පොලිසිය පානදුරයේ මාර්ග තදබදය වැඩි කරනවා ද?

නිශාන් පෙරේරා

පානදුර නගරය කළුතර දස්ත්‍රික්කයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නගරයයි. මෑතක සිට පානදුර නගරය පසු කර ගාලු පාරේ යන වාහනවලට දැඩි රථවාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. නගරට තුළ හා නගරය හරහා ගමන් කරන වාහනවලට ද අධික මාර්ග තදබදයකට මුහුණ දීමට සිදු වී තිබේ. උදෑසන කාලයේදී මෙම මාර්ග තදබදය තවත් වැඩිකිරීමට හේතු වන කරුණක් වී ඇත.
පානදුර නගර මධ්‍යයේ, ගාලු පාරේ ප්‍රධාන හුවමාරු ස්ථානයක් දින කිහිපයක සිට  මාර්ග තදබදය ඇති වේලාවන් ඉලක්ක කර පානදුර පොලිස් රථවාහන අංශය මඟින් තාවකාලික මාර්ග බාධක යොදා ගනිමින් වසා තැබීමට පටන් ගෙන තිබේ.
ඒ පානදුර නගර සභා කාර්‍යාලය අසල ගාලු පාරේ හුවමාරු ස්ථානයයි. මේ ස්ථානයෙන් ජයතිලක මාවතේ බටහිර දිශාවෙන් පානදුර පොදුවෙළඳ පොල, දුම්රියස්ථානය හා ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය වෙත පිවිසීමට ඇති පහසුම මාර්ගයයි. ඊට අමතරව පානදුර නගරයේ ඇති එකම වාහන ගාල් කිරීමේ ස්ථානයද මෙම පාරේ පිහිටා ඇත. එහි බස් රථ ගාල් කර තැබේ. නැගෙනහිර දිශාවට දිවෙන කොටසේ කේතුමතී කාන්තා රෝහහල පිහිටා ඇත. හොරණ පාරට පිවිසීමට ද බොහෝ රියදුරන් මෙම මාර්ගය භාවිතා කරති. 
උදෑසන, දහවල් පාසැල් අවසන් වන වේලාව සහ සවස මෙසේ මෙම ස්ථානය පොලිසිය විසින් මෙම ස්ථානය වසා ගෙන සිටී. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් ඇතුළු රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. කොළඹ දෙසින් පැමිණෙන දුම්රිය ස්ථානයට ගමන් කරන වාහන, පොදු වෙළඳපොළ වෙත පැමිණෙන ලොරි රථ හා පාසැල් බස් රථවලට ජයතිලක මාවතට පිවිසිය නොහැක. වෙළඳපොළ දෙසින් ජයතිලක මාවත ඔස්සේ පැමිණෙන වාහනවලට හා කළුතර දෙසින් ගාලු පාර ඔස්සේ පැමිණෙන වාහනවලට කේතුමතී කාන්තා රෝහල දෙසට පිවිසීමට නොහැක. කේතුමතී කාන්තා රෝහල දෙසින් පැමිණෙන වාහනවලට ගාලු පාරේ කොළඹ දෙසට දිවෙන මංතීරුවට හා පොදු වෙළඳපොළ දෙසට ඇති ජයතිලක මාවතට පිවිසීමට නොහැක. පොදු වෙළඳපොළ දෙසින් පැමිණෙන වාහනවලට ගාලු පාරේ කළුතර දෙසට දිවෙන මං තීරුවට පිවිසිය නොහැක.
මෙම මාර්ග බාධක හේතුවෙන් දුම්රියපොළ වෙත ගමන් කරන මගීන්ට හා පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් වෙනත් හුවමාරු ස්ථානවලින්  මාරු වීමට සිදුව ඇත. තවද ගාලු පාරේ කළුතර දෙසින් එන වාහන පානදුර බස් නැවතුම්පළ පිටුපසින් දිවෙන ග්‍රේස් පීරිස් මාවතට හැරවීමට නොහැකි වන ලෙස ද ඉහත සඳහන් කල වේලාවන්හිදී තාවකාලික පොලිස්මාර්ග බාධක යොදා ඇත.
ශාන්ත අන්තෝනි බාලිකා පාසැල පිහිටා ඇත්තේ මෙම මාර්ගයේය. හොරණ පාරට පිවිසිය හැකි ප්‍රධාන විකල්ප මාර්ගයද මෙය වන අතර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය වෙත හා මෝදරවිල කර්මාන්ත පුරය වෙත ගමන් කරන වාහන මෙම මාර්ගය භාවිතා කරති. පානදුර ප්‍රධාන බස් නැවතුම්පළ වෙත කළුතර දෙසින් පැමිණෙන බස් රථවලටද මෙම මාර්ග බාධක හේතුවෙන්  ග්‍රේස් පීරිස් මාවත භාවිතා කළ නොහැක. මේ හේතුවෙන්  අනවශ්‍ය මාර්ග තදබදයක් හා අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් මතුව තිබේ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා