මහ බැංකු වංචා සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට මෙන් ම කබ්රාල්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු ය

වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති කෘත්‍යයක් පවතින නිසා එම කොටස ප්‍රසිද්ධ කළ නොහැකි ය.
Translations by Creative Content Consultants
2005-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් රජයට රු. බිලියන 10.47ක් පාඩු වූ බව මෙම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වේ.
මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ මහජන අවධානය යොමු වුණේ 2015දී සිදු වූ වංචාව නිසා ය. එය එක්සත් ජාතික පක්ෂය විසින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු වූ වියදම් පියවාගැනීමට හා ඉන් පසු මහ මැතිවරණය වෙනුවෙන් ද මුදල් ලබාගැනීම පිණිස මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා මුදල් ලබාගැනීමට බව නිල නොවන අවබෝධයයි. මෙමගින් ඇලෝසියස්ගේ සමාගම දැවැන්ත ලාභයක් ඉපැයූ අතර, මුදල් ඇමති රවී කරුණානායකගේ සිට ෆුට් නෝට් කල්ලිය දක්වා මැති ඇමතිවරුන් තම තමන්ගේ කුට්ටිය ලබා ගත් බවට සැක කෙරේ.
අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම විසින් බැඳුම්කරයෙන් වංචා කරන ලදැයි කියන මුදල් ආයෝජනය කර ජනයුගය නමින් පුවත්පත් ව්‍යාපාරයක් ද ආරම්භ කළේ ය. පසුව එය ද අසාර්ථක විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිනුම් අක්‍රිය කර තිබේ. මූලික වශයෙන් වංචා කරන ලද බව කියන මුදල හා සමාන මුදලක් මෙම ගිනුම්වල තිබෙන මුත්, ණයපොළී අනුපාතිකවලට ඇති වූ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ට්‍රිලියන ගණන්වලින් ගණන් හැදීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරිකයෝ කටයුතු කළ හ.
2000-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් සිදු වූ හානිය ද මේ අන්දමින් ම වැල් පොළී විය යුතු ය.
කෙසේ හෝ වේවා, අඩු තරමේ 2005 සිට 2015 දක්වා හෝ ආණ්ඩු දෙකක් විසින් රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් මුදල් වංචා කර ඇති බව පැහැදිලි ය. මෙය ස්ථිර ලෙස ම නැවැත්වීම සඳහා අදාළ වකවානුවලදී මහ බැංකුවේ අධිපති තනතුරු දැරූ අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාට ම ද, මේ හා සම්බන්ධ සියලු නිලධාරීන් හා ව්‍යාපාරිකයන්ට ද දැඩි දඬුවම් පැමිණවිය යුතු ය.
හොරාට කලින් කෙසෙල් කැණ වැට පනින්නා සේ දැන් අජිත් නිවාඩ් කබ්රාල් හිටගෙන ලිපි ලියමින් වෝහාරික විගණන වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට කරුණු සම්පාදනය කරන ආකාරය විහිළු සහගත ය.
ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි දූෂිතයන්ට තනතුරු නොදිය යුතු ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ඔබ සැබෑ නායකයකු ලෙස රටේ ස්ථිර පිළිගැනීමකට ලක්වනු ඇත

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා