමුදාව දානවා.” ඒක තමයි රජයේ පිළිතුර. රජය දෙන විසඳුම වැරදි බව පෙන්වන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය අංශය දැන්වත් කාර්යක්ෂමතාව නැංවීම පිළිබඳ කතිකාවක් පටන් ගත්තොත් විතරයි. ඒකට දේශපාලනය පැත්තෙන් විතරක් නෙමෙයි, පරිපාලනය, කළමනාකරණය හා වෘත්තීය සමිති පැත්තෙනුත් මුලපිරුම් අවශ්‍යයි. එහෙම නැතිනම්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නංවන්නට රජය හමුදාව යොදවාවි. දැනට රාජ්‍ය සේවයේ තිබෙන තත්වය අනුව, මහජන විරෝධයක් මතු වෙන එකකුත් නැහැ.

2020-02-28

30/1 සහ 40/1 යෝජනා සම්මතයන් සහ සෙල්වම් සිවපාක්‍යම්

මේ ඡායාරූපයේ ඉන්න සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා.
ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි.

යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තවමත් ප්‍රමාණවත් තරමින් ආධාර උපකාර සිදුවන්නේ නැහැ. අධික රස්නය මැද තහඩු නිවසක ජීවත් වූ ඇය දිගුකාලීනව අසනීප වී සිට 72 විය සපුරද්දී ජරපත් මැහැල්ලක සේ මිය ගියා.
ඇය උපදින්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා මාස එකහමාරකට පමණ පසුව 1948 මාර්තු මාසයේදීයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනත් උපදින්නේ ඉන් වසරකට පසුවයි.
සිවපාක්‍යම්ගේ අවමංගල්‍යය සිදු වුණේ 2020 පෙබරවාරි 26වෙනිදායි. එදාම තමයි, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව වගවීම පිළිබඳ 30/1 සහ 40/1 යෝජනා සම්මතයන්ගේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ.
ශ්‍රී ලංකාව තවත් රටවල් සමග එක්ව යෝජනාවක් සම්මත කළා. අවුරුදු ගණනාවකට පසු ශ්‍රී ලංකාව නිවේදනය කරනවා තමන් ඒ යෝජනාව සම්මත කළ ඉතිහාසයෙන් ඉවත් වෙනවා ය කියා. ඒ අතර යෝජනාවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ඉටු කරලාත් ඉවරයි.
සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම මේ වගේ දෙයක්. ගමේ මරණාධාර සමිතියේදී ඔබ යෝජනා කරනවා ප්ලාස්ටික් පුටු 50ක් මිළ දී ගන්න. අවුරුදු පහක් යනකොට තේරෙනවා ප්ලාස්ටික් පුටු හොඳ නැති බව. ඒ නිසා දැන් ඔබ කියනවා ඔබ ඒ යෝජනා කරපු එකෙන් අයින් වෙනවා ය කියා. මේක ගමේ මරණාධාර සමිතියක නම් මළ විකාරයක්.
ඒ වුණාට, ජාත්‍යන්තර දේශපාලනයේදී මෙවැනි විකාර සහගත ක්‍රියා සිදුවෙන්නට පුළුවන්. ලෝකය ඉදිරියේ ලංකාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ රටක් විදියට අපට රාජ්‍ය ප්‍රතිපත්ති නැති බවයි. අපට තිබෙන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙන ප්‍රතිපත්ති. මේ කාරණාව මානව හිමිකම්වලට විතරක් නෙමෙයි, ආයෝජක විශ්වාසය සම්බන්ධයෙනුත් බලපානවා.
ශ්‍රී ලංකා රජයත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයත් අතර යුද්ධය පැවති තිස් අවුරුද්ද පුරා ම දෙපාර්ශ්වය විසින් ම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කළා. යුද්ධයේ අවසන් සමයේදී කොටි සංවිධානය සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස භාවිතා කළා. රජය යුද්ධය ජයගැනීමේ උවමනාව මත මානව හිමිකම් ගණන් ගත්තේ නැහැ. යුද්ධය අවසානයේදී භාර වූ කොටි සටන්කරුවන් 15,000ක් පමණ අතුරුදහන් වන බව වාර්තා වෙනවා. ඔවුන් ඝාතනයට ලක්වන්නට ඇති. කොටින්ගේ නිල නොවන ආණ්ඩුවක් පවතිද්දී, ඒ බලහත්කාරයට යටත්ව කොටි සංවිධානයේ සටන්කරුවන් බවට පත් වී සිට භාර වූ ජනයා ඝාතනය කිරීම සැබැවින් ම අපරාධයක්. මේ පිටසක්වළ ජීවීන් නෙමෙයි. අපේ රටේ ම ජනතාව. ඒ සම්බන්ධයෙන් රජය වග විය යුතුයි. කොටි සංවිධානය මානව හිමිකම්වලට ගරු නොකළ නිසා තමන්ටත් එසේ කළ නොහැකි යයි රජයකට පවසන්නට බැහැ. සිංහල ජනතාව එම තර්කය පිළිගත්තත්, රටේ සෙසු ජාතීන් සහ ලෝකය එය පිළිගන්නේ නැහැ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 හා 40/1 දරණ වගවීමේ යෝජනා සම්මතයන්ගෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් කුමන තත්වයක් ඇති වේ ද යන්න තවම පැහැදිලි නැහැ. මේ ප්‍රශ්නය ඇතැම් විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යොමු වේවි. එහිදී, චීනය, රුසියාව වැනි රටවල් ශ්‍රී ලංකාව ආරක්ෂා කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. එය එසේ ම සිදු විය හැකියි.
කෙසේ වෙතත්, ලංකාවේත්, තමිල්නාඩුවේත්, ලෝකය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාවේත් හඬ ද ප්‍රබලයි. එසේම, තම මුණුබුරාට සිදු වූයේ කුමක්දැයි සිවපාක්‍යම් අසන ප්‍රශ්නයත් සාධාරණයි. ඇය මිය ගියත්, ඇය විසින් සොයමින් සිටින රාජ්‍ය වගවීම පිළිබඳ ලෝක පිළිගැනීම නැති වන්නේ නැහැ.
මේ අර්බුදය මෙතැනින් එහාට විසඳාගන්නා ආකාරය ගැන යෝජනා ද රජය විසින් ඉදිරිපත් කළ යුතුයි.

2020-02-27

ක්‍රිකට් ලෝලීන්ට ගුටි; නිලධාරීන්ට මැච් බලන්න ප්ලේන්

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හැදීමට වරාය අධිකාරිය හා චයිනා හාබර් සමාගම රු. බිලියන පහක පමණ මුදලක් වැය කර තිබේ.
Translations
පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇණැවුම මත සිදුකරන ලද තක්සේරුවකින් හෙළිදරව් වූයේ මෙහි සත්‍ය වටිනාකම රු. බිලියන දෙකක් බවයි. ඉතිරි මුදල් මාටියා ගසන්නට හෝ නාස්ති වන්නට ඇත.
මෙහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 2011 පෙබරවාරි මස පවත්වන ලදී. එතැන් සිට මේ දක්වා නව වසර තුළ ක්‍රීඩා කර තිබෙන ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 20ක් පමණි. මෙම ක්‍රීඩාංගනය නඩත්තු කිරීම සඳහා ද විශාල මහජන මුදල් ප්‍රමාණයක් වියදම් කරනු ලැබේ.
මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2020 පෙබරවාරි 26දා පැවැත්වුණ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර රැගෙන ඇතුළු වීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා ඇති වූ කලබලකාරී තත්වය මැඩපැවැත්වීමට පොලිසිය විසින් ක්‍රීඩාලෝලීන්ට බැටන් ප්‍රහාර පවා එල්ල කරන ලදී.
එම තත්වයට වගකිව යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා කටුනායක සිට මත්තලට විශේෂ ගුවන් යානයකින් පැමිණ ආපසු ගිය හ.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ ටිකට් පත් නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇති වූ කලබලකාරී තත්වය හමුවේ පොලිසිය ක්‍රීඩාලෝලීන්ට පහර දෙන ආකාරයයි.
https://youtu.be/b9FKbvlzL20

ලාංකිකයන්ට යන්න හිතෙන රීයුනියන් රට


ලාංකිකයන් කොයි තරම් ජාතිවාදී වුණත්, විශේෂයෙන් ම සිංහලුන් ලංකාව ලෝකෙන් උතුම් රට යයි කීවත්, ධනවත් දුප්පත් බොහෝ අය බලාගෙන ඉන්නෙ අවස්ථාව ලද සැණින් වෙනත් කොහේට හෝ යන්නටයි.
Translations
දුප්පත් මිනිසුන් බොහෝ විට යන්නේ වැඩි ආදායමක් ලැබෙන රැකියාවක්, වඩා සුවපහසු ජීවිතයක් හා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සොයාගෙනයි. ලංකාවේ පවතින තත්වය අනුව ඒ සිතුවිල්ලේ වරදක් නැතැයි තර්ක කරන්නටත් පුළුවන්. විශේෂයෙන් ම යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට සිය ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තිබෙන දුෂ්කරතා හා රජයෙන් උපකාරයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් ජීවිතය වෙනස් කරගැනීමට පහසු මාර්ගයක් ලෙස තම ඥාතීන් සිටින ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට යාමට උත්සාහ කරනවා.
ඕස්ට්‍රේලියාව සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත්, ඔවුන් ආපසු හරවා එවීමට හා දූපතක රඳවා තැබීමටත් පියවර ගැනීම නිසා දැන් ලාංකිකයන් සරණාගතභාවය සොයා යාමට අලුත් රටක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ තමයි, ප්‍රංශයට අයත් ලා රීයුනියන් දූපත.
වර්ග කිලෝමීටර් 2500ක් පමණ වන, ලක්ෂ අටහමාරක් පමණ ජනගහනයක් වාසය කරන ලා රීයුනියන් දූපත පිහිටා තිබෙන්නේ ලංකාවට බටහිර දෙසින් ඉන්දියන් සාගරයේ මැඩගස්කරය හා මුරිසිය අතරයි. ලෝක උරුමයක් ලෙස ද සැලකෙන, සක්‍රිය Piton de la Fournaise ගිනිකන්ද පිහිටා තිබෙන්නේ මෙරටයි. ප්‍රංශයෙන් ලැබෙන මුදල්වලට අමතරව උක් වගාව හා සංචාරක කර්මාන්තය තමයි එහි ප්‍රධාන ආදායම් මාර්ග. රටේ ජනගහනයෙන් පහෙන් පංගුවක් ජීවත් වන්නේ එහි අගනුවර වන ශාන්ත ඩෙනිස් නගරයේයි.
වසර 2018, 2019 කාලයේදී රීයුනියන් දූපත වෙත ශ්‍රී ලාංකික සරණාගතයන් 291ක් පැමිණි බව www.fairplanet.org වාර්තා කරනවා. මානව පුද්ගල ජාවාරම්වල යෙදෙන ව්‍යාපාරිකයන් මෙසේ බෝට්ටුවලින් මෙරටට පුද්ගලයකු රැගෙන යාමට ඩොලර් 2,800ක් අය කරන බව එහි සඳහන් වෙනවා. 2016-2018 කාලයේදී ලා රීයුනියන් දූපතේ බලධාරීන්ට ලැබුණු සරණාගත අයදුම්පත් අතරින් බහුතරය ලාංකිකයන්ගෙනුයි.
රීයුනියන් ද දැන් තම සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩි කර තිබෙනවා. පසුගිය 2019 වසරේ පෙබරවාරියේ ශ්‍රී ලාංකිකයන් 64දෙනෙකුගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු එවා තිබෙනවා.
ලාංකිකයන් රුපියල් ලක්ෂ පහක් පමණ ගෙවා කිලෝමීටර් 4,000ක පමණ අවදානම් ගමනක් සති තුනක් තිස්සේ බෝට්ටුවෙන් යමින් රීයුනියන් වෙත යන්නේ එහිදී ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබුණොත්, පසු කලෙක ඔවුන්ට ප්‍රංශ පුරවැසිභාවය ලබාගත හැකි බැවින් විය හැකියි.
ඇයි ලාංකිකයන් මේ රට ම දේශපාලන රැකවරණ සඳහා තෝරාගන්නෙ? එයට ප්‍රධාන හේතුවක් තමයි, ක්‍රිස්තියානි බහුතරයක් සිටින, බහුජාතික රටක් වන එහි හින්දු, මුස්ලිම් ඇතුළු සෙසු ආගම්වලට හා ජාතීන්ට තිබෙන විවෘතකම. මේ රට ජනාවාස කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ම ප්‍රංශය විසින් 17වන සියවසේදීයි. ඒ වහලුන්ගෙන් සහ කෝපි වගාව සඳහා ගෙන එන ලද ශ්‍රමිකයන්ගෙන්.
ලංකාවේ මේ වන විට සිටින ජනාධිපතිවරයා පවා තමන්ගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පිණිස රට දමා ගොස් දේශපාලන බලය වෙනුවෙන් ආපසු පැමිණි අයෙකි. මිනිසුන්ට රට හැර යන්නට සිදු වන කාලකණ්ණිකමේ තරම ඔහු හොඳින් දන්නවා විය යුතු ය. ලංකාව මිනිසුන්ට ඉන්න හිතෙන රටක් කිරීම සඳහා ඔහු වැඩ කළ යුතු ය.
ඡායාරූපයේ තවත් ලාංකික සරණාගතයකු සමග දකුණේ සිටින්නේ බාලප්පු වඩුගේ ප්‍රසාද් ඉන්දික ඩිලාන් මෙන්ඩිස් (35)

ඩිජිටල්කරණය නම් කෝකටත් තෛලය හා රාජ්‍ය අංශය

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2020 පෙබරවාරි 23)

ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට රාජ්‍ය අංශය ගැන අවධානය යොමු නොකර එය කරන්නට බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් අපට තිබෙනවා. රාජ්‍ය අංශය හැම දිහාවට ම අඬු බඬු විහිදලා තියෙන්නෙ. සිල්ලර වෙළඳාම පවා කරනවා.
Translations
ඒත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම බවත් කවුරුත් දන්නවා. පසුගිය සමයේ විහිළුවට කියැවුණ කාරණයක් වුණේ රජයේ ආයතනයක ආදර්ශ පාඨය ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නන්න’ යන්න බවයි.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව, ඵලදායිතාව ඉහළ නංවන්නේ නැතුව ලංකාවට පූර්ණ සංවර්ධන හැකියාවන් අත්පත් කරගන්නට බැහැ. රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡා වෙන්නෙ මෙම සංදර්භය තුළයි.
රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සාකච්ඡාවත් සමග ම රජය සැරසෙන්නේ රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නට ද යන ප්‍රශ්නය අනිවාර්යයෙන් මතු වෙනවා. ඒ සැකය නිසා ම රාජ්‍ය අංශයේ නවීකරණයට රජයේ සේවකයන් පැත්තෙන් විරෝධය එල්ල වීමක් ද දකින්නට ලැබෙනවා.
ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිෂමේ සභාපති එස්. රනුග්ගේ මහතා පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැත්වුණ කොළඹ දේශපාලන සංවාද නම් වූ වැඩසටහනකදී පෙන්වා දුන්නේ, නවීකරණයෙන් පසුව පවා කාර්ය මණ්ඩලය එම ප්‍රමාණයෙන් ම පවතිනු ඇති බවයි. “රජයට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කළ හැකි යයි මා සිතන්නේ නැහැ. එසේ අඩු කරනු ලබන රාජ්‍ය සේවකයන්ට නැවත රැකියා ලබා දීමේ වගකීම ද ඇත්තේ රජයට වීම එයට හේතුවයි.”
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ආයතනයේ මහාචාර්ය මයිකල් මුවර් පැවසුවේ එක්දහස් නවසිය අනූව දශකයේදී රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කළ බොහෝ රටවල් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳ අදහස් ඉදිරිපත් කළමුත් එය කිසිදු කලෙක සිදු නොවූ බවයි. “සරලව ම, ශ්‍රී ලංකාවට රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දේශපාලන පිරිවැය දරාගන්නට බැහැ. කෙසේ වෙතත්, ඵලදායී නොවන සංවර්ධන සහකාර වැනි තනතුරු සඳහා බඳවාගැනීම් නොකර සිටීමට රජයට හැකියාව තිබෙනවා. ඔවුන්ව ද හැකි තරම් දුරට නැවත සේවයේ යෙදවිය හැකියි. එවැනි ඉවත් කිරීම් විසින් ලේ වැගිරෙන ගැටුම් ඇති වන්නට පුළුවන්.”
රාජ්‍ය අංශයේ නවීකරණය පිළිබඳ කතාකරන හැමවිට ම රජය වැඩි අවධානයක් යොමු කරන්නේ ඩිජිටල්කරණයටයි. මෙය අද වන විට කෝකටත් තෛලයක් වගේත් වෙලා. ඩිජිටල්කරණයෙන් සියලු ප්‍රශ්න විසඳේ ද?
මේ සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂවරයකු වන වසන්ත දේශප්‍රිය පෙන්වා දුන් කරුණක් වන්නේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ආචාර්ය ෂෙල්ටන් වනසිංහ විසින් පරිසමාප්ත වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇති බවයි. එහි ප්‍රතිසංස්කරණය විය යුතු කලාප 14ක් පෙන්වා දී තිබෙන අතර තොරතුරු තාක්ෂණය ඉන් එකක් පමණක් බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ඩිජිටල්කරණය ගැන කතා කරන නිසා අප ඩිජිටල්කරණයේ තත්වය ගැන විමසා බැලිය යුතුයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි. ඔවුන් අතරින් 26%කට උපාධි හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබේ. දැනට සිටින රාජ්‍ය සේවකයන් අතරින් 66%ක් පරිගණක භාවිතය පිළිබඳ හුරුපුරුදු ය. 36%ක් අන්තර්ජාලය භාවිතා කරන අතර, 36%ක් ඊමේල් භාවිතා කරති. මෙය නරක තත්වයක් නොවුණත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට නම් තවදුරටත් සංවර්ධනය විය යුතු තත්වයක්.
ආයතනයක වෙබ් අඩවියක් කියන්නේ අද වන විට ඉතා සාමාන්‍ය උපාංගයක්. එහෙත්, ලංකාවේ රාජ්‍ය ආයතන තවමත් සාමාන්‍ය වෙබ් අඩවි පවා උත්සවාකාරයෙන් දියත් කරනවා. ඊළඟ ගැටලුව මෙම වෙබ් අඩවි තොරතුරුවලින් කොයි තරම් පරිපූර්ණ ද යන්නයි. බොහෝ රාජ්‍ය ආයතන වෙබ් අඩවි මාස ගණනකින් හෝ අවුරුදු ගණනකින් යාවත්කාලීන වී නැහැ. රජයේ තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගත නොහැකියි. තිබෙන තොරතුරුත් ඇතැම් විට යන්ත්‍ර මගින් කියැවිය නොහැකියි.
රජයේ ඇතැම් වෙබ් අඩවි අනවශ්‍ය අන්දමින් වානිජකරණය වීමක් වෙත යොමු වන බවක් ද දකින්නට ලැබෙනවා. රජයේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනය මෙයට නිදසුනක්. එම ආයතනයේ දිනමිණ, සිළුමිණ, ඩේලි නිව්ස්, දි ඔබ්සර්වර් වැනි ප්‍රධාන වෙබ් අඩවි මෑතදී සංවර්ධනය කරනු ලැබුවේ ඒවා වෙළඳපොළකරණය ඉලක්ක කරගෙනයි. ඒ අනුව, මෙම මාධ්‍ය ආයතනවල තොරතුරු ද ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන තොරතුරු මෙන් විවෘත අන්තර්ජාල ප්‍රවේශයෙන් සඟවා තැබීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් තිබෙන බව දකින්නට ලැබෙනවා.

2020-02-25

අපිත් උපන් ගෙයි බුලි කරන ජාතියක්

අජිත් පැරකුම් ජයසිංහ

බුලිං කියන ඉංග්‍රීසි වචනයේ අරුත පරිසමාප්තව දෙන සිංහල වචනයක් නැත්තෙ අප සංස්කෘතික වශයෙන් ම බුලි කිරීම හඳුනා නොගන්නා නිසායි. නැතිනම් බුලි කිරීම අපේ සංස්කෘතියේ කොටසක් නිසායි. විශේෂයෙන් ම, ශාරීරික අඩුපාඩු සහිත අයට අපහාසාත්මකව සැලකීම අපේ සංස්කෘතියේ සාමාන්‍ය තත්වයක්. ඒ අය සම්බන්ධයෙන් අනුකම්පා කිරීම හෝ ඒවා එහෙම තමයි කියා භාරගැනීම මිස එවැනි අඩුපාඩු ඇති අය ගැන සංවේදී විය යුතු යයි සංකල්පයක් අපේ සංස්කෘතියේ ම නැහැ. බුලි කිරීම බටහිර සංකල්පයක්. අපි බුලි කරන ජාතියක්.
Translations
කථන ආබාධ සහිත අයට ගොළුවා ය කියන එක, ශ්‍රවණ ආබාධ සහිත අයට බීරා කියන එක, පෙනීම සම්බන්ධ ආබාධ තිබෙන අයට අන්ධයා, පොට්ටයා, කණා, වපරයා කියන එක, කෙස් හැලුණ අයට තට්ටයා කියන එක. ස්කෝලියෝසිස් කෙනෙකුට කුදා කියන එක, විටිලයිගෝවලට කබර කියන එක, ඇලොපේෂියා ඒරියාටාවලට උඳුගොව්වන් කෑම කියන එක වැනි දේ අපේ සංස්කෘතිය තුළට කිඳා බැහැලා තියෙනවා. ඒවා වෙනස් කරන එක ඉතා දුෂ්කරයි. රත්මලානේ අඳ ගොළු බිහිරි විද්‍යාලයේ නම වෙනස් කළත්, ඒ පාසල තිබෙන තැනට ගොළුමඩම කියන අපහාසාත්මක මූලයක් තිබෙන නම භාවිතා කරන එක නවතින එකක් නැහැ. විලියම් මිරිස් මෝල නැතත්, ඒ හන්දිය තවමත් විලියම් හන්දියනේ.
ශාරීරික හැඩරුව එක්ක නම් තැබීම අපේ සංස්කෘතියේ අතීතයේ සිට පැවති දෙයක්. වංක නාසික තිස්සගේ නමේ ම නහයෙ ඇදය තියෙනවා. ගෝඨාභය කියන අතීතයේ සිටි රජු නමේ තේරුම අනුව ගොළු හෝ මිටි හෝ විය යුතුයි. වර්තමානයේ බුලි කිරීම යනුවෙන් හඳුන්වන ක්‍රියාව පිළිබඳ අතීතයේදී අප ඒ ලෙස ම සිතුවේ නැති බවයි පෙනෙන්නේ. ශාරීරික අඩුපාඩුකම් ම ආදරය ප්‍රකාශ කරන්නටත් යොදාගැනුණු බව පෙනෙනවා. අඩුපාඩු සහිත පුද්ගලයා එය විඳ දරාගත යුතු වගේ ආකල්පයක් තමයි තිබුණෙ. ඇතැම් විට, ඒවා දෛවයේ අනිවාර්ය ප්‍රතිඵල ලෙස සැලකූ නිසා ඒ අයට ඇමතීමේදී සුවිශේෂ වශයෙන් පරිස්සම් විය යුතු යයි සිතන්නටත් නැතුව ඇති. උස අයට දිගා, දීඝ ගාමිණී වැනි නමුත් යෙදුණා නේ.
දැන් අපි ඉස්සර වගේ නමට ශරීර හැඩරුව එකතු කරන්නෙ නැහැ. කළු නිසා වළාකුළු පාට හෙවත් මේඝ වර්ණය අනුව කීර්ති ශ්‍රී මේඝවර්ණ හෝ කළු බණ්ඩා වගේ නම් නොතැබුවාට අප තවමත් කළු මහත්තයා, කළු රංජි, කළු සමන් වගේ අන්වර්ථ නාම භාවිතා කරනවා.
කළු පාට සම්බන්ධයෙන් අතීතයේ තිබුණු සාධනීයබව දැන් නැහැ. මං කළු නිසාත්, අපි උසස් පෙළ පන්තිවල ඉන්න කාලෙ සතුට පත්තරේ කළු ඇල්බට් කියලා චරිතයක් සිටි චිත්‍රකතාවක් තිබුණු නිසාත්, මටත් කාලයක් කොල්ලො කළු ඇල්බට් කිව්වා. මගෙන් විරුද්ධත්වයක් නැති නිසා පස්සෙ කළු කෑල්ල හැලිලා ඇල්බට්, ඇල්බා එහෙමත් කිව්වා. මගේ එක සමීප මිතුරකු වන ඉතාලියෙ ඉන්න උදිත ඉන්ද්‍රප්‍රිය තවමත් මට ඒ නමින් කතා කරනවා. දවසක් ඌ අපේ ගෙදරට කෝල් එකක් අරගෙන මගේ බිරිඳ කියා හිතලා ඇල්බට් ඉන්නවද අහලා. එදා දුරකථනයට උත්තර දීලා තියෙන්නෙ අපේ නැන්දම්මා. එයාගෙ සැමියාගේ හෙවත් මගේ බිරිඳගේ පියාගේ නමත් ඇල්බට්. ඒ නිසා එදා එතන හෙණ පටලැවිල්ලක් වෙලා.
මගේ කළු පාටට හා පෙනුමට ගැහැණුන් අතරෙ තියෙන ඩිමාන්ඩ් එක මට පෙනුණෙ මං තරුණ අවධියට ආවාට පසුවයි. හැබැයි, එතකල් කළු නිසා මං බුලි වුණා. බුලි කරන්නට පුළුවන් බුලි වෙන අයට විතරයි.
දැන් මේ සමාජ මාධ්‍ය අවකාශයේ කට්ටිය වාද විවාදවලට පැටලිලා අන්තිමට මට කියන්නෙ නාකියා කියලා. මගේ වයසට වඩා මගේ කොණ්ඩෙ හා රැවුල සුදුයි. මගේ වයසෙ වෙනත් බොහෝ අය වගේ මං ඒවා ඩයි කරන්නෙ නැහැ. ඩයි කිරීම මට කරදරයක්. උතුරා යන මානව දයාව නිසා සමාජයට විමුක්තිය උදා කර දීම වෙනුවෙන් දිවි කැප කර සිටින බව කියන, මාක්ස්වාදය ඇතුළු ප්‍රගතිශීලී ය කියන දර්ශනවාදයන් අතැඹුල සේ දත් බව කියන අයත් මට නාකියා කියලා තියෙනවා. ඔවුන් හිතනවා ඒකෙන් මට බුලි කරන්නට පුළුවන් ය කියලා. පරණ පෙම්වතියන් අහනවා ඇයි මේ කොණ්ඩෙ සුදු වෙච්ච කැත ෆොටෝ දාන්නෙ කියලා. කැත කියලා එකක් නැහැ. ලස්සන කියලා එකකුත් නැහැ. ඒවා තියෙන්නෙ අපේ හිතේ.
Translations by Creative Content Consultants
ඇප්වලින් සංස්කරණය කරගත්ත, සුදු කරගත්ත ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන අයට වෙන ලොකුම අලකලංචිය වන්නෙ තමන් ඒ ෆොටෝවල ඉන්න අය වගේ ය කියලා ඇත්තට ම හිතාගෙන හැසිරෙන්නට යාමෙනුයි.
හැබැයි, ශාරීරික අඩුපාඩුකම්, ආබාධ තිබෙන අයට අපහාසාත්මක ලෙස කතා කිරීම ඉතා ම අශෝභන තත්වයක්. කලක් මුදල් ඇමතිව සිටි කේ.එන්. චොක්සිගේ කට කිසියම් හේතුවක් නිසා පැත්තකට ගිහින් තිබුණෙ. එවකට ජවිපෙ ප්‍රචාරක ලේකම්ව සිටි විමල් වීරවංශ වරක් කිව්වා ලංකාවෙ ආර්ථිකයත් හරියට චොක්සිගේ කට වගේ ය කියලා. දැන් විමල්ගෙ කොණ්ඩෙ කළු පාට සාමාන්‍ය තත්වයට වඩා තද පාටයි. ඩයි කරනවා ඇති. ජීවිතේ එහෙම තමයි. කවුරුත් වයසට යනවා. රෝගාබාධ වැළඳෙනවා. මැරෙනවා. සාමාන්‍ය ශරීර තිබෙන අයට මේක තේරුම් ගන්නට ගොඩක් කල් යනවා. ඒකෙත් හැටි එහෙම තමයි. ජීවිතේ කියන්නෙ අපි හැමදාමත් වරද්දා ගන්න, ඉගෙන ගන්න දෙයක්.
අනුන් ගැන විනිශ්චය කරලා විග්‍රහ කරන එක ලේසියි. ඒත්, අමාරු ම දේ තමන්ගේ ජීවිතය තුළ වැරදි නොකර ජීවත් වෙන එක. අපි හැමෝටම වරදින නිසාත් ජීවිතය අරගලයක් වෙනවා. ජීවිතය කියන්නෙ ම හොඳ විසින් නරකත් එක්ක කරන අරගලයක්.
බුලි නොකර ඉඳිමු. බුලි නොකර ඉන්න අපේ ළමයින්ටත්, ඊට කලින් ගුරුවරුන්ටත් උගන්වමු. නව හැවිරිදි ක්වේඩන් බේල්ස්ගේ වීඩියෝවෙන් ලෝකය ඉගෙන ගත් පාඩම එයයි. ඔහු කුමන ආකාරයේ පුද්ගලයකු වුවත්, එය කුමන ආකාරයේ සිද්ධියක් වුණත්, එමගින් ඇති කරන ලද ලෝක ජනමතය ඉතා වැදගත්. (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය.)
බුලි කරනවා, බුලි කිරීම කියන වචන දෙක අපට සිංහල වාක්කෝෂයට පහසුවෙන් එකතු කරගන්නට පුළුවන්. අලුත් වචන හදන්නට යන්න ඕනැ නැහැ. හැබැයි, බුලිං කරනවා කියන්න එපා.

කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර

අජිත් පැරකුම් ජයසිංහ

රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ.
රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි, පසුකාලීනව ඉතාලියේ ජීවත්ව නැවත ලංකාවට පැමිණ වර්තමානයේදී අගහස් ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන, සමාජ ක්‍රියාකාරිකයෙක්. ලංකාවේ වාම, ප්‍රගතිශීලී සහ සිවිල් සමාජ අවකාශයේ බොහෝ දෙනෙකු රංජිත් දිසානායක හඳුනනවා.
මීට පෙර රංජිත් දිසානායක ප්‍රවර්ධනය කළ තවත් තරගකාරී පොත් ප්‍රකාශකයකු වන්නේ ජනක ඉනිමංකඩ බව ද සිහිපත් කරගත යුතු ය. රංජිත් දිසානායක තමන් සමග නිතර බ්‍රැන්ඩි බොන මිතුරකු බව ඔහු පැවසුවා. ඔහුගේ සෙසු සමීප මිතුරන් වන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක වැනි අයයි. කළු රංජි තමන්ගේ මිතුරකු බව පැවසීමට සංස්කෘතික ප්‍රභූ සමාජය ඉදිරිපත් වීම මා නම් දකින්නේ ඉතා සාධනීය තත්වයක් ලෙසයි. හැබැයි, කළු රංජි ගැන කතා කරන්නට ඉදිරිපත් නොවුණාට මා සිතන පරිදි ප්‍රේම් දිසානායකත් ඔහුගේ දීර්ඝකාලීන මිතුරෙක්.
රංජිත් දිසානායක කියන්නේ වාම අවකාශයේ අත්‍යවශ්‍ය සුබසාධනවාදී භූමිකාව ස්වේච්ඡාවෙන් භාරගෙන ඉටු කරන ක්‍රියාකාරිකයෙක්. ඔහු නැතිනම් ඒ භූමිකාව ඉටුකරන්නට වෙනත් කෙනෙකු වමට නැහැ. ඔහු කිසිදාක න්‍යායික තර්ක විතර්ක කරන හෝ කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් සමග ගැටුම් ඇති කරගන්නා පුද්ගලයෙකු නෙමෙයි. තමන් ස්වේච්ඡාවෙන් භාරගෙන කරන කාර්යභාරයට අමතරව වෙනත් දේශපාලන නායකත්ව වගකීම් භාරගැනීමට ඔහු කිසිදාක ඉදිරිපත් වුණේ නැහැ.
රංජිත් දිසානායක වැනි බොහෝ පුරාවෘත්තමය පුරුෂ චරිතවලට නිදහසේ වැඩකරන්නට අවශ්‍ය ආර්ථික පරිසරය හැදෙන්නේ ඔවුන්ගේ භාර්යාවන්, සහකාරියන් නිසා බව බොහෝ අය සිතන්නේ නැහැ. රංජිත් අයියා කුමන පාඩුව විඳ දරාගත්තත්, ඔහුගේ හෝ පවුලේ හෝ ජීවිතය බිඳ නොවැටෙන ආර්ථික ශක්තියක් ඔහුගේ බිරිඳ නීතා විසින් සපයනවා. ඇය නීතිඥවරියක්. ඔහුගේ දරුවන් ද ඔහුට උපකාර කරනවා. වාමාංශික සහෝදරවරුන් නම් කිසිවෙකු ඔහුගේ ව්‍යායාමයන්ට උපකාර කරනවා ඇතැයි මා සිතන්නේ නැහැ.
එහෙත්, ඔහුට විදර්ශන කන්නන්ගර කියන විදියේ ‘නොදැනුමේ දැනුමක් තුළ අපහරණව වන….
සංකීර්ණ නරුමයෙකු…. මුග්ධ අහිංසක’ කෙනෙකු නෙමෙයි. ඔහු කියන්නෙ මෙහෙමයි: “රංජි කියන්නෙ ලාභයට, මුදලට හා ප්‍රාග්ධනයට මිනිස් සබදතා, දේශපාලනය හා කලා-සංස්කෘතිය හිලව් නොකළ කල්‍යාණ සහෘදයෙක්. සන්නස්ගල කියන්නෙ සංස්කෘතිය හා අධ්‍යාපනය වානිජ ප්‍රාග්ධනයට යටත් කෙරුණු ලාංකේය පසු ධනවාදයේ සංස්කෘතික නිර්මිතයක්. විකිණීම උදානයක් කරගත් ඔහුව මීට දශක කිහිපයකට පෙර පලු ඇරපු සංස්කෘතික ප්‍රභූවරු අද ඔහුවත් පසුකරමින් පට්ට ධනකාමීන් වෙලා. සංස්කෘතිය කියන කලාපය ධනෝපායන මාර්ගයක් කරගත් මේ අලුත් ප්‍රභූ ධනපතීන් ගැන අපට සදාචාර විනිශ්චයක් නැහැ. සන්නස්ගල වැන්නෙකු අතින් කලා-සංස්කෘතික කලාපය තුළ සිදුවන සමහර ප්‍රයෝජනවත් වැඩ වලට ආන්‍තිකව දමල ඇරීමේ හදිස්සියකුත් මට නැහැ. එහෙත් අපට මේ ප්‍රවනතා ගැන දේශපාලනික-ආචාර ධාර්මික ගැටලුවක් තියෙනවා. සදාචාරය හා ආචාරධර්මය කියන්නෙ දෙකක්. සංස්කෘතිය, ප්‍රාග්ධන සමුච්චනයේ මූලෝපායක් බවට පත්කරල හදිසි ධනවතුන් වූ ප්‍රභූන්ට විමුක්ති දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කරල බොහෝ දේ අහිමි කරගත්ත රංජි වගේ මිනිස්සුන්ව සමරන්න ඕන වෙන්නෙ ඇයි? රංජි නම් වූ ෆැන්ටසියක් ඔවුනට අවශ්‍ය වන්නේ කවර ක්ෂතිමය යථාවකින් පලා යන්නද? මයිල් නැති හිත හොඳ පුකක රෝස මල් හිටවීම දේශපාලනික නැත්ද? කළු රංජි සහෝදරයා මේ වගේ අලුකුත්තේරු ප්‍රශ්න අසන්නේ නැත.එහෙත් ඔහු මේ යටි පෙළ නොදන්නා මුග්ධයකුම නොවෙයි. ඒ අරුතින් රංජි යනු සංකීර්ණ නරුමයෙකු විය හැකිය. මේ මොහොතේ රංජිගේ හදවත මසාජ් කිරීමට බොහෝ අය ඇත. එහෙත් නොදැනුමේ දැනුමක් තුළ ඔහුව අපහරණය වීම විචාරයට ලක් කිරීමට කිසිවෙකු බෙහෙතකට වත් නැත. රංජිගේ ජීවන භාවිතය නිර්මාණය වූයේ එක්තරා යුගයක විමුක්තිවාදී මානුෂීය සංස්කෘතියකිනි. එය මිනිස් වර්ගයාගේ සාමුහික අනාගතය පිළිබද ශේෂ පත්‍රයකි. පවතින ධනවාදී වෙළඳපොළ වනාහී මේ යුගයේ අවසාන නිෂ්ඨාව යැයි සපථ කරමින් උදාන ගී ගයන ලිබරල් ධන ප්‍රභූන් විසින් අද කළු රංජිලා සැමරීම යනු නරුම ලිබරල් සෝපහාසයකි. බැලූ බැල්මට අහිංසක යැයි පෙනෙන මේ වතාවත් විසින් තෘප්ත කෙරෙන්නේ යුගයේ නරුම ෆැන්ටසියකි. ‘මට උඹලාගෙන් උපහාර කුමටද?’ ‘මගේ හොඳ හිත සමරන්න මා තවම මියගොස් නැත.’ ‘උඹලාට වඩා මම හොඳ බොක්කක් වූයේ මන්ද ?’ කළු රංජි මෙවැනි ප්‍රශ්න ඇසුවොත් කලා-සංස්කෘතික ප්‍රභූන් බහුතරයකුගේ රෙදි ගැලවෙනු නියතය. එහෙත් කළු රංජිගේ මුග්ධ අහිංසක කම විසින් මෙම ප්‍රශ්න ඇසෙන්නේ නැත. මුග්ධ අහිංසක කම යනුද මේ යුගයේ අහිංසක නැති දේශපාලන ප්‍රවර්ගයකි..
මෙම ප්‍රකාශයේ අරමුණ විදර්ශන කන්නන්ගරගේ දේශපාලන භාවිතාවත් සමග විමසා බලන කල තේරුම් ගැනීම එතරම් දුෂ්කර නැහැ.
මේ සමරන්නේ මිනිසකු විසින් වාම අවකාශය තුළ නිර්මාණය කළ උප අවකාශයක, සංස්කෘතියක හා මිනිසත්භාවයක වටිනාකම. එය සමරන්නේ සමාජයක් හැටියට මිස න්‍යායික කුටීරයක් ලෙස යයි සිතිය යුතු ද? සතුට, ආදරය බෙදා හදා ගන්නා මෙවැනි සාමාන්‍ය සාමූහික මිනිස් ක්‍රියාකාරකම් මේ තරම් හෙළා දකින්නේ කුමට ද? මේවා තිබුණාම මොකද? උදාහරණයක් ලෙස, මා කොළඹ මෙවැනි සංස්කෘතික ක්‍රියාකාරකම්වලට සහභාගි වන්නේ නැහැ. මා ඒවාට සහභාගි වීම හෝ නොවීම කාටවත් වැදගත්කමකුත් නැහැ. ඒ නිසා මා ඒවාට සහභාගි නොවන්නේ ඇයි ද කියා කීමවත් වැඩක් නැති වැඩක්.
ඒත්, මා සිතන්නේ මෙවැනි ආදර වැඩසටහන් සමාජයේ පැවතිය යුතුයි. සරලව කීවොත්, මිනිසකු ජීවත් වන කාලයේ ඔහු අගයා සතුටු කිරීම, ආදරය ප්‍රකාශ කිරීම හොඳ දෙයක්. ඒ වගේ ම, මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මිනිසුන් එකතු වීමත් හොඳ දෙයක්. ඒවා සමග බද්ධ නොවී සිටීමට කැමති නම්, ඒකත් පෞද්ගලික නිදහස. ඒ සඳහා මිනිසුන් බැහැර කිරීම පිණිස ආයාසයෙන් න්‍යාය හදන්නට ඕනැ නැහැ. ලෝකය සියල්ලන් ඇතුළත් කරගැනීම, කිසිවකු අත් නොහැරීම වැනි සංකල්ප ගොඩනගද්දි වාමාංශිකයන් තවමත් සොයන්නේ සෙසු අයගෙන් වෙන්වන්නේ කොහොමද කියායි. වාමාංශිකයකු නොවන විමලරත්න කුමාරගම කවියා සිය කවියෙන් ඉගැන්වූ මෙම පාඩම ඉගෙන ගැනීම වමට පවතින්නට අවශ්‍ය නම් අත්‍යවශ්‍යයි.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
රංජිත් දිසානායක යනු වාමාංශිකයන්ගේ ජීවිත හා සංස්කෘතිය ගැන ගැඹුරු කියවීමක් ඇති අයෙක්. ඔහු පුද්ගලයන්ට උදව් කරන්නේ ජීවනෝපාය නංවන්නට හා දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන්නට මිස හුදු අසරණ සරණ සඳහා නොවේ. ඔහු විසින් තම නායකයකු ලෙස සලකන ලද අප මිත්‍ර නැසීගිය ප්‍රේමපාල හේවාබටගේගේ ජීවිතය අවසන් කාලයේදී ගොඩනැගීමට ඔහු දැරූ තැත හා එය අසාර්ථක වූ විට ඔහු එය දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රේමපාලව දණ්ඩනයට ලක් කළ ආකාරය මට මතකයි. පුනරුදය ව්‍යාපාරයට රැස්වීම් මාලාව කරගෙන යාමට වාහනයක් සැපයීමට රංජිත් දිසානායක ඉදිරිපත් වුණ අවස්ථාවක් ද මට මතකයි.
රංජිත් දිසානායක යනු ඇති තරම් ආදරය විඳගත් කෙනෙකි. මෑත දශකයකට වැඩි කාලය තුළ කිසිවකු ඔහු සමග තරහ වූ බවක් මම නොදනිමි. ඔහු භාරගෙන ඉටු කරන කාර්යභාරය තුළ ඔහුට ජනප්‍රියත්වය, ආදරය, ගෞරවය දිනාගැනීම එතරම් අසීරු නැහැ. එහෙත්, වාම හෝ ප්‍රගතිශීලී අවකාශයක තවත් අයෙකු කරන කාර්යයක් කොහෙත්ම ජනප්‍රිය නොවෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, චිත්‍ර කලාව පිළිබඳ සුජිත් රත්නායක ගෙන එන කතිකාව නිසා ඔහු ජනප්‍රිය වන්නේ නැහැ. ප්‍රගීත් රත්නායක රංජිත් දිසානායකගේ සුන්දර චිත්‍රයක් නිර්මාණය කරනවා. එය කාගෙත් ආදරයට, ජනප්‍රියත්වයට ලක්වෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු පිරිසක් කළු රංජි වෙනුවෙන් වැඩසටහනක් ගෙන එනවා. විදර්ශන කන්නන්ගර මේ වැඩේ පලු අරිනවා. හැබැයි මේ සියලු දේ එකම සමාජ සංස්කෘතික ප්‍රවාහයකට එකතු වෙනවා. සමාජය ඉදිරියට යන ගමනේ හැඩරුව නිර්මාණය වෙන්නට මේ සියල්ල අදාළ වෙනවා.
කවරයේ පළ වන කටු සටහන මා හදිසියේ ඇන්දේ 2017 වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වන දිනයේ මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ රංජිත් දිසානායක සමග පැයක සම්මුඛ සාකච්ඡාවක් සාරප්‍රභාගිර වැඩසටහනෙන් විකාශය කරන්නට ගිය අවස්ථාවේදී ඒ සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ මීම් එකක් ලෙසයි. එම මුල් චිත්‍රය පහත පළවෙනවා. හැබැයි, රංජිත් අයියා එදා ඒ වැඩසටහනට නෑවිත් ෆෝන් එකත් ඕෆ් කරගෙන මගඇරියා. ඒ වුණාට අපි ඒක අමතක කරලා දාලා නැවත හමු වුණ වෙලාවක එක සිගරැට් එක බෙදාගෙන බිව්වා. පස්සෙ වෙලාවක ආපහු ඒ වැඩේ කරමුද කියලාත් රංජිත් අයියා ඇහුවා. ඒ මොනවා නොකළත්, රංජිත් අයියා අප කාටත් කරපු උදව් උපකාර බොහොමයි.
Adapted from praja.lk

2020-02-21

උපාලි ෆියට් මග දිගේ මහේන්ද්‍රා KUV100 NXT දක්වා

ඩෙල්ටා ටොෆිය, කැන්ඩොස් චොකලට් පෙත්ත, යුනික් රේඩියෝව හා දිවයින පුවත්පත කියන්නෙ මතකයේ රැඳී තියෙන සන්නාම තුනක්.
උපාලි විජේවර්ධන කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ඥාති සහෝදරයෙක්. ඔහු විවාහ වුණේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයකු වන සීවලී රත්වත්තගේ දියණිය වන ලක්මිණි රත්වත්ත සමගයි.
Translations
උපාලි සිය පෞද්ගලික ලියර් ජෙට් යානයත් සමග අතුරුදහන් වුණේ 1983 පෙබරවාරි මාසයේදීයි. ශ්‍රී ලංකාවේ වඩාත් ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ලෙස ඔහු ජීවිතය හැර යන විට වයස අවුරුදු 44ක් පමණයි.
ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකාවේ පළමු වාහන එකලස් කිරීමේ කර්මාන්තය හරහා උපාලි ෆියට් හා උපාලි මැස්ඩා නමින් වාහන එකලස් කරලා ඉතිහාසගත වෙලායි හිටියෙ. ඔහුගෙ නමින් උපාලි එයා නම් ගුවන් සේවයක් ද තිබුණා.
හැත්තෑ ගණන්වල දේශීය සබන් කර්මාන්තය තුළ ඉදිරියට ආ සිකුරු, ටිංගල් හා ක්‍රිස්ටල් සබන් හැදුවෙත් උපාලිගෙ සමාගමකයි.
දිවයින, දි අයිලන්ඩ්, විදුසර, නවලිය, බිංදු වැනි පුවත්පත් පළ කළ උපාලි පුවත්පත් සමාගම තමයි ලංකාවේ පළමු වෙබ් ඕෆ්සෙට් මුද්‍රිත පුවත්පත පළ කළේ. ඔහු පුවත්පත් කර්මාන්තයට පිවිසුණේ දේශපාලනයට එන්නට බව රහසක් නෙමෙයි. උපාලි ජීවතුන් අතර සිටියා නම්, බොහෝ විට ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වන පළමු ව්‍යවසායකයා බවට පත් වන්නට ඉඩ තිබුණා.
තවමත් ව්‍යවසායකයෙකුට ලංකාවේ ජනාධිපති පදවියට පත් වන්නට බැරි වී තිබෙනවා. හැබැයි, පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි, ප්‍රාදේශීය සභාවට පත් වන අය පවා මහජන මුදලින් කොන්ත්‍රාත් කර ව්‍යවසායකයන් බවට පත් වෙනවා.
උපාලි 1978දී මහ කොළඹ ආර්ථික කොමිෂමේ සභාපති පදවියට පත් වුණා. මහ කොළඹ ආර්ථික කොමිෂම තමයි පසු කාලෙක ආයෝජන මණ්ඩලය වුණේ.
උපාලි නැති ලංකාවේ දේශීය යයි කිව හැකි මට්ටමේ වාහන එකලස් කර්මාන්ත ආරම්භ වුණත් වැඩිකල් පැවතුණේ නැහැ. උපාලි ෆියට් සහ උපාලි මැස්ඩා කාර් වුණත් වැඩි කල් පැවතුණේ නැහැ. වර්තමානයේදී පවා ලංකාවේ එකලස් කරන වාහනවල ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොටස් අවමයි.
ලංකාවේ වාහන නිෂ්පාදන කර්මාන්තයේ හමු වන සන්ධිස්ථාන අතර මයික්‍රෝ සමාගමත් අමතක කළ යුතු නැහැ. බොහෝ දුරට දේශීය නිෂ්පාදනයක් වූ ෆයිබර් ග්ලාස් බොඩියක් සහිත කුඩා කාරයකින් ආරම්භ කළ ඔවුන්ගේ ගමනේදී ඉන් පසු චීන ගීලි සමාගමේ කාර් මයික්‍රෝ පැන්ඩා නමින් ලංකාවට හඳුන්වා දීම සිදු වුණා. වෑන්, බස් පවා ඔවුන් එකලස් කරනවා.
Translations by Creative Content Consultants
වේගා කියන්නේ ලංකාවේ විශිෂ්ට නවෝත්පාදනයක්. එය මුළුමනින් ම විද්‍යුත් වන අති නවීන, ආසන දෙකේ සුපිරි කාරයක්. එය බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ම හදන කාරයක් වුණත්, දේශීය වෙළඳපොළේ කාර් අවශ්‍යතාවලට අනුව හැදූ එකක් නෙමෙයි.
මේ අතර, මෑතදී වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන වැලිපැන්නේදී ආරම්භ වුණා. ඉන්දියාවේ මහේන්ද්‍රා සහ ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම් තමයි මේ වාහන කර්මාන්තය පටන් අරගෙන තිබෙන්නේ. එහි සභාපති නලින් වෙල්ගමත් උපාලි විජේවර්ධන සමග ඥාතිත්වයක් තිබෙනවා. උපාලිගේ බිරිඳ දැන් විවාහ වී සිටින්නේ වෙල්ගම පවුලේ අයෙකු සමගයි.
Mahindra KUV100 NXT ලෙස නම් කර තිබෙන ඝන සෙන්ටිමීටර් 1200ක ධාරිතාවෙන් යුත් පෙට්‍රල් එන්ජිමක් ඇති, මැනුවල් ගියර් සහිත මෙම වාහනයේ බැටරිය, ටයර්, සීට් සහ එක්ස්හෝස්ට් පද්ධතිය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේයි.
මිළ රු. තිස් ලක්ෂ පනස්දාහේ සිට ඉහළට. බලමු, රටට ආදරේ දේශප්‍රේමීන් කීදෙනෙක් සිය රට දේ සිරි සැප දේ කියලා ලංකාවෙ නිෂ්පාදිත එස්යූවී පෙනුම තියෙන කාරෙකකින් ගමන් යාවි ද කියලා.
ලාංකිකයන්ගේ හදවතේ සිංහල ලේ කොයි තරම් කැක්කුම් දුන්නත්, හොයන්නෙ ජපන් වාහන ම වෙන එකනෙ පුදුමෙ!

සයින්මරුදු කතාවට පෙරවදනක්

අජිත් පැරකුම් ජයසිංහ

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී බලයටපැමිණියේ සිංහල ජාතිවාදයේ පිහිටෙන්. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ඔහුගේ මූලික සටන් පාඨයක්. එහෙත්, බටහිර අධ්‍යාපනය ලද, ඉංග්‍රීසිය මව්බස වූ, සිංහල භාෂාව කියැවීමට නොදත් බණ්ඩාරනායක අවංක ජාතිවාදියකු වූයේ නැත. ජනප්‍රිය ජාතිවාදය බලය වෙනුවෙන් භාවිතා කළත්, දෙමළ භාෂාවට සාධාරණය ඉටු කිරීමේ හා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් දෙමළ ඉල්ලීමට විසඳුමක් දී රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව බණ්ඩාරනායක ඉතා නිවැරදිව හඳුනාගත්තේ ය.
ඔහු 1957දී රට සභා යෝජනාවලිය ගෙන ආවේ බලය බෙදාගැනීමේ අරමුණෙනි. ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් එස්.ජේ.වී. චෙල්වනායගම් නායකත්වය දුන් ෆෙඩරල් පක්ෂය සමග අත්සන් කිරීමට තරම් ඔහු එඩිතර විය. එහෙත්, ඔහු කෙතරම් ජනප්‍රිය නායකයෙකු වුවත්, සිංහල ජාතිවාදය ඔහු යටපත් කරගෙන හිස එසවූ ආකාරය අනුව, ගිවිසුම අත්සන් කර මාස දෙකකින් එය ප්‍රසිද්ධියේ ඉරා දමන්නට ඔහුට සිදු විය.
Translations
උතුරු නැගෙනහිර පළාත්වල රජයේ කටයුතු දෙමළ භාෂාවෙන්ද සිදු කිරීම සඳහා විධිවිධාන ඇතුළත් 1958 දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනත ගෙන ආ මුත් එම නීතිය බලාත්මක කිරීම තව බොහෝ කලක් ප්‍රමාද විය.
වසර 1959දී අගමැති බණ්ඩාරනායක ඝාතනය සිදු කළේ ද සිංහල බෞද්ධ ජාතිවාදී, ආගම්වාදී අන්තවාදීන් පිරිසක් විසිනි.
මෑත ඉතිහාසයේදී ආන්තික සිංහල ජාතිවාදය වාහනය කරගනිමින් රාජ්‍ය බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද බොහෝ පැතිකඩවලින් බණ්ඩාරනායකට සමාන ය. ඔහු ද බණ්ඩාරනායක මෙන් අවංක ජාතිවාදියකු නොවේ. බටහිර සමාජයක ජීවත් වී අත්දැකීම් ලැබූ, ටයි කෝට් අඳින කළු සුද්දෙකි. ඔහුගේ දේශපාලන භාවිතාව තුළින් ප්‍රකට වන දැක්මෙහි ප්‍රමුඛ ලක්ෂණය වන්නේ සිංහල ජාතිවාදය හෝ බෞද්ධ ආගම්වාදය නොවේ. වඩා ප්‍රමුඛ බටහිර මාදිලියේ සංවර්ධන චින්තනයයි. මූලික වශයෙන් ඔහු බටහිර මාදිලියේ වේගවත් සංවර්ධනයක් තුළින් රටේ ප්‍රශ්න විසඳීම ඉලක්ක කරගත් අයෙකු වේ. ඔහුගේ සමීපතම අනුගාමික ප්‍රජාව ද එවැනි ය. ඔවුන් ද සිංහල බෞද්ධ අධිපතිවාදී වන මුත්, අන්තවාදීන් නොවේ.
වත්මන් ආණ්ඩුව ශක්තිමත් කරන බලවේගය වනාහි සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදයේ හා බටහිර සංවර්ධනවාදයේ සම්මිශ්‍රණයක් ලෙස සැලකිය හැකි ය. මෙම බලවේග අතර තුලනය නිර්මාණය වන්නේ බරපතල ගැටුමක් තුළ ය. එය යම් දුරකට මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සංකේතාත්මක චරිත දෙකෙන් නිරූපණය වේ. මෙම ගැටුම බොහෝ අය විසින් පවුල අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ යයි වරදවා වටහාගෙන තිබේ. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ සමග අභ්‍යන්තර ගැටුමක් ඇති වීමට තරම් මහින්ද රාජපක්ෂ ද අවංක ජාතිවාදියකු නොවේ. එහෙත් ඔහු සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදයට යටත් වීමට සූදානම් අයෙකි.
Translations by Creative Content Consultants
මහින්ද රාජපක්ෂගේ සීමාව ද එයයි. එක පැත්තකින් ජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන බටහිර මාදිලියේ වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් රටට ලබාදීමට ඔහු අසමත් වූයේ එබැවිනි. ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට, දේශීය ආයෝජකයින් දිරිගැන්වෙන තත්වයක් නිර්මාණය කිරීමට හා පූර්ණ ශ්‍රම ඵලදායකත්වයක් ලබාගැනීමට හැකි වන පරිදි රට තුළ ආර්ථික හා සමාජ සාමයක් ඇති කිරීමට ඔහු අසමත් විය. විශේෂයෙන් ම සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් අඛණ්ඩව සාමය කඩකිරීමේ වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගිය අතර, සුළුතර ජාතීන්ගේ විපත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්, යුරෝපය හා ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල සංවේදීභාවයක් නිර්මාණය විය. එය ජාත්‍යන්තර වශයෙන් රාජපක්ෂ රජයට අවාසිදායක විය.
ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරියට පැමිණීම වේගවත් සංවර්ධන අවශ්‍යතාවක ද ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. අවශ්‍ය ආර්ථික හා සමාජ සාමය පවත්වා ගනිමින් වේගවත් සංවර්ධනයක් දෙසට රට යොමු කරගැනීම ඔහුගෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා එක පැත්තකින් ඔහු කල් ඉකුත් වී තිබෙන ප්‍රශ්න ඉක්මණින් විසඳිය යුතු ය. අනෙක් පැත්තෙන් දැඩි විනයක් සහිත පාලනයක් ද පවත්වාගෙන යා යුතු ය.
සයින්දමරුදු නගර සභාව පිළිබඳ කතාව අප කියවිය යුත්තේ මෙම සංදර්භය තුළ ය.
(මීළඟ ලිපිය: සයින්දමරුදු හා බණ්ඩාරනායක ඝාතනය)

2020-02-19

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන 30/1 හා 40/1 යෝජනා යනු මොනවා ද?

අජිත්පැරකුම් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.
Translations
මෙය බලාපොරොත්තු වූ තත්වයක් හෙයින් පුදුම විය යුතු නැත. වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ එම ගිවිසුම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.
මෙම ගිවිසුම් මොනවා ද? 2019 වසරේ මාර්තු මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 40වන ජිනීවා සැසිවාරයේ 40/1 යෝජනාවලියට ශ්‍රී ලංකා රජය අතුළු පාර්ශ්ව පහක සම අනුග්‍රහකත්වය සපයන ලදී.
40/1 යෝජනාවලිය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සඳහන් කළේ, “30/1 යෝජනාවලිය ස්ථාවර, පරිපූර්ණ සහ වේගවත් ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කළ යුතු” බවය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරනු ලැබුවේ 2015දීය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් වූ එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වී සිටිමුත් එය ඉටු කිරීමට ලංකාව අසමත් වීම හේතුවෙන් 2017 වසරේදී ඒ වෙනුවෙන් වසර දෙකක කාලයක් ලබාගන්නා ලදී. මෙම යෝජනාව අනුව රජය ලබා දුන් පොරොන්දු 36 ක් පවතින බව ද එම පොරොන්දු ප්‍රධාන තේමාවන් පහකට වර්ග කළ හැකි බවද වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එනම් 1.සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව 2.අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය 3.ආරක්ෂාව සහ නිර්හමුදාකරණය 4.බලය බෙදා ගැනීම 5.අන්තර්ජාතික මැදිහත්වීම්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති ප්‍රධාන කරුණු 9ක් ඇති බව බීබීසී සිංහල සේවය පෙන්වා දෙයි. ඒවා නම්,
  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  4. වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  5. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම
2017 වසරේ ඉදිරිපත් කෙරුණු 34/1 යෝජනාවලිය මඟින් යම් නිශ්චිත විෂය ක්ෂේත්‍රයන් යටතේ ශ්‍රී ලංකාව තුළ කළ යුතු වූ නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකිරීමටත්, දෙමුහුන් අධිකරණය, හානිපූරණය, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන යාන්ත්‍රණයන් පිහිටුවීමටත්, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය වැනි තෝරාගත් විශේෂිත නඩු සම්බන්ධයෙන් විමර්ශනයන් කර 2019 වන විට අවසන් කිරීමටත් නියමිතව තිබූ බව සමබිම වෙබ් අඩවියට ලිපියක් ලියමින් ජයනි අබේසේකර පෙන්වා දෙයි.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළව වාර්තාවක් සැපයීමට 2019 මාර්තුවේදී ලංකාවට නියමව තිබුණි. මෙවර 40වන සැසිවාරයේදී ලංකාව ගැන සාකච්ඡා වන්නේ ඒ අනුවය. 
40/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙවසරක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ පවසන පරිදි ඔවුන්ගේ රජය විසින් මෙම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ වෙනුවට, මානව හිමිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කරගෙන ආ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇත. එම ක්‍රියාවලිය කුමක් ද?
Translations by Creative Content Consultants
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2006 වසරේදී ජාත්‍යන්තර බලපෑම නිසා විනිසුරු නිශ්ශංක උදලාගම ප්‍රමුඛ සාමාජිකයන් සයදෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරන ලදී. එහි අරමුණ වූයේ යුද සමයේ මානව හිමිකම් කඩවීම හා ඝාතන සිදුවීම් 16ක් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමයි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, දිගම්පතානේ දී නිරායුධ නාවික භටයන් 98දෙනෙකු ඝාතනය කිරීම, ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනයට ලක්වීම, පොතුවිල්හිදී මුස්ලිම් වැසියන් දහදෙනෙකු ඝාතනය කිරීම, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ බස් රථයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 68දෙනෙකු ඝාතනය කිරීම, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය ආදිය විමර්ශනය කර ‍උදලාගම කොමිෂම විසින් වාර්තාවක් සම්පාදනය කරන ලදී. එම වාර්තාව සඟවා තබාගන්නා ලද අතර 2015 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එයින් ද නිර්දේශ වූ ප්‍රධාන කරුණක් වූයේ, යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව ය.
2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වූ සැණින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බෑන් කී මූන්ට ආරධනා කළේ ය. එම චාරිකාවෙන් පසු ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බව හා යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.
මේවා එක්සත් ජාතීන් විසින් හෝ ජාත්‍යන්තර ප්‍රජාව සැනසීම සඳහා කළ යුතු දේ නොව, ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු දේ ය. ඒ වෙනුවෙන් උත්සාහයක් ලෙස 2010දී රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) පත් කරන ලද අතර 2011 වසරේ නිකුත් වූ එම කොමිෂමේ වාර්තාවේ නිර්දේශයක් අනුව, යුද්ධයේ අවසාන සමයේ රජය හා කොටි සංවිධානය විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් කොමිෂමක් පත් කරනු ලැබුවේ ද රාජපක්ෂ රජය ම විසිනි. යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 7000 – 7500 අතර සංඛ්‍යාවක් මිය ගිය බව එම කොමිෂම විසින් වාර්තා කරන ලදී. වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය, අතුරුදහන් වූවන්ට, මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට වන්දි ගෙවන හානිපූරණ කාර්යාලය ආදිය පරණගම කොමිෂමේ නිර්දේශයි.
මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතීන්ට පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය ම ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ තවමත් හොල්මන් කරන්නේ එයයි.
ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාකාරිත්වයන් පමා වෙමින් තිබියදී මෙරට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති කඩවීම් පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් 2011දී ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. පුද්ගලයන් 2,300කගෙන් පමණ සාක්ෂි 4,000ක් පමණ ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේ වාර්තාවේ, ශී‍්‍ර ලංකා ආණ්ඩුවට තහනම් පොකුරු වෙඩිලිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, ආණ්ඩුව විවේචනය කළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, රෝහල් හා තහනම් ස්ථානවලට ෂෙල් වෙඩි එල්ල කිරීම ඇතුළු චෝදනා පහක් එල්ල විය. කොටි සංවිධානයට ද බරපතල මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා රජය මෙම වාර්තාව පිළිගන්නේ නැත. පරණගම කොමිෂම පිහිටුවනු ලැබුවේ ඒ අනුව ය.
2015 ජනවාරි 8 බලයට පත් වූ රජය ඉදිරියට ගියේ, මහින්ද රාජපක්ෂ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ හා පරණගම කොමිෂමේ පදනම් මත ය. 30/1 යෝජනාවලිය එන්නේ ඒ අනුව ය. මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය පස් වසරක් පුරා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන් සමග ගැටුම් විරහිත තත්වයක් පවත්වාගැනීමට ආණ්ඩුව සමත් විය. පස් වසරක එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් පවසයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම යනු ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි. ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව කටයුතු කරන ආකාරය පිළිබඳව ද රජයට සැලසුම් තිබිය යුතු ය.

පළමු වාරාවසාන විභාගය පමණක් නොව පාසල් පාදක ඇගයීම් ද අහෝසි කරනු!

පාසල්වල පළමු වාරයේ වාරාවසාන විභාග පැවැත්වීම නතර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා විය. එය කරන්නේ නම් ප්‍රශංසාත්මක කටයුත්තකි. එසේම, එය එතරම් සලකා බලමින් ප්‍රචාරක වාසි ගැනීමට තරම් දෙයක් ද නොවේ. පළමු වාරාවසාන විභාගය පැවැත්වෙන්නේ පාසල් මට්ටමින් නිසා අධ්‍යාපන ඇමතිට හෝ අමාත්‍යාංශයට එහි විශේෂ බරක් ද නැත.
Translations
පළමු වාරයේ පාසල්වල විෂය අධ්‍යාපනය මන්දගාමී බව කවුරුත් දනිති. පාසල් මට්ටමේ ක්‍රීඩා, කලාප ක්‍රීඩා, ක්‍රිකට් වැනි අන්තර් පාසල් තරගාවලි, සම්ප්‍රදායික බිග් මැච්, අධ්‍යාපන චාරිකා ආදිය යෙදෙන්නේ පළමු වාරයේ ය. ඒ වෙනුවෙන් පුහුණුවීම් ආදිය වෙනුවෙන් යෙදවෙන්නට ගුරුවරුන්ටත්, සිසුන්ටත් සිදු වේ. එම පසුබිම තුළ පළමු වාර අවසාන විභාගයක් පැවැත්වීම අර්ථ විරහිත ය.
සලකා බලන අතර අධ්‍යයනය කළ හැකි පැතිකඩ කීපයක් තිබේ. ඇත්තට ම, පළමු වාරයේ වාර විභාගයක් පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විධිමත් තීරණයක් තිබේ ද? අප දන්නා තරමින් නම්, එහෙම විධිමත් තීරණයක් නැත. පළමු වාරයේ වාරාවසාන විභාගය විදුහල්පතිවරුන් විසින් අවිධිමත් ආකාරයට ගන්නා ලද එකකි.
කෙසේ වෙතත්, අධ්‍යාපන බලධාරීන්ගේ උපදෙස වන්නේ පළමු වාරයේ වාරාවසාන විභාගය පාසල් මට්ටමෙන් පැවැත්වීම, දෙවන වාරාවසාන විභාගය කලාප මට්ටමෙන් පැවැත්වීම හා වර්ෂාවසාන විභාගය පළාත් මට්ටමෙන් පැවැත්වීමයි.
වාරාවසාන විභාග යනු ව්‍යාපාරයකි. ඒවා වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර හදන, මුද්‍රණය කරන සමාගම් ඇත. වාරාවසාන විභාග පැවැත්වූ විට ආදර්ශ ප්‍රශ්න පත්‍ර සඳහා ද වෙළඳපොළක් සෑදේ. අධ්‍යාපන තරගකාරිත්වයෙන් වැඩි ම වාසි සැලසෙන්නේ ටියුෂන් ගුරුවරුන්ටයි. විභාගවල ලකුණු අඩු වීම පිළිබඳ බිය නිසා ළමයින්ටත්, විශේෂයෙන් ම ළමයින්ගේ මව්පියන්ටත් ටියුෂන් විකිණිය හැකි ය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මීට වසර 10කටත් වඩා ඉහත අතීතයේදී නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක් හා ඒ හා බැඳුණු පාසල් පාදක ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. කලකදී නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය හැලී ගිය අතර, ගුරුවරුන්ට අමතර බරක් පටවා පළිගැනීමේ අරමුණින් කිසිදු අදාළකමක් නොමැතිව පාසල් පාදක ඇගයීම් ක්‍රමය පමණක් තවමත් පවත්වාගෙන යනු ලැබේ.
Translations by Creative Content Consultants
නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමත් සමග සිසුන්ගේ විභාග බර අඩු කිරීමට ද අදහස් කරන ලදී. ඒ අනුව, පවත්වන්නට යෝජනා කරනු ලැබුවේ වර්ෂාවසාන විභාගය පමණි. කෙසේ වෙතත්, ඒවායේ තිබුණු යම් යම් ගැටලු නිසාත්, ලංකාවේ ගතානුගතික අධ්‍යාපන පද්ධතියේ නිලධාරි, විදුහල්පති, ගුරු හා මාපිය පාර්ශ්ව අලුත් අදහස් හැම එකකට ම විරුද්ධ වන නිසාත් එය අසාර්ථක විය.
අද වන විට පාසල් පාදක ඇගයීම් යනු ගුරුවරුන් විසින් කරන ක්‍රියාවක් නොවේ. ඒ වෙනුවට නිකම් කොළ පිරවීමක් පමණක් කරනු ලැබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී පාසල් පාදක ඇගයීම් ලකුණු අදාළ කරගන්නා බවක් කියා ඒවා පාසල්වලින් ගෙන්වා ගන්නා මුත්, සිදුවන්නේ කඩදාසි නාස්තියක් පමණි. පාසල් පාදක ඇගයීම් ක්‍රමය නවත්වන්නේ නම් එය ගුරුවරුන්ගේ මානසිකත්වයට පමණක් නොව පරිසරයට ද හොඳ ය. අධ්‍යාපන කාලය ද ඉතිරි කරගත හැකි ය.