ගස් සිටුවන ආණ්ඩු හැමදාමත් තිබිණි; අවශ්‍ය ගස් රැකගන්නා ආණ්ඩුවකි

අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය හැකි ය. විවිධ කණ්ඩායම් නගර පිරිසිදු කිරීම, වෙරළ පිරිසිදු කිරීම, රුක් රෝපණය වැනි කටයුතුවල යෙදී සිටිනු දැකිය හැකි ය.
Translations by Creative Content Consultants
පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා පසුපසින් පෙළගැසී සිටි බලවේගය අධ්‍යාපනය, විනය හා ආකල්ප අතින් ඉතා දුර්වල තත්වයක සිටිය ද ජාතිවාදය නිසා උද්දාමයට පත්ව සිටිය හ. ගෝඨාභය රාජපක්ෂ පසුපසින් පැමිණි බලවේගයට රටේ සංවර්ධනය පිළිබඳ වඩා විධිමත් අදහස් තිබිණි. මෙම බලවේග දෙක ඒකරාශී කරගෙන දේශපාලන අරමුණක් වෙනුවෙන් යොමුකිරීම පහසු කාර්යයක් නොවේ. කෙසේ වෙතත්, සිදුවන පොදු වැඩ රටට හිතකර ය.
එහි වැදගත් ම සාධකය වන්නේ පොහොට්ටුවේ වඩාත් ම විනය විරෝධී බලවේගය පවා විනය ගැන සංවේදී වන තැනකට තල්ලු වන්නට මේ වන විට පවතින තත්වය හේතු වීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ, පොහොට්ටුවේ සිටින විනය විරෝධී බලවේගය ඔහුගේ විනයවාදී බලය යට කරගෙන නැගී සිටීමට තිබෙන ඉඩයි.
මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය බලවත් වීම නිසා තත්වය පාලනය කරගැනීමට සමත් වී තිබෙන බව දක්නට ලැබේ. සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ තනතුරකට පත්වීම හා හැරෙන තැපෑලෙන් ඔහු ඉවත් කිරීමේ නාටකය මෙම දෘෂ්ටි කොණයෙන් ද කියවාගත හැකි ය.
මහින්ද රාජපක්ෂ විසින් ගතානුගතික අන්දමින් නායකත්වය දෙන ලද පොහොට්ටු බලවේගය බලවත් වන අන්දම ඉතා වැදගත් ය. ජොන්ස්ටන්, රත්තරං, විමල්, ගම්මන්පිල, ප්‍රසන්න රණවීර වැනි අයගෙන් නියෝජනය වන දූෂිත හා ජාතිවාදී ප්‍රවණතා තම පාලනය තුළට ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වේ ද, නැතහොත් ඔවුන් බැහැර කරගැනීමට හැකි වේ ද, එසේත් නැතිනම් ඔවුන් ඉදිරි ආණ්ඩුවක් තුළ වඩා බලවත් වේ ද යන කරුණු මත ඉදිරි වකවානුවේදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ හැඩය තීරණය වනු ඇත.
කෙසේ වෙතත්, මේ දිනවල සිදු වන යහපත් දේ අගයකළ යුතු ය. හමුදාව වෙරළ තීරයේ අති විශාල බිම්කඩක් පිරිසිදු කළේ ය. රුක් රෝපණ වැඩසටහන යටතේ අලුත් පැළ විශාල සංඛ්‍යාවක් සිටුවන ලදී.
ඒ අතර, තවත් අතිශය වැදගත් පැතිකඩක් කෙරෙහි අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. වෙරළ හා වීදි ආදිය පිරිසිදු කළාට වැඩක් නැත. අපිරිසිදු කරන්නන් විනයගත කළ යුතු ය. රුක් රෝපණය කළාට වැඩක් නැත. හැම අවුරුද්දක ම දේශපාලකයෝ පැළ සිටුවති. අවශ්‍ය පැළ සිටුවන්නන් නොව වනගහණය කළමනාකරණය කරන්නන් ය. වනගහණය කළමනාකරණය කිරීම යනු අවශ්‍ය ගස් රැකගැනීම මෙන් ම අනවශ්‍ය ගස් ඉවත් කිරීම ද වේ.
රටේ ප්‍රමුඛ ම විනය විරෝධී බලවේගය ද සිටින්නේ වත්මන්ජනප්‍රිය විනයවාදීන් සිටින කඳවුරේ ම ය. ඔවුන් විනයගත කරගැනීම රටේ යහපතට හේතු වනු ඇත.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා