2020-01-30

කොරෝනා සමග ජීවත් වීම සඳහා වෙනස් විය හැකි හැටි

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය රැගෙන ආ චීන ජාතික සංචාරකයකු වූ පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම දිවයින පුරා ඔසුසල්වල මුඛාවරණ සඳහා අධික ඉල්ලුමක් ඇති විය. ලාංකික මුදලාලිලා කොරෝනා වයිරසයෙන් ගසාකෑම ආරම්භ කළේ මුඛාවරණයෙන් නොවේ. ජනමාධ්‍ය කොරෝනා භීතිකාව අලෙවිය ආරම්භ කළේ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද පෙර ය. කොරෝනාවලින් විශාල මිනිසුන් පිරිසක් මිය යනු ඇති බව සත්‍යයකි. එහෙත්, වයිරසයට ගොදුරු වන සියලු දෙනා මිය යන්නේ නැත. මාධ්‍යවලින් මවන විසාලා මහනුවර තුන්බිය වැනි තත්වයක් ඇති වීම වළක්වා ගැනීමට අපට හැකියාව තිබේ.
Translations by Creative Content Consultants
භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියලු තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටෙයි. මෙම තත්වය පිළිබඳ අධ්‍යයනය වෙනුවෙන් හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය නම් විෂය ක්ෂේත්‍රයක් පැන නැගී තිබේ. එයින් කරන්නේ බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමයි.
මිනිසා නිරතුරුවම භීතියෙන් පෙළෙයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, තට්ටය පෑදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය.
කොරෝනා භීතිකාව මේ අතරට අලුතෙන් එකතු වන භීතිකාවකි. කොරෝනා වයිරසය පිළිබඳ තිබෙන තොරතුරු අනුව, බිය සාධාරණ ය. ශ්‍රී ලංකාව යනු ශ්වසන රෝගීන් බහුල රටකි. නීරෝගී පුද්ගලයන්ට කොරෝනා වයිරසයෙන් ජීවිත හානි සිදු වීමට තිබෙන ඉඩ අඩු වුව ද, ශ්වසන ආබාධ සහිත අයට, විවිධ නිදන්ගත රෝග තත්වයන්ගෙන් පෙළෙන අයට, ප්‍රතිශක්තිකරණය හීන අයට, දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙමගින් භයානක ප්‍රතිඵල ඇති විය හැකි ය.
එහෙත්, අපට ඩෙංගි සමග ජීවත් වන අයුරින් ම කොරෝනා සමග ද ජීවත් වන්නට සිදු වනු ඇත. එය පහසු තත්වයක් නොවේ. අපේ පොදු ප්‍රවාහන දුම්රියක, බස් රියක පවතින තදබදය තුළ මුඛාවරණයකටවත් ඉඩ නැත.
මෙම වසංගතය හේතුවෙන් වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්වෙලට දැඩි අවදානමකට මුහුණ ‍දෙන්නට සිදු වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රතිගාමී සමිතියක් බව ඇත්ත ය. ප්‍රතිගාමීන් සාධාරණ කාරණයක් වුව සන්නිවේදනය කරන්නට දන්නේ නැත. ප්‍රතිගාමීන් ගැන සමාජයේ ඇත්තේ හොඳ ප්‍රතිරූපයක් නොවන නිසා ඔවුන් කට ඇරිය විට රටම ගඳගසන බව ද ඇත්ත ය. එහෙත්, වෛද්‍යවරුන් යනු කොරෝනා වයිරසය හේතුවෙන් වැඩි ම අවදානමට ලක්වන පිරිස බව බොරුවක් නොවේ. රජයේ සේවය වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා ද, නැද්ද යන ගැටලුව පවතින මුත්, ඔවුන් පෞද්ගලික චැනල් මධ්‍යස්ථානවල හෝ මුළු දවසම ගෙවන්නේ රෝගීන් සමග ය. රෝගීන් මහජනතාව ය. රජය මහජනතාවගේ ය. ඒ නිසා රජය ඔවුන්ට දීමනාවක් ගෙවා හෝ දිරිගැන්විය යුතු ය.
මේ අතර, හෙට අනිද්දා වන විට කොරෝනා සුව කරන විස්මිත දේශීය වෙදකම් රැගෙන හොර වෙද්දු එළි බසිනු ඇත. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් මෙන් නොව, ගර්හිත වෛද්‍ය කර්මයන් හා හොර ජාවාරම් මත පදනම් වන මෙම බලවේග තත්වය තවත් නරක තත්වයකට ඇද දමනු ඇත. එබැවින්, හොර වෙද වසංගතය ගැන ද අවධානයෙන් සිටිය යුතු ය.
මේ අතර, මුඛාවරණ වෙනුවෙන් සටන් කරන්නා සේ ම අපට කළ හැකි තවත් බොහෝ දේ තිබේ. ලාංකිකයන් වනාහි බොහෝ දුරට අපිරිසිදු ජාතියක් බව අප දැන්වත් පිළිගත යුතු ය. තැන නොතැන නොබලා කෙළ ගැසීම ජාතියක් ලෙස ම ලාංකිකයන්ගේ බරපතල සෞඛ්‍ය ගැටලුවකි. කටට කෙළ උනන්නේ බිම ගසන්නට නොවේ. ඇතැම් අය කෙළ ගසන්නේ පිළිකුල් සහගත දෙයක් දුටු විට ය. කොච්චර සුරූපී කාන්තාවක හෝ පිරිමියකු වුව ද කෙළ ගසන දර්ශනය වස කැත ය. මේ අතර, ශ්වසන ආබාධ ඇති අය විශාල වශයෙන් බිම කෙළ ගසති. බුලත් විට කා හැම තැන ම කෙළ ගැසීම ලංකාවේ ඉතා සුලබ ය. ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් කළ යුතු අතර, කෙළ ගසන්නන්ට දඩ ගැසිය යුතු ය. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම නතර කළ අයුරින් ම මෙය ද කළ හැකි ය.
මේ සමග ම තවත් දේ ද නැවැත්වීමට සිදු වනු ඇත. තේරුමක් නැතුව යන ගමන් බිමන්, වන්දනා හා විනෝද චාරිකා, විදේශ චාරිකා, දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන, ආගමික උත්සව ආදිය නතර කළ හැකි ය. එහෙත්, මේවායින් ජීවනෝපාය සලසාගන්නා අයට ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇත.
කොරෝනා නිසා එක වර අති විශාල මිනිසුන් සංඛ්‍යාවක් මිය යාම පාලනය කර ගත්ත ද දිගු කාලීනව එය සෙමින් මිනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනු ඇත. කොරෝනා වයිරසය සමග ජීවත් වීම සඳහා අපට ජීවන විලාසයන් වෙනස් කරගැනීමට සිදු වනු ඇත.

2020-01-28

කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි

අජිත් පැරකුම් ජයසිංහ

නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ.
Translations by Creative Content Consultants
මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු ම වසංගතය වන්නේ 1918-19 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවයි (Spanish flu). සුළඟෙන් පැතිරෙන H1N1 වයිරසයෙන් ආසාදනය වූ එම රෝගය ලොව පුරා ම පැතිර ගිය අතර මිලියන 500ක් හෙවත් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 20-50 අතර ජනතාවක් එයින් මිය ගිය හ. එක්සත් ජනපදයේ පමණක් 675,000ක් මිය ගිය හ.
1957-58 ආසියානු සෙම්ප්‍රතිශ්‍යාව බෝ වූයේ H2N2 වයිරසය හේතුවෙනි. 1968දී හොංකොං සෙම්ප්‍රතිශ්‍යාව බෝ වුණේ H2N3 වයිරසය නිසා ය. මෙම ලෝක මට්ටමේ වසංගතවලින් ද මිලියන 1-4 දක්වා ජනතාවක් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි. එහෙත්, විද්‍යාගාර පරීක්ෂණවලින් හේතුව ඔප්පු වූ මරණ සංඛ්‍යාව ඊට බෙහෙවින් අඩු ය.
21වන සියවසේ පළමු එවැනි වසංගතයවන්නේ 2009-10 වකවානුවේ H1N1 වයිරසය පැතිරීමයි. 2009දී පමණක් එයින් පුද්ගලයන් 100,000-400,000 අතර පිරිසක් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, වඩා සාර්ථක ලෙස වයිරස් ප්‍රහාරයට මුහුණ දීමට ලෝකය සමත් වූ අතර වයිරසයට එරෙහි එන්නත් පවා හඳුන්වා දෙන ලදී.
2003දී ආසියාවේ පැතිරුණු SARS වයිරසය ද කොරෝනා වයිරස වර්ගයකි. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් ඇති වී තිබෙන අවධානය එය පාලනය කිරීමෙහි ලා ඉවහල් වනු ඇත. එහෙත්, ජනමාධ්‍ය විසින් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිර්මාණය කරමින් තිබෙන්නේ ලෝක මට්ටමේ භීෂණයකි.
චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් දැඩි ක්‍රියාමාර්ග සාධනීය ඒවා ය. එහෙත්, එමගින් ලොව පුරා පැතිරී තිබෙන්නේ අසාමාන්‍ය භීතිකාවකි. චීනයේ ආර්ථිකයට පවා එය බලපෑ හැකි තත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ. චීන ආර්ථිකයට හෙම්බිරිස්සාව හැදෙන විට ලොව වෙනත් බොහෝ ආර්ථිකයන්ට නිව්මෝනියාව හැදෙන බව අප අමතක කළ යුතු නැත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් 9%ක් චීන ජාතිකයන් වන අතර රටට වැඩිපුර ම සංචාරකයන් පැමිණෙන ගමනාන්ත රටවල් අතර චීනය තුන්වන ස්ථානයට පත් වේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පළමු නව කොරෝනා වයිරස් ආසාදිතයා ලෙස චීන ජාතික සංචාරකයකු හඳුනාගෙන තිබේ.
බොහෝ විට, මෙවැනි වයිරස් වසංගත පාලනය කිරීම සඳහා කරන්නේ රෝගීන් හුදකලා කිරීම, නිරෝධායනය කිරීම, යහපත්පෞද්ගලික ස්වස්ථතාව, විෂබීජ නාශක භාවිතා කිරීම සහ මහජන රැස්වීම් සීමා කිරීමයි.
වසංගත පැතිරීමට හේතු රැසක් තිබේ. නාගරීකරණය, සංචරණය, පාරිසරික විනාශය ආදී කරුණුවල වැඩි වීම එයට ප්‍රධාන හේතු වේ. එසේම, ප්‍රතිශක්තිකරණ විරෝධය, විද්‍යාව අවිශ්වාස කිරීම, මිථ්‍යාව පැතිරීම වැනි හේතු ද මේ පසුපස තිබේ.
කොරෝනා වයිරසය සෙසු සියලු වයිරස් ආසාදන පැතිරීම්වලට වඩා වේගයෙන් මාධ්‍ය හරහා පැතිරී යන බවක් දක්නට ලැබේ. මාධ්‍ය ආවරණය විසින් සාධනීය මෙන් ම නිශේධනීය ප්‍රතිඵල ද ඇති කරනු ලැබේ. එක පැත්තකින් මිනිසුන් ඒ පිළිබඳ දැනුවත් වේ. එහෙත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල අධි සංවේදීකරණයන් හේතුවෙන් මිනිස්සු භීතියට පත් වෙති. මුඛ ආවරණ පැළඳීමෙන් ආරම්භ වන මෙය දෛනික ජීවිත හා සමස්ත ආර්ථිකය අඩාල වීම දක්වා පැතිරිය හැකි ය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට මෙම යුගයේ පුවත් හිඟයක් තිබේ. එබැවින් මේ වන විටත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අධි සංවේදීභාවයක් සමාජය තුළ නිර්මාණය කර හමාර ය. රෝගය වැළඳුණ විට මිනිසුන් හිටිහැටියේ කෙසෙල් කඳන් සේ කඩා වැටෙන බවට ද පුවත් පළ විය. වෙනත් රෝග නිසා ද රෝගීන් ක්ලාන්ත වීම, සිහිසුන් වීම සිදු වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ අධිසංවේදීකරණයන් සම්බන්ධයෙන් කප්ගැසූ මාධ්‍ය කොරෝනා භීතිකාව නිර්මාණය කිරීමෙහි ද ඉදිරියෙන් ම තිබේ. පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉතා නරක තත්වයක් ඇති විය හැකි ය. රෝගීන් හිංසාවට ලක්වීමට පවා ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවේ ඩෙංගි වසංගතය තවමත් අතිශය භයානක මට්ටමක ය. ගිය අවුරුද්දේ පමණක් ලක්ෂයකට පමණ ඩෙංගි වැළඳී 100ක් පමණ ජනයා එයින් මිය ගිය හ. ලෝක මට්ටමෙන් බැලුවත් ටියුබර්කියුලෝසිස් හෙවත් ක්ෂය රෝගය නිසා 2018දී පමණක් ලක්ෂ 15ක් ජනතාව මිය ගිය හ.
බිලියන 1.4ක් පමණ ජනගහනයක් සිටින වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන රටක් වන චීනයේ තවමත් මෙම ආසාදනයෙන් මියගොස් ඇතැයි සැලකෙන රෝගීන් සංඛ්‍යාව 100ට අඩු ය. ආසාදිතයන් සංඛ්‍යාව 3,000ට අඩු ය. චීනය මෙම තත්වය පාලනය කරගත හැකි පාලනයක් සහිත රටකි. මේ වන විට ප්‍රතිජීවක සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කෙරේ.
සරලව කිවහොත් නව කොරෝනා වයිරසයට උවමනාවට වඩා බිය වීමෙන් අපි කොරෝනා වයිරසයට යටත් වන්නෙමු.

2020-01-27

සුන්දර ඉංග්ලිෂ්: කට්ලිස්, පැටිස්, රෝල්ස්

අජිත් පැරකුම් ජයසිංහ

සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්.
Translations by Creative Content Consultants
මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය.
කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි.
ඒකවචන පද වන්නේ cutlet, patty, roll වේ. බහුවචන වන්නේ cutlets, patties, rolls යන ඒවායි.
සිංහල අය පැටි එකක් කියා කියන්නේ නැත. කියන්නේ පැටිස් එකක් කියා ය. කට්ලිස් එකක්, රෝල්ස් එකක් ය කියා ද කියනු ලැබේ. බහුවචන වන්නේ කට්ලිස් දෙකක් පැටිස් තුනක්, රෝල්ස් හතරක් ලෙසයි.
නූතන නාගරික සිංහලයන් කට්ලට් යයි කීවාට, එය Received Pronunciation අනුව වැරදි ඉංග්ලිෂ් උච්චාරණයකි. පැරැන්නන් එය ආසන්න වශයෙන් නිවැරදිව උච්චාරණය කළ හ. එයට හේතුව, දකුණුදිග එංගලන්ත අධ්‍යාපනික භාෂා උච්චාරණය අනුව එය කට්ලිට් වන හෙයිනි. පබිලිස් මහත්තයා කියන්නේ ද කට්ලිස් කියා ය.
නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය කියා දෙයක් නැත. එහෙත්, ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය බොහෝ දුරට සැකසෙන්නේ දකුණුදිග එංගලන්තයේ අධ්‍යාපනික රිසීව්ඩ් ප්‍රනන්සියේෂන්උච්චාරණය අනුව ය. නිවැරදි යයි පරම වශයෙන් කියන්නට බැරි වුණත්, ඉංග්‍රීසිය දෙවන බසක් ලෙස කතාකරන බොහෝ රටවල ප්‍රමිතිය ලෙස සලකන්නේ එයයි.
ලාංකිකයන්ගේ පැටිස් එක ලාංකික විදියට හදාගත් එකකි. මා කුඩා කාලයේ පාසලේ කම්බි වැටෙන් එහා පැත්තේ තබාගෙන පැටිස් විකුණන පැටිස් ආච්චි කෙනෙකු සිටියේ ය. නම් කට්ලිස්, රෝල්ස් වුණත් ඒවා ලාංකික කෑම ය. විස්කෝතු කුඩු දවටනය ලාංකික රෝල්ස්වල අනිවාර්ය ය.
කට්ලිස්, පැටිස්, රෝල්ස් සමග යෙදෙන තවත් වචනයක් වන්නේ ෂෝට් ඊට්ස් (short eats) ය. මෙයට සිංහල පරිවර්තනයක් ලෙස කෙටි කෑම යයි ද කියනු ලැබේ. කෑම කඩවල ඒවාට සෝටිස් යයි ද කියනු අසා ඇත්තෙමි.
“සෝටිස් එකයි ප්ලේන්ටියයි, හෑන්බිල්,” කියා වේටර්ලා කවුන්ටරයට කෑගසා කියනු ඔබ අසා තිබේ ද? මෙතනදී හෑන්බිල් කියන්නේ handbill යන්න නොව බිල අතේ බවට ය.
ෂෝට් ඊට්ස් යනු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වදනකැයි මැක්මිලන් ඕපන් ඩික්ෂනරියේ ද දැක්වේ. එහෙත්, එය දකුණු ඉන්දියාවේ ද භාවිතා වේ.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

සියලු බැඳුම්කර වංචාකරුවන්ට පොදු සමාවක් දෙනු!

ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි දූෂිතයන්ට තනතුරු නොදිය යුතු ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ඔබ සැබෑ නායකයකු ලෙස රටේ ස්ථිර පිළිගැනීමකට ලක්වනු ඇත

Adapted from praja.lk

පොලිසිය පානදුරයේ මාර්ග තදබදය වැඩි කරනවා ද?

නිශාන් පෙරේරා

පානදුර නගරය කළුතර දස්ත්‍රික්කයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නගරයයි. මෑතක සිට පානදුර නගරය පසු කර ගාලු පාරේ යන වාහනවලට දැඩි රථවාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. නගරට තුළ හා නගරය හරහා ගමන් කරන වාහනවලට ද අධික මාර්ග තදබදයකට මුහුණ දීමට සිදු වී තිබේ. උදෑසන කාලයේදී මෙම මාර්ග තදබදය තවත් වැඩිකිරීමට හේතු වන කරුණක් වී ඇත.
පානදුර නගර මධ්‍යයේ, ගාලු පාරේ ප්‍රධාන හුවමාරු ස්ථානයක් දින කිහිපයක සිට  මාර්ග තදබදය ඇති වේලාවන් ඉලක්ක කර පානදුර පොලිස් රථවාහන අංශය මඟින් තාවකාලික මාර්ග බාධක යොදා ගනිමින් වසා තැබීමට පටන් ගෙන තිබේ.
ඒ පානදුර නගර සභා කාර්‍යාලය අසල ගාලු පාරේ හුවමාරු ස්ථානයයි. මේ ස්ථානයෙන් ජයතිලක මාවතේ බටහිර දිශාවෙන් පානදුර පොදුවෙළඳ පොල, දුම්රියස්ථානය හා ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය වෙත පිවිසීමට ඇති පහසුම මාර්ගයයි. ඊට අමතරව පානදුර නගරයේ ඇති එකම වාහන ගාල් කිරීමේ ස්ථානයද මෙම පාරේ පිහිටා ඇත. එහි බස් රථ ගාල් කර තැබේ. නැගෙනහිර දිශාවට දිවෙන කොටසේ කේතුමතී කාන්තා රෝහහල පිහිටා ඇත. හොරණ පාරට පිවිසීමට ද බොහෝ රියදුරන් මෙම මාර්ගය භාවිතා කරති. 
උදෑසන, දහවල් පාසැල් අවසන් වන වේලාව සහ සවස මෙසේ මෙම ස්ථානය පොලිසිය විසින් මෙම ස්ථානය වසා ගෙන සිටී. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් ඇතුළු රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. කොළඹ දෙසින් පැමිණෙන දුම්රිය ස්ථානයට ගමන් කරන වාහන, පොදු වෙළඳපොළ වෙත පැමිණෙන ලොරි රථ හා පාසැල් බස් රථවලට ජයතිලක මාවතට පිවිසිය නොහැක. වෙළඳපොළ දෙසින් ජයතිලක මාවත ඔස්සේ පැමිණෙන වාහනවලට හා කළුතර දෙසින් ගාලු පාර ඔස්සේ පැමිණෙන වාහනවලට කේතුමතී කාන්තා රෝහල දෙසට පිවිසීමට නොහැක. කේතුමතී කාන්තා රෝහල දෙසින් පැමිණෙන වාහනවලට ගාලු පාරේ කොළඹ දෙසට දිවෙන මංතීරුවට හා පොදු වෙළඳපොළ දෙසට ඇති ජයතිලක මාවතට පිවිසීමට නොහැක. පොදු වෙළඳපොළ දෙසින් පැමිණෙන වාහනවලට ගාලු පාරේ කළුතර දෙසට දිවෙන මං තීරුවට පිවිසිය නොහැක.
මෙම මාර්ග බාධක හේතුවෙන් දුම්රියපොළ වෙත ගමන් කරන මගීන්ට හා පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් වෙනත් හුවමාරු ස්ථානවලින්  මාරු වීමට සිදුව ඇත. තවද ගාලු පාරේ කළුතර දෙසින් එන වාහන පානදුර බස් නැවතුම්පළ පිටුපසින් දිවෙන ග්‍රේස් පීරිස් මාවතට හැරවීමට නොහැකි වන ලෙස ද ඉහත සඳහන් කල වේලාවන්හිදී තාවකාලික පොලිස්මාර්ග බාධක යොදා ඇත.
ශාන්ත අන්තෝනි බාලිකා පාසැල පිහිටා ඇත්තේ මෙම මාර්ගයේය. හොරණ පාරට පිවිසිය හැකි ප්‍රධාන විකල්ප මාර්ගයද මෙය වන අතර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය වෙත හා මෝදරවිල කර්මාන්ත පුරය වෙත ගමන් කරන වාහන මෙම මාර්ගය භාවිතා කරති. පානදුර ප්‍රධාන බස් නැවතුම්පළ වෙත කළුතර දෙසින් පැමිණෙන බස් රථවලටද මෙම මාර්ග බාධක හේතුවෙන්  ග්‍රේස් පීරිස් මාවත භාවිතා කළ නොහැක. මේ හේතුවෙන්  අනවශ්‍ය මාර්ග තදබදයක් හා අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් මතුව තිබේ.

දීගොඩ කුමාරලාගේ රෝග සුව කිරීම

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කරන බව කියමින් විවිධ තැන්වල සුව කිරීමේ සැසි පවත්වන, හිටපු ළමා පොත් රචකයකු වන දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබේ. විශ්ව ශක්තිය ඇති බව කියන මෙම පුද්ගලයා රිමාන්ඩ් නියෝගය අසා අධිකරණයේ ක්ලාන්තව ඇද වැටී තිබේ.
Translations by Creative Content Consultants
මෙම රිමාන්ඩ් කිරීමට අදාළ වූයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වුණ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබෙන පාන් පිටි ආහාර ආසාත්මිකතාවක් සුවකිරීම සඳහා දීගොඩ කුමාර එම සිසුවා පාන් කෑමට ලබා දී තිබේ. පාන් කෑමෙන් පසු සිසුවා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර, මිනීමැරීමට තැත් කිරීම දීගොඩ කුමාරට එල්ල වී තිබෙන චෝදනාවයි.
දීගොඩ කුමාර අධිකරණය මගහරිමින් සිටි අතර ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණි. ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම ගැන හේතු ලෙස දක්වා තිබෙන්නේ ඔහුගේ මව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා මිය යාමයි. තමන්ගේ මව සුව කරගැනීමට යොදාගන්නට බැරි විශ්ව ශක්තිය මෙම පුද්ගලයා වෙනත් අයට බෙදා දෙන්නේ කෙසේ ද?
මෙවැනි පුද්ගලයන් රාශියක් ශ්‍රී ලංකාව පුරා විවිධ විජ්ජා පෙන්වමින් සැරිසරති. රෝග සුව කරගැනීම සඳහා මිනිසුන් ඔවුන් පසුපස යති. රෝගයකින් අසරණ වූ අයෙකුට ප්‍රාතිහාර්ය මගින් රෝගය සුව කරගත හැකි බව කී විට එම පුද්ගලයා පහසුවෙන් රවටාගත හැකි ය. එය රෝගියාගේ වරදක් නොව, අසරණකම ය.
එවැනි රෝගීන් ප්‍රාතිහාර්ය බලයෙන් සුව කරන බව කියන විවිධ කට්ටඩියන්, හොර වෙදුන් හා මෙවැනි විජ්ජාකාරයන් රැසක් අගමැති නිල නිවසේ සිට ගම් නියම් ගම් දක්වා රට පුරා සිටිති. මෙවැනි පුද්ගලයන්ට එක පැත්තකින් කැපී පෙනීමේ ආශාව, පහසුවෙන් මුදල් ඉපැයීමේ ආශාව සමග මුසු වූ මානසික ව්‍යාධි තත්වයක් තිබිය හැකි ය.
මෙවැනි පුද්ගලයන් වහාම මානසික වෛද්‍යවරුන් වෙත යොමු කර, ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීම සිදු කළ යුතු ය. මෙවැනි සුවකිරීමේ සැසි පවත්වමින් රට පුරා ජනතාවගේ සෞඛ්‍යයට හානි කිරීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය.
මෙවැනි භයානක සුව කිරීමේ මෙහෙයන් සංවිධානය කරන්නන්ට එරෙහිව ද පියවර ගත යුතු ය. විශේෂයෙන් ම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ මෙම සුව කිරීමේ මෙහෙය සංවිධානය කර පාසල් සිසුන්ගේ ජීවිත අවදානමට ලක් කළ විදුහල්පතිවරයා හා එයට සම්බන්ධ වූ ගුරුවරුන්ට ද, පාසලක මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට අවසර දුන් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ද පියවර ගත යුතුය. මෙවැනි මළ විකාර නැවත පාසල්වල සංවිධානය නොවිය යුතු ය.
අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

2020-01-24

රජයේ ආයතනවල ඉහළ තනතුරු පත්කිරීමේ අවුල

අජිත් පැරකුම් ජයසිංහ

රජය බලයට පත් වී මේ වන විට මාස දෙකක් ඉක්මවා තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන අතරින් 75%කට වැඩි ප්‍රමාණයකට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. තවමත් සම්පූර්ණ නොකළ පත්කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ද තිබේ. පත්වීම් සිදුකිරීමට ප්‍රමාද වීම ආණ්ඩුවේ අකාර්යක්ෂමභාවයේ ප්‍රකාශනයක් ලෙස ද සැලකිය හැකි මුත්, ඇමතිවරුන් ඇතුළු රජයේ දේශපාලන අතවැසියන් අකැමැත්තෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අලුත් ක්‍රමය ඉතා හොඳ වැඩපිළිවෙලක් බව කියමිනි. කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව දුරලීමේ නියමුවන් වන්නට නියමිත පත්වෙමින් සිටින මෙම පිරිසයි.
Translations by Creative Content Consultants
සංස්ථා, මණ්ඩල, සමාගම් වැනි රාජ්‍ය ආයතන 127ක ලැයිස්තුවක් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වේ. සංස්ථා. මණ්ඩල, අධිකාරි ආදී රාජ්‍ය ආයතන 238කුත් තවත් රාජ්‍ය ආයතන දෙසිය ගණනකුත් වශයෙන් පන්සිය ගණනක් තිබෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පැවැත්වුණ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසී ය. එම ආයතනවලට ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රජය කමිටුවක් පත් කළේ ය. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන අයගෙන් සමන්විත විය. ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් කාන්තාවන් වන මුත්, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා පිරිස අතරින් 70%ක් කාන්තාවන් වන මුත්, මෙම කමිටුවේ එක් කාන්තාවක්වත් සිටියේ නැත. කමිටුව විසින් කරන ලද පත්වීම්වල ද මෙම තත්වය දක්නට ලැබිණි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාෂා තුනෙන් ම ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරමින් මෙම තනතුරු සඳහා අභිමතය ප්‍රකාශ කරන ලෙස මහජනතාවට පොදු නිවේදනයක් නිකුත් කළේ ය. මෙම ජනාධිපති ලේකම්වරයා අධිකරණවලින් වරදකරු කරනු ලැබ, රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලැබුණු අයෙක්. කෙසේ වෙතත්, නිවේදනය අනුව, ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට රාජ්‍ය ආයතනවල සභාපති හා අධ්‍යක්ෂ තනතුරු සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබිණි. අදාළ කමිටුව විසින් පත්කිරීම් සිදුකිරීමේදී විෂය දැනුම, නිපුණතා හා පළපුරුද්ද සැලකිල්ලට ගන්නා බව එම දැන්වීමේ සඳහන් විය. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මෙම තනතුරුවලට අයදුම් කිරීමට ආරාධනා කරන ලදී. තමන් කැමති කිසියම් ක්ෂේත්‍රයක මූලෝපායික සංවර්ධනය වෙනුවෙන් නිර්දේශ සාරාංශයක් ඉදිරිපත් කරන ලෙස ද එම දැන්වීමේ සඳහන් විය.
කමිටුවේ සාමාජිකයන්ගේ නිර්දේශ මත එම කමිටුවේ ම බොහෝ සාමාජිකයන් පවා මේ වන විටත් තනතුරුවලට පත් කර තිබේ. ඒ අය තවදුරටත් මේ කමිටුවේ නිර්දේශ කිරීම්වලට සහභාගි වෙනවා ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්, මෙම පත්වීම් කමිටුවක් හරහා සිදුකිරීම අගය කළ යුතු ක්‍රියාවකි. මෙම පත්වීම් සියල්ල දේශපාලනික බව ද, එම පත්වීම් සිදුකිරීමේදී ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල හා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ ලා ඇමතිවරුන්ට තිබෙන හැකියාව අදාළ වන බව රහසක් නොවේ. එහෙත්, මේ ඔස්සේ අඩු තරමේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා වෙහෙස මහන්සි වී කලින් රජයට විරුද්ධව වැඩ කළ පිරිස්වලට අඩු තරමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් හෝ ලැබිණි. එය කලින් තිබුණ තත්වයක් නොවේ.
මීට පෙර තිබුණු ක්‍රමය අනුව ජනාධිපතිවරයා හා ඇමතිවරු තමන්ට කැමති අන්දමින් පුද්ගලයන් සභාපතිකම්, අධ්‍යක්ෂ තනතුරු ආදියට පත් කළ හ. එහි කිසිදු පාරදෘෂ්‍යභාවයක් තිබුණේ නැත. ඇමතිවරු තම පවුලේ අය, ඥාතීන්, මිතුරන්, උදව් කළ අය, හෙංචයියන් ආදීන්ගෙන් මෙම තනතුරු පිරවූ අතර කවුරු, කුමන තනතුරට පත් වී ද යන්න රටට හෙළිදරව් වූයේ ද නැත. එසේ පත් කරන ලද පුද්ගලයන්ගෙන් අදාළ ආයතනවලට සිදු වූ සේවයක් ද නැත. ඇතැමෙක් අධ්‍යක්ෂවරුන් වුණේ අදාළ දීමනාව හා වෙනත් නීත්‍යානුකූල හා අයථා වරප්‍රසාද ලබාගැනීමට ය. තමන් අධ්‍යක්ෂ තනතුරු දැරූ ආයතන ගැන කිසිවක් නොදන්නා අධ්‍යක්ෂවරු ද සිටිය හ.
පසුගිය ඊනියා යහපාලන රජය ද මෙම පත්කිරීම් සිදුකළේ උපරිම දූෂිත අන්දමිනි. රජය පත් වූ වහාම සෝමරත්න දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති තනතුරට පත්කිරීම පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. එයට යහපාලන රජය බලයට ගෙන ඒමට වැඩ කළ පිරිස් වෙතින් දැවැන්ත විරෝධයක් එල්ල වූ මුත්, මහජන විරෝධතා වැඩි කල් පැවතුණේ නැත. ඇමතිවරු සුපුරුදු පරිදි පත්වීම් කරගෙන ගිය අතර සමාජය සුපුරුදු ලෙස එය ඉවසා දරාගත්තේ ය. දේශපාලන පත්වීම් නිසා එම පත්කිරීම් දූෂිත වූවාට කමක් නැතැයි මතයක් සමාජයේ තිබේ. මෙම පත්කිරීම් විසින් ඇති කරනු ලබන මූලික ප්‍රශ්නයක් වන්නේ ළබැඳියාවන් පිළිබඳ ගැටුමයි. එහෙත්, ශ්‍රී ලංකාවේ දේශපාලන පත්වීම් තුළ ඒ කෙරෙහි අවධානයක් කිසිදු කලෙක තිබුණේ නැත.
දැන් වුව ද අධ්‍යක්ෂ තනතුරුවලට කවුරු පත් වී ද යන්න සොයාගැනීම ලෙහෙසි නැත. කෙසේ වෙතත්, මෙම කමිටු ක්‍රියාවලිය ඔස්සේ මෙම පත්කිරීම් සම්බන්ධ යම් පාරදෘෂ්‍යභාවයක් නිර්මාණය වී තිබීම යහපත් තත්වයකි. නාමල් රාජපක්ෂගේ හා යෝෂිත රාජපක්ෂගේ බිරියන්ගේ මව්පියන් වන තිලක් වීරසිංහ සහ ඩියඩ්‍රි ලිවේරා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරුවලට පත්කිරීම, ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරකට පත්කිරීම, පත්කරන කමිටුවේ සාමාජිකයන් මුලින්ම තනතුරුවලට පත්වීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාවක් හෝ ලැබුණේ මෙම නව පත්කිරීමේ ක්‍රමවේදය නිසා ය.
ඒ පිළිබඳ යම් සංවාදයක් ද ඇති විය. උදාහරණයක් ලෙස, නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන Lanka Sportreizen හි හිමිකරුවා වන අතර ඔහු ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රවීණයකු මෙන් ම, අධ්‍යක්ෂ රැස්වීමකට සහභාගි වීම නිසා ලැබෙන රු. 20,000 දීමනාවෙහි වටිනාකමක් නැති ධනවතෙකු ද බව සඳහන් විය.
මේ අතර, රටේ ප්‍රධානතම රාජ්‍ය ව්‍යවසායක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරාගෙන් පසුව පත් කරනු ලැබුවේ තේ කර්මාන්තයේ ප්‍රවීණයෙකි. කලින් හිටපු සභාපතිවරයාට ගෙවන ලද රු. ලක්ෂ 20 ඉක්මවූ වැටුප නම් රු. 250,000 දක්වා අඩු කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා වන කුමාරසිංහ ටෙලිකොම් සභාපති ධුරය වෙනුවෙන් රු. මිලියන නවයකට වැඩි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබාගත් බව කියැවේ. දේශපාලකයන් රාජ්‍ය ආයතන පවුලේ අයට ආදායම් ඉල්ලමක් කරගත් ආකාරය ගැන හොඳම ඓතිහාසික නිදසුන එයයි.
‘රජයේ ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා පලකළ පුවත්පත් දැන්වීම සම්බන්ධ තොරතුරු දැනගැනීම’ යන මැයෙන් සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියක වන ආචාර්ය නදීෂා චන්ද්‍රසේන විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඒ බව සමාජ මාධ්‍ය මගින් නොබෝදා ප්‍රසිද්ධ ද කළේ ය. ඇය එමගින් පහත දැක්වෙන ප්‍රශ්න මතු කළා ය.
අ) එම දැන්වීම් ප්‍රකාරව, ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා ඉල්ලුම්පත් කීයක් ලැබී තිබේද?
ආ) එම දැන්වීම් ප්‍රකාරව අදාළ තනතුරු වලට තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේද?
ඇ) එසේ පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණ ගණන, තෝරාගත් වෘත්තිකයන් ප්‍රමාණය (ඔවුන්ගේ නම් සහ තනතුරු ඇතුළත්ව)
ඈ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා ඉල්ලුම්කළ ඉල්ලුම්කරුවන් ගණන, ඔවුන්ගේ නම් සහ සුදුසුකම් පිලිබඳ විස්තරයක් ලබා දෙන්න.
ඉ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියට 2020 ජනවාරි 01 දායින් පසුව පත් කරන ලද සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභිකයින් පිලිබඳ විස්තරයක් ලබා දෙන්න. (නම, තනතුර, සුදුසුකම්, සම්මුඛ සාකච්චා පැවැත්වූ දිනය, සහ පත්වීම සිදුකළ දිනය ඇතුළත්ව)
ඊ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියට ඉහත පත්කිරීම් සිදුකිරීමේදී ඔබ විසින් ප්‍රසිද්ධ පුවත්පත්වල පල කරන ලද දැන්වීමට අනුව එම තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුසන් තොරාගැනුනේද යන්න දක්වන්න.
ජවිපෙ නායකවරයා විසින් මෙම පත්කිරීම් ක්‍රමවේදය පිළිබඳ ගැටලු පහක් ඉදිරිපත් කරන ලදී. “පළමුවැන්න ආණ්ඩුව පත්වී මාස 02ක් ගතවී තිබියෙදීත් පත්වීම් සිදුකිරීමට ආණ්ඩුව අසමත් වීමයි. දෙවැන්න දේශපාලන හිතවතුන් පත්කිරීමේ ක්‍රියාවලියයි. තෙවැන්න ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඥාතීන් පත් කිරීමක් සිදුව තිබීමයි. සිව්වැන්න දූෂණ චෝදනා ලැබූ පුද්ගලයින්, ඒ නිසා අධිකරණයෙන් ඇපපිට සිටින පුද්ගලයින් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලැබීමයි. කිසිදු සුදුසුකමක් පලපුරුද්දක් නොමැති පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීම පස්වැනි කරුණයි.”
මෙම පත්කිරීම් සියල්ල යෝග්‍ය ම පුද්ගලයන්ගෙන් සිදු කරනු ඇති බවට කිසිවෙකු අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇති කර ගත යුතු නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රාජ්‍ය අංශය යනු එසේ සිදුවීමට හැකියාව ඇති අවකාශයක් නොවේ. එහෙත්, මෙමගින් අලුත් මුලපිරුමක් සිදු වී තිබෙන බව අප අමතක නොකළ යුතු ය. එය ඉදිරියට ගෙනයාම මිස එය අහෝසි කරදැමීමට හේතු වන පරිදි කටයුතු නොකළ යුතු ය. ඉදිරියට එන ආණ්ඩුවක් මෙම ක්‍රමය මීට වඩා විධිමත් අන්දමින් ක්‍රියාත්මක කළ යුතු ය. ක්‍රමවේදය නීතිගත වන්නේ නම් එය පහසු වනු ඇත.

2020-01-23

මහ බැංකු වංචා සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට මෙන් ම කබ්රාල්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු ය

වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති කෘත්‍යයක් පවතින නිසා එම කොටස ප්‍රසිද්ධ කළ නොහැකි ය.
Translations by Creative Content Consultants
2005-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් රජයට රු. බිලියන 10.47ක් පාඩු වූ බව මෙම වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වේ.
මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ මහජන අවධානය යොමු වුණේ 2015දී සිදු වූ වංචාව නිසා ය. එය එක්සත් ජාතික පක්ෂය විසින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු වූ වියදම් පියවාගැනීමට හා ඉන් පසු මහ මැතිවරණය වෙනුවෙන් ද මුදල් ලබාගැනීම පිණිස මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා මුදල් ලබාගැනීමට බව නිල නොවන අවබෝධයයි. මෙමගින් ඇලෝසියස්ගේ සමාගම දැවැන්ත ලාභයක් ඉපැයූ අතර, මුදල් ඇමති රවී කරුණානායකගේ සිට ෆුට් නෝට් කල්ලිය දක්වා මැති ඇමතිවරුන් තම තමන්ගේ කුට්ටිය ලබා ගත් බවට සැක කෙරේ.
අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම විසින් බැඳුම්කරයෙන් වංචා කරන ලදැයි කියන මුදල් ආයෝජනය කර ජනයුගය නමින් පුවත්පත් ව්‍යාපාරයක් ද ආරම්භ කළේ ය. පසුව එය ද අසාර්ථක විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිනුම් අක්‍රිය කර තිබේ. මූලික වශයෙන් වංචා කරන ලද බව කියන මුදල හා සමාන මුදලක් මෙම ගිනුම්වල තිබෙන මුත්, ණයපොළී අනුපාතිකවලට ඇති වූ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ට්‍රිලියන ගණන්වලින් ගණන් හැදීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරිකයෝ කටයුතු කළ හ.
2000-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් සිදු වූ හානිය ද මේ අන්දමින් ම වැල් පොළී විය යුතු ය.
කෙසේ හෝ වේවා, අඩු තරමේ 2005 සිට 2015 දක්වා හෝ ආණ්ඩු දෙකක් විසින් රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් මුදල් වංචා කර ඇති බව පැහැදිලි ය. මෙය ස්ථිර ලෙස ම නැවැත්වීම සඳහා අදාළ වකවානුවලදී මහ බැංකුවේ අධිපති තනතුරු දැරූ අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාට ම ද, මේ හා සම්බන්ධ සියලු නිලධාරීන් හා ව්‍යාපාරිකයන්ට ද දැඩි දඬුවම් පැමිණවිය යුතු ය.
හොරාට කලින් කෙසෙල් කැණ වැට පනින්නා සේ දැන් අජිත් නිවාඩ් කබ්රාල් හිටගෙන ලිපි ලියමින් වෝහාරික විගණන වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට කරුණු සම්පාදනය කරන ආකාරය විහිළු සහගත ය.
ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි දූෂිතයන්ට තනතුරු නොදිය යුතු ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ඔබ සැබෑ නායකයකු ලෙස රටේ ස්ථිර පිළිගැනීමකට ලක්වනු ඇත

බෙලි කැපීමේ ඉතිහාසය හා වර්තමානය

අජිත් පැරකුම් ජයසිංහ

හමුදාව බෙලි කැපීමේ ඉතිහාසය දිගු එකකි. කඩුවලින් සටන් කරන සමයේ සතුරකු මැරීමේ පහසුම ක්‍රමය බෙලි කැපීම ය.
Translations by Creative Content Consultants
තුවක්කුවලින් සටන් කරන කාලයේ අද පවා සටනේදී බෙලි කැපීම යොදාගැනීමට සිදු වන අවස්ථා තිබේ.
සටන්වලදී බෙලි කැපීම එකකි. මිනිසුන්ගෙන් පළිගැනීම හෝ සතුට හෝ සඳහා බෙලි කැපීම තවත් එකකි.
පහත පළ වන්නේ මවිසින් ලියා පළ කරන ලද කේපොයින්ට් නවකතාවේ දැක්වෙන එළියකන්ද වධ කඳවුරේ විස්තරයකි. කේපොයින්ට් නවකතාවේ අවසන් පිටපත් කිහිපය මිළ දී ගැනීමට අවශ්‍ය නම් විස්තර මෙතැනින්
එහි එක්තරා රසවත් සාජන්වරයකු සිටියේ ය. දිනපතා හැන්දෑවේ ඔහුගේ කාමරයෙන් මියුරු ගී හඩක් ඇසිණි.
“සාජන් මේ දවස්වල අහන්නෙ රූකාන්තගෙ සිංදු.“ කෝප්‍රල් ගැමුණු මුර සේවයේ සිටි සාමාන්‍ය සෙබළාට කීවේ ය.
“අද ටිකක් දාලා ඉන්නෙ. අන්න ඩාන්ස් කරනවා.“
රූකාන්තගේ ‘සඳ බැස ගිය තැන නෑ – ඉර බැස ගිය තැන නෑ‘ මහ හඬින් වාදනය කරමින් ඔහු නැටුවේ ය.
“කෝප්‍රල් කොහොමද සාජන් මිනිසුන්ව දන ගස්සලා කෙස්සෙන් අල්ලලා පණ පිටින් බර බර ගාලා බෙලි කපන හැටි?“ කෝප්‍රල් ගැමුණු අනෙකාගෙන් ඇසුවේ ය. “හැම කෙනෙකුට ම ඒක කරන්න බැහැ. හරි තැනින් අල්ලලා හරියට කැපුවෙ නැතිනම් එහෙම ලේසියෙන් කපන්න බැහැ.“
“ඒක මාර පිහියක් බං,“ සෙබලා ද කතාවට අනුපාන සැපයුවේ ය. “සාජන් පකිස්තානෙ ට්‍රේනිං ගිහින් එනකොටලු ගෙනාවෙ. හැමදාම දැලි පිහිය වගේ මුව තියනවා. රැවුල වුණත් කපන්න පුළුවන්.”
පහත දැක්වෙන්නේ මවිසින් 2015දී තබන ලද සටහනකි.
2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.
එම ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා අනුව මෙහි සිදු වී තිබෙන සිද්ධිය මෙසේ ය.
සරණාගතයන් වූ මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක් වන්නේ ඒ වන විට හමුදාව විසින් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු ඔවුන්ගේ ඉඩකඩම් වෙත ගොස් එහි ගඩා ගෙඩි ආදිය කඩාගෙන ආපසු සරණාගත කඳවුරු වෙත එන්නට සූදානම් වද්දී ය. ඔවුන් මේ අවදානම් ගමන යන්නේ බඩගින්න නිසා බව පැහැදිලි ය.
මෙම ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවති අතර එහි සිදු වූ දිගු දුර මෙහෙයුමක් නැත. ඒ නිසා දිගු දුර මෙහෙයුම් බලකායක් මේ සමග පටලවා ගැනීම සම්පූර්ණයෙන් ම වැරදි ය. දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයෝ කිසිවෙක් කිසි කලෙක සිය කටයුතු ගැන කයිවාරු ගසා නැත. ඉතා විධිමත් පුහුණුවක් ලබන ඔවුන් කරන්නේ මිලිටරි කාර්යයකි. ඉතා සැලසුම් සහගත ලෙස ඉලක්ක හඹා යන ඔවුන් අතින් ඝාතන සිදු වන බව ඇත්ත ය. එහෙත් ඒවා යුදමය කාර්යයන් මිස ආසාවට මිනීමැරීමේ මෙවැනි පහත් ක්‍රියා නො වේ. 
මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.
පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.
ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.
යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි. මෙම ඝාතනය වීරෝදාර ක්‍රියාවක් ය කියන අය එය පාවා දීමක් ලෙස සලකනවා ද?
මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබෙන්නට ඇත. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.
මෙම සටහන් දෙක උපුටා දක්වන්නට හේතු වූයේ කිසිදු යුදමය පසුබිමකට සම්බන්ධතාවක් නොමැතිව, යාපනයේදී, හමුදා නිලධාරියකු විසින් වෛද්‍ය ශිෂ්‍යාවකගේ ගෙල කපා මරා මුහුදට දැමීමේ ආදර සිද්ධියක් හේතුවෙනි. එම අවස්ථාවේදී ම සැකකාර සොල්දාදුවා සිවිල් වැසියන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දෙන ලදී. එසේ නොවිණි නම්, එය මෙම අවස්ථාවේදී වෙනත් අර්ථකථනවලට ලක්වන්නට ද ඉඩ තිබිණි.

රජයේ දැවැන්ත මිනිස් බල සංචිතය සඳහා අයදුම්පත් කැඳවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ. මෙම අයදුම්පත් කැඳවා තිබෙන්නේ අලුතින් පිහිටුවන ලද බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අයදුම්පත් ලබන පෙබරවාරි 15දා හෝ ඊට පෙර ග්‍රාමසේවා නිලධාරිවරයා වෙත භාර දිය යුතුය.
Translations by Creative Content Consultants
වයස අවුරුදු 40ට අඩු අයදුම්කරුවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ අධ්‍යාපන සුදුසුකම් අවම අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව දීමයි. අධ්‍යාපන සුදුසුකම් නුසුදුසුකමක් වූ අවස්ථාවක් රජයේ සේවයේ මීට පෙර තිබී නැත. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් රජයේ කම්කරු රැකියාවලට බඳවා ගත් විට ඔවුන් තමන්ට අදාළ කාර්යය හරිහැටි නොකරන බවයි.
අයදුම්කරුවන් සමෘද්ධි සහනාධාර ලබන, ලැබීමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම හෝ වයස්ගත, රෝගාතුර දමව්පියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකු වීම මේ සඳහා සුදුසුකම් ලෙස සැලකේ.
බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.
පුහුණුව සඳහා අදාළ ක්ෂේත්‍ර පහත දැක්වේ. අයදුම්කරුවන්ට තමන් කැමති ක්ෂේත්‍ර හතරක් නම් කළ හැකි ය. පුහුණුව සඳහා තෝරාගැනීමේදී එය සලකා බලනු ලැබේ.
  1. කෘෂි නිෂ්පාදන සහායක
  2. සාත්තු සේවා, පවිත්‍රතා සේවා සහායක
  3. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහායක
  4. ආපදා කළමනාකරණ සහායක
  5. පරිසර කළමනාකරණ සහායක
  6. අලෙවි සේවා සහායක
  7. ප්‍රවාහන කටයුතු සහායක
  8. පරිගණක, තොරතුරු තාක්ෂණ, දුරකථන ක්‍රියාකරු හා සන්නිවේදන සහායක
  9. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහායක
  10. අරක්කැමි, භෝජනාගාර සේවක හා බොජුන්හල් සහායක
  11. තරු පංතියේ සංචාර හෝල්, බංගලා සහායක, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක සහායක සහ ජීවිතාරක්ෂක සහායක
  12. ක්‍රීඩා ආයතන, කායවර්ධන මධ්‍යස්ථාන සහායක, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක සහායක සහ ජීවිතාරක්ෂක සහායක
  13. වඩු කාර්මික හා වඩු සහායක
  14. ඇඳුම් මැසීම
  15. පෙදරේරු හා පෙදරේරු සහායක
  16. රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහායක
  17. විදුලි කාර්මික හා විදුලි කාර්මික සහායක සේවා
  18. රියදුරු හා රියදුරු සහායක
  19. සත්ව පාලනය හා ධීවර කටයුතු සහායක
  20. ඉන්ධන පිරවුම්හල් හා රථවාහන පිරිසිදු කිරීමේ සහායක
  21. දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහායක
  22. අවි රහිත ආරක්ෂක නියාමක
  23. පූර්ව ළමා විය සංවර්ධන සහායක
  24. වැද්දුම්කරු සහායක සහ ජල නල කාර්මික
  25. ගෘහපාලන, සුබසාධන හා නඩත්තු
මෙම ලැයිස්තුව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි කාරණයක් වන්නේ මෙම ක්ෂේත්‍රවල දැනටත් රට තුළ පුරප්පාඩු රැසක් තිබෙන බවයි. එම පුරප්පාඩු වැඩිපුර තිබෙන්නේ පෞද්ගලික අංශයේ ය.
මෙම බලකායේ සේවකයන්ගේ සේවාවන් පෞද්ගලික අංශයට ද ලබාගත හැකි ය. මෙමගින් රජය දැවැන්ත මිනිස්බල සංචිතයක් නිර්මානය කිරීමට සැලසුම් කර ඇති බව පෙනේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ වකවානුවේදී නිර්මානය කරන ලද රජයට අයත් රක්නා ලංකා සමාගමෙහි ද, ඇවන්ට්ගාඩ් නම් රාජ්‍ය අනුග්‍රහය ලත් පෞද්ගලික සමාගමෙහි ද මෙම ලක්ෂණ දක්නට ලැබිණි.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රජයේ රැකියා 350කට වඩා නිර්මාණය වන බව වාර්තා වේ. මෙම බලකාය මෙහෙයවීම සඳහා උපාධිධාරීන් 10,000ක් ඉදිරියේදී දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ.
දිළිඳුභාවය පිටුදැකීම හා සංවර්ධනය සඳහා සහනාධාර ලබාදීමට වඩා මෙය සාර්ථක වැඩසටහනක් විය හැකි ය. එහෙත්, මෙම බලකාය සම්ප්‍රදායික රාජ්‍ය සේවයෙන් වෙනස් අන්දමින් වැඩ විනයක් සහිතව ගොඩනගා ගැනීමට හා පවත්වා ගැනීමට රජය වගබලා ගත යුතු ය. ඉදිරි ඡන්දයේදී මෙම පිරිස් දේශපාලන පක්කලිකම් කිරීමට යොදා ගතහොත් බලාපොරොත්තු වන වෙනස එතනින් ම අවසන් වනු ඇති අතර රාජ්‍ය සේවයට තවත් පිළිකා සෛල ලක්ෂයක් පමණක් එක්වීමෙන් වැඩසටහනෙහි හරය අවසන් වනු ඇත.

දුමින්ද සිල්වාට සැකයේ වාසිය ලබාදිය යුත්තේ විධිමත් ක්‍රමවේදයකට ය

අජිත් පැරකුම් ජයසිංහ

දුමින්ද සිල්වා නම් තම සහෝදරයා නිදහස් කරගැනීම වෙනුවෙන් රෙනෝ සිල්වා කරන සහෝදරාත්මක අරගලය ගැන අපේ විරෝධයක් නැත. ඔහු ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූයේ ය. මාධ්‍ය වෘත්තිකභාවයේ කෙළ පැමිණි බව කියන බීබීසිය පවා එහෙම නිසා අපට ඒ ගැන ද ප්‍රශ්නයක් නැත.
කොහොමත් අප මරණීය දණ්ඩනයට විරුද්ධ ය. වරදකරුවකුට පවා නිවැරදි වීමට අවස්ථාව ලබා දිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු. දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු ද යන්න අපි දැන් ඉතා පැහැදිලිව සැක කරන්නෙමු. යුක්තිය පසිඳලන වෘත්තිකයන් සාන්තුවරයන් නොවන බව අපි කවදත් දැන සිටියෙමු. දැන් ඒ සත්‍යයේ සළු ගැලවී ඇත.
Translations by Creative Content Consultants
පද්මිණී රණවක ගුණතිලක නම් මහාධිකරණ විනිසුරුවරිය රන්ජන් රාමනායක සමග හුරතල් වෙමින් කියන්නේ තමන් දුමින්ද සිල්වාගේ පවා නඩුව අවසන් කළ බැවින් ඇය උසස්වීමක් සඳහා නිර්දේශ කරනු ලැබීමට යෝග්‍ය බවයි.
රන්ජන් රාමනායක නඩු තීන්දුවට පෙර ඇයට කතා කර රටම නඩු තීන්දුව ගැන බලා සිටින බව කී බව ද, ඇය කට්ටියක් එන බව කියා දුරකථනය තැබූ බව ද රන්ජන් රාමනායක රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කියයි. පද්මිණී රණවක ගුණතිලකගේ විනිසුරු භූමිකාව ප්‍රශ්න සහගත බව ඉතා පැහැදිලි ය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා වන ශිරාන් ගුණරත්න දුමින්ද සිල්වා ඇතුළු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශ කළමුත් පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය විත්තිකරුවන් වැරදිකරුවන් කරමින් දුන් තීන්දුව අනෙකුත් විනිසුරුවරයා වන එම්.සී.බී.එස්. මොරායස් විසින් ද අනුමත කිරීමත් සමග දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලදී.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ගැටලු රැසක් විත්තියේ නීතිඥවරුන් විසින් අභියාචනයෙහිදී මතු කරන ලදී. මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ රියැදුරුගේ දිවුරුම් ප්‍රකාශයක් ද මෙම සතියේ මව්බිම පුවත්පතෙහි කියවන්නට ලැබිණි. එයින් කියැවුණේ, ඔහු කලින් කළ ප්‍රකාශ බලපෑම් හා හිතවත්කම් මත පදනම්ව කළ බවත්, දුමින්ද සිල්වා වෙඩි තැබූ බව සහ අනෙක් අයට වෙඩි තබන්නැයි තමා කීවේ බොරුවට බව සහ දුමින්ද සිල්වා වෙඩි තැබීමක් නොකළ බවයි. එසේම, භාරත ලක්ෂ්මන්ට ආරක්ෂාව සැපයූ ඇමති ආරක්ෂක නිලධාරි ගාමිනී අත තිබූ රිවෝල්වරය උදුරාගෙන භාරතගේ තවත් හිතවතකු වූ දමිත ජයතිලක වෙඩි තැබූ බව එම දිව්රුම් ප්‍රකාශයේ දැක්වේ. දමිත ජයතිලක ද එම සිද්ධියෙන් මිය ගිය අයෙකි. මෙවැනි පුද්ගලයන්ගේ සාක්ෂි පිළිගත හැකි ද යන්න තීරණය කිරීම අධිකරණයේ කාර්යයකි.
මෙම දිව්රුම් පෙත්සම කරලියට එන්නේ දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ සහෝදර අරගලයේ අලුත් වටයේදී ය. මේ අතර, එහි ම කොටසක් ලෙස තවත් අපූරු මාධ්‍ය ප්‍රබන්ධයක් ප්‍රචාරය කරන අයුරු ද දක්නට ලැබේ.
මේ එය දිවයින පුවත්පතේ පළ වූ ආකාරයයි. ලියන්නේ මනෝජ් අබේදීරයි.
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා තිබේ. ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසේ. දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදාය.

 පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.
මව්බිමපුවත්පතේ ද මෙම පුවත මේ අන්දමින් ම පළ විය. එම පුවතෙහි මූලික ගැටලුව මෙසේ යි: අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ යයි කියන මුත්, ඔය කියන වාර්තා වීම සිදු වූයේ කොහිද යන්න කිසිවෙකු කියන්නේ නැත. වාර්තා වී තිබේ යයි නිකම් කියා දමමින් ඕනෑම බොරුවක් සමාජගත කිරීම මාධ්‍ය කාර්යභාරය නොවේ. වාර්තා වුණා නම් වාර්තා වුණ තැනක් තිබිය යුතුය. අවසානයේදී බලන විට වාර්තා කිරීම කර තිබෙන්නේ වාර්තා වී තිබේ යයි කියන අය ම ය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධ නඩුවට විශාල මාධ්‍ය බලපෑමක් සිදු වී තිබෙන බව ඉතා පැහැදිලි ය. ඒබීසී මාධ්‍ය ජාලය මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් කෙතරම් විශාරදභාවයක සිටියත්, පසුගිය ආණ්ඩුව පැවති සමයේ දුමින්ද සිල්වාට සැකයේ වාසිය ලබාදීම වෙනුවෙන් විනිසුරුවරුන් පොළඹවාගැනීම සඳහා අවශ්‍ය මත ගොඩනගාගැනීම හා අවශ්‍ය බලපෑම සිදු කිරීමට ඔවුන් අසමත් වූ බව පෙනේ. ඔවුන් දැන් උත්සාහ කරමින් ඉන්නේ අසමත් වූ එකී කාර්යය කිරීමටයි. ඒ වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය මෙහෙයවීමක් සිදු කරමින් තිබේ.
රන්ජන්ගේ හඬපට ඔස්සේ දුමින්ද සිල්වාට වාසිදායක තත්වයක් නිර්මාණය කරගැනීමට සමත් වී තිබෙන මුත්, ඒ ඔස්සේ අධිකරණය සම්බන්ධයෙන් මතු වී තිබෙන අලුත් ගැටලු හමුවේ සරල ලෙස දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පහසු නැත.
ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ රන්ජන් රාමනායක, ඔහුගේ හඬපට ප්‍රසිද්ධ කළ සමාජ මාධ්‍ය, එම ක්‍රියාවලිය හා සම්බන්ධව පසු ක්‍රියාමාර්ග ගත් කණ්ඩායම්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පවුල, දුමින්ද සිල්වාගේ පවුල, ඒබීසී මාධ්‍ය ජාලය, පද්මිණී රණවක ගුණතිලක ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන්, හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, ජනමාධ්‍ය ආදී සමස්තය ම සම්බන්ධයෙන් පුළුල් අලුත් විභාගයක් සිදුකිරීමයි.
දුමින්ද සිල්වා ඇතුළු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන්ට සැකයේ වාසිය කුමන හෝ ආකාරයකින් හිමි විය යුතු ය. එහෙත්, එය සිදු විය යුත්තේ විධිමත් අන්දමිනි. සරල ජනාධිපති සමාවකින් අධිකරණය හා පොලිසිය සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩනැගී තිබෙන තදබල අවිශ්වාසයට විසඳුම් ලැබෙන්නේ නැත.

දම් පාට මල

ලස්සන දම් පාට මලී
බිම වැතිරී සිටියි ඇලී
නුඹ කොහි සිට ආපු මලී
කියන්න මට මල් කැකුළී

හිටිහැටියේ නුඹ උදේට
තිතක් තියයි දමින් පාට
බිම වැතිරුණු සුදෝ සුදට
සුදු මල් පෙති මැද පොඩියට

මේ මහ මල් ගහ පාමුල
පාවඩ මල් පෙතිති අතුල
මැඩගෙන මම සිතින් සසල
සිතමි කෙලෙස නොදුටිමි මල

ගසත් දකිමි මලුත් දකිමි
වැලත් සොයා මුලත් දකිමි
ඒ වැල ගිය මගත් දනිමි
මල විතරක් මම නොදකිමි

දිගු සුසුමක් හෙළා මෙලෙස
යමි සුපුරුදු ගමන පිණිස
හෙට ඇවිදින් බැලුවත් ගස
නුඹ නැත බිම සුදු පෙති මිස

ඉතින් මම ගමන යන්නෙමි
රවුම් රවුම් පැද යන්නෙමි
ගස පසු කර නිති යන්නෙමි
දම් මල විතරක් නොදකිමි

ගමනෙහි සරතැසින් යටව
මල් මතකය යාවි සැඟව
සුදු මල් පෙති ඉරට හසුව
වියළි සුළඟෙ යාවි සැඟව

මල් සුවඳැති උදෑසනක
සුදු මල් පෙති පාවඩයක
හද පාරන පුංචි තිතක
දම් මල ඇත යළිත් බිමක

ලස්සන දම් පාට මලී
බිම වැතිරී සිටියි ඇලී
කොයි ලෝකෙන් ආපු මලී
කියන්න මට මල් කැකුළී

අජිත් පැරකුම් ජයසිංහ

2020-01-19

රජය රස්සා ලක්ෂ දෙකක් දී රට දියුණු කරන්නට යන්නේ මෙහෙමයි

සහනාධාර මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවට මහා පරිමාණව හා ඵලදායීව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වසර 2020 හා ඉදිරිය පිළිබඳ මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය ජනවාරි 6දා කතා කළේ ය.
Translations by Creative Content Consultants
මෙය රජයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව, ජනවාරි මාසයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන් ලක්ෂයකට රජයේ කම්කරු රැකියා ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසී ය. ජනවාරි මාසයෙන් අඩක් ගෙවී හමාර වී තිබෙන මුත්, ඒ සම්බන්ධයෙන් විවෘත අයදුම්පත් කැඳවීමක් නම් තවමත් සිදු වූයේ නැත.
රජයේ සුළු රැකියා සඳහා බඳවාගැනීම් හැමදාමත් සිදු වූයේ දේශපාලනය ඔස්සේ ය. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යාංශවලට පත් වන ඇමතිවරුන් හැමදාමත් මහා පරිමාණෙන් රජයේ රැකියා ලබා දුන් හ. ඒවා සංඛ්‍යාත්මකව එකතු කර බැලීමක් මෙතෙක් සිදු නොවූ අතර මේ කරන්නට යන්නේ එය මිස අලුත් දෙයක් නොවේ. මෙම රැකියා හරහා උසස් පෙළ සමත් අය පවා රජයේ රැකියාවලට පිවිසි අතර පසුව අභ්‍යන්තර ලිපිකරු, හෙද වැනි විභාග ඔස්සේ ඉහළ තනතුරුවලට පත් වූ හ. දේශපාලනය හරහා එන මෙම පිරිස් තමන්ට අදාළ රැකියා කටයුතු හරි හැටි නොකරති. උදාහරණයක් ලෙස පාසල් දුසිම් ගණන් සේවය කරන පාසල්වල පවා පිරිසිදු කිරීම් ආදියට වෙනම ගෙවීම් කිරීමටත්, මව්පියන්ගේ හා සිසුන්ගේ කාලය යෙදවීමටත් සිදු වී තිබේ. ජනාධිපතිවරයා කියන්නේ ඔවුන්ගෙන් වැඩ ගත යුතු බවයි. වැඩ කිරීමට කැමති අය පමණක් රැකියාවලට පැමිණිය යුතු බවයි. එය නම් අලුත් සංකල්පයකි.
මෙම බඳවාගැනීම් කරනු ලබන්නේ සාමාන්‍ය පෙළ අසමතුන් අතරින් පමණක් නම්, අධ්‍යාපන සුදුසුකම් රජයේ රැකියා සඳහා නුසුදුසුකමක් වන්නට යන පළමු අවස්ථාව මෙය විය හැකිය. අධ්‍යාපන සුදුසුකම්වලට මේ අන්දමින් සැලකීම ඉතා නරක පූර්වාදර්ශයකි.
මේ අතර, රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ද රජයේ රැකියා ලබාදෙන බව රජය පවසයි. පසුගිය රජයන් විසින් මේ වන විට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් ලක්ෂ දෙකකට පමණ සංවර්ධන නිලධාරි පත්වීම් පමණක් දී තිබේ. මෙම උපාධිධාරීන්ගේ කුසලතා වර්ධනයට හෝ් ඔවුන්ගෙන් සමාජ සංවර්ධනය සඳහා ඵලදායී දායකත්වයක් ලබාගන්නට හෝ වැඩපිළිවෙලක් රජයට තවමත් නැත.
ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද රජය නිවේදනය කර තිබේ. ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය.
මේ අනුව, ඡන්දයට යාමට පෙර, රජය අලුතෙන් රජයේ රැකියා ලක්ෂ දෙකක් දෙන බව කියා ඇත. දැනටත් රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 14ක් පමණ වන අතර, නව බඳවාගැනීම් සමග එය ලක්ෂ 16 දක්වා ඉහළ යනු ඇත.
එහෙත්, දැනට සිටින රජයේ සේවක පිරිසට හෝ වැටුප් ගෙවාගැනීමට රජයට ප්‍රමාණවත් තරම් මුදල් නැත.
රජයේ සේවකයන් කොයි තරම් විශාල පිරිසක් සිටියත්, රජයේ සේවයෙන් මහජනතාවට සහනයක් ද නැත. බොහෝ රාජ්‍ය කාර්යාලවල සේවක ආදර්ශ පාඨය ‘පුළුවන් නම් ආපු වැඩේ කරගනින් බලන්න’ වැනි ය.
කෙසේ වෙතත්, ලංකාවේ පහළ මධ්‍යම පන්තික සමාජයට මේ අන්දමින් රජයේ රැකියා ලබාදීමෙන් ආණ්ඩුවට විශාල ශක්තියක් ලබාගැනීමට පුළුවන. විශේෂයෙන් ම කාර්මාන්ත සංවර්ධනයක් ප්‍රමාණවත් අන්දමින් සිදු වී නොමැති ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම පන්තික ආධිපත්‍යය ගොඩනැගීම ආණ්ඩුවට ජාතිවාදය මත පදනම්ව බලය රැකගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත. කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කළ අන්දමින් ම දැවැන්ත රාජ්‍ය අංශයක් හා රාජ්‍ය අංශයෙන් යැපෙන දැවැන්ත මධ්‍යම පන්තියක් ගොඩනැගීම ගෝඨාභය රාජපක්ෂගේ ද ක්‍රමය බව සිතාගත හැකි ය. මෙම දැවැන්ත මධ්‍යම පන්තිය පෝෂණය කරන රජය රැකගැනීම සඳහා මේ රටේ වැඩකරන ජනතාවටත්, ව්‍යවසායකයන්ටත්, ඉදිරියේදී ද ලේ, කඳුළු, දහදිය වගුරුවමින් වැඩකිරීමට සිදු වනු ඇත.

මකරානන්දය නම් නවකතාව ගැන සටහනක්

අජිත් පැරකුම් ජයසිංහ

විරාජිනී තෙන්නකෝන් ලියූ මකරානන්දය නවකතාව කියැවීමි. එතරම් පොත් නොකියවන අයෙකු වන මා මෑත කාලයේ කියැවූ සිංහල නවකතා තුනක ම, වැර වෑයමෙන් ගොඩනැගූ කතා කියවන්නට ලැබිණි. මීට කලකට ඉහතදී ලංකාවේ නවකතාව සම්බන්ධ මූලික ගැටලුවක් වූයේ කතා කලාව නොදන්නාකම ය. එහෙත් දැන් කතා ගොඩනැගීම සඳහා බැරෑරුම් අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. එය යහපත් තත්වයකි.
නූතන සිංහල නවකතාවට යම් දුරකට ඩබ්ලිව්.ඒ. සිල්වා යුගයේ සෙවණැල්ල වැටී තිබේ යයි මට සිතේ. එනම්, කතා තුළ අභිරහසක් ගැබ්කිරීමට හා කතාවේ විකාශය තුළ අභිරහස විසඳීමට දරන උත්සාහයයි. නිදසුනක් ලෙස, යමෙකුගේ උපත, අතීතය සම්බන්ධ අභිරහසක් විසඳීම ඇතැම් නවකතාවල ප්‍රධාන කාර්යය බවට පත් වී තිබේ. එය කතාකරුවාගේ නිදහසයි. අප කතාවක් කියවන්නේ එම කතාව විසින් අපගේ කුතුහලය රඳවා තබාගන්නා නිසා ය.
මකරානන්දයේ යෙදෙන කතාව සමග ඓන්ද්‍රිය සම්බන්ධයක් නොමැති දීර්ඝ විස්තර පවා කියවමින් ඉදිරියට යාමට අප ඇද බැඳ තබාගන්නේ මේ අභිරහස් විසඳාගැනීමට අපට ඇති කරන කුතුහලයයි. එහෙත්, මෙකී ඔබ්බන ලද විස්තර පවා කතාව සමග ගොතා ඉදිරිපත් කිරීමට කතුවරිය උත්සාහ කර තිබේ. උදාහරණයක් ලෙස ගාල්ලේ හෝටලය හා එහි හිමිකරු ඩෙනිස් සහ පද්ම ශ්‍රී අතර ඇති සම්බන්ධය කතාවට ගැටගසන්නට කතුවරිය මහත් ආයාසයක් දරයි. ඩෙනිස් හා පද්ම ශ්‍රී අතර සම්බන්ධය ඇති වන්නේ සිරගෙදරදී ය. මේ දෙදෙනා ම සිරගතව ඇත්තේ එතරම් වැදගත් සිදුවීම්වලට නොවේ. ඔවුන් පොඩි පොඩි වැරදිවලට පැටලී ඇත්තේ ම කතුවරියට මේ දෙදෙනා අතර සම්බන්ධය ගොඩනගා දෙන්නට ම ය. එසේම, මේ නොගැලපෙන මිනිසුන් දෙදෙනා අතර ඇති දැඩි මිත්‍රත්වයට හේතුවක් ද කතාවේ පැහැදිලි නොවේ. එහෙත්, ඒ සම්බන්ධය පද්ම ශ්‍රීගේ චරිතය ප්‍රශ්න කරන හා දාර්ශනික අදහස් රැසක් සාකච්ඡා කරන සංවාද මාලාවක් නිර්මාණය කිරීමට කතුවරියට දොරටු විවර කර දෙයි. අවසානයේ සෝමේට පන්සලේ පොඩි හාමුදුරුවන් සමීප කරන්නට ද ගාල්ලේ හෝටලය අදාළ වේ. මෙම චරිත කතාව තුළින් ස්වයංව පැනනගිනවාට වඩා කතුවරියට උවමනා කාර්යයන් ඉටුකරදීම සඳහා නිර්මාණය කරගෙන තිබෙන බව ඩෙනිස් වැනි චරිතයකින් පෙනේ.
සමස්තයක් ලෙස ගත් කල, මකරානන්දය කතාව ආයාසයකින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයකි. ප්‍රබන්ධකරණය වෙනුවෙන් ආයාසයක් ගැනීම වරදක් නැත. ඔහේ සිතට නැගෙන සිතුවිලි ලියා දමනවා වෙනුවට කතුවරිය තමන් රචනා කරන විෂයයන් ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සාහ කර තිබේ. එහෙත්, ප්‍රබන්ධයක විශිෂ්ටත්වය මතුවන්නේ කතාව ගොඩනැගීමට කතාකරුවා දරන ලද ආයාසය පාඨකයාට නොපෙනෙන තරමට ය.
Translations by Creative Content Consultants
කෙසේ වෙතත්, හොලිවුඩ් පන්නයේ කතා රචනයන්හිදී සුලබ ලක්ෂණයක් වන සුළු විස්තර අමතක කර ප්‍රධාන කතාව සමග ඉදිරියට යාම නම් ලක්ෂණය මගහැරීමට කතුවරිය උත්සාහයක් දරයි. මෙය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම්, හොලිවුඩ් චිත්‍රපට කතාවල වීරයා ඇතැම් විට නන්නාඳුනන සතුරු භූමියක ඇඳිවත පමණක් සහිතව අතරමං විය හැකි ය. එහෙත්, සතුරන්ගෙන් බේරෙන ඔහු ඊළඟ මොහොතේ යුරෝපීය ඇඳුමින් සැරසී ගුවන් යානයකින් තම රටේ ගුවන් තොටුපලට ගොඩබසින අයුරු පෙන්වන්නට ඉඩ තිබේ. සියල්ල අහිමි වූ තැන සිට ගුවන් යානයෙන් සියරටට ගොඩබසින තැන දක්වා අභියෝග විවරණය කිරීම එම වර්ගයේ කතාවලට අදාළ නැත. මෙය මෑත කාලීන ඇතැම් සිංහල නවකතාවල ද දැකිය හැකි ලක්ෂණයකි. මකරානන්දය කතුවරිය ඒ අන්දමින් පාඨක බුද්ධියට නිගා කරන්නේ නැත. කතාවේ ගලායාමේ සෑම සියුම් විස්තරයක් ම මග නොහැර, තර්කානුකූල කතාවක් ගෙතීමට ඇය මහත් පරිශ්‍රමයක් දරයි. එහෙත්, ඇතැම් සිදුවීම් අභව්‍ය ය. උදාහරණයක් ලෙස, තඹර වෙහෙරට කොත සාදන්නට මුස්ලිම් මුදලාලි කෙනෙකු එන්නේ කතාවෙන් නොවේ. ජාතිවාදයට විරුද්ධව විරාජිනීගේ හිත හොඳකමෙනි. හිත හොඳකම හා කලාව පටලා ගන්නා අය පටලා ගත්තාට අපට පැටලෙන්නේ නැත.
කතාවට ඇතුළත් කර තිබෙන මකර චිත්‍රය, තඹර වෙහෙර, කුකුරුමාන් ගෙඩි, රාජාලියා වැනි සංකේතවල සුන්දරත්වය පසුපස මෙකී ආයාසය ද දක්නට ලැබේ. කතාව ප්‍රබන්ධයක් බව කීම සඳහා දරන උත්සාහය ද එබඳු ය. ඒ වෙනුවෙන් ලේඛකයකු බවට පත් වන සනීපාරක්ෂක කම්කරුවකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වාර්තා කාමරයක ඇති අභිරහස් ලිපිගොනුවක්, සාමූහික කතා ලිවීමක් මෙන් ම මෙම කතාව වෙනත් ලේඛිකාවකගේ නමින් පළ වන බව කියා සත්‍ය ලේඛිකාව ප්‍රබන්ධකරණය කිරීමක් ද දක්නට ලැබේ. බටහිර හා දේශීය ජනප්‍රිය සම්භාව්‍ය නවකතාවේ ලක්ෂණ රැසක් අනුකරණය කිරීමට ලේඛිකාවට අවශ්‍යව තිබේ. එහෙත්, ඇය එම ප්‍රයෝග දක්ෂ ලෙස උපයෝගී කරගන්නා බැවින් සියුම් සැතකින් කෘර ලෙස කපා කොටා බලන, විචාරකයන් නොවන අප වැනි කුහකයන්ට පමණක් ඒවා හසු වේ. එහෙත්, දන්නා සියලු වැඩ දැමූ පමණින් කෘතියක් මහා නිර්මාණයක් වන්නේ නැත.
මකරානන්දය ලාංකීය සමාජ සංවර්ධනයේ පැතිකඩක හරස් කැපුමක් නිරූපණය කරන කතාවක් ලෙස සැලකිය හැකි ය. අනවසර පදිංචිකරුවන් ලෙස වැවක් අසබඩ පදිංචි වී මිරිදිය ධීවරයන් ලෙස ජීවනෝපාය සරි කරගන්නා දුප්පතුන් පිරිසක් ජීවන අරගලය හා සමාජ සංවර්ධනය සමග ගැටෙමින් ජීවිත ගොඩනගාගන්නා ආකාරය සත්‍ය ඉතිහාසය ස්පර්ශ කරගෙන යන විවරණයක් සමග නවකතාවේ ඉදිරිපත් කෙරේ. අත්දැකීමෙහි යම් පොදුබවක් තිබේ.
මෙම කතාව අවසානයේදී එහි ප්‍රධාන චරිත සියල්ලම පාහේ භෞතික සංවර්ධනය අත්පත් කරගෙන කතාව අවසන් වන්නේ කිසියම් සුඛාන්තයක් ලෙස ය. එහෙත්, භෞතික සංවර්ධනය හා සතුට අතර ගැටුම හා අන්තර් සම්බන්ධය පිළිබඳ කිසිදා නොවිසඳෙන පැනය තවදුරටත් ඉතිරි කරමින් කතාව යම් ආකාරයක විවෘත අවසානයකින් කෙළවර වේ.
එහි චරිත නිරූපණය ද මනරම් ය. දිළිඳුකම, අසරණකම, බේබදුකම, සල්ලාලකම, ස්ත්‍රී පීඩනය, පන්ති හා පැළැන්ති භේදය, ජාතිවාදය, දූෂණය, දේශපාලනය, සංචාරක කර්මාන්තය, චිත්‍ර කලාව, බුදු දහම, සංඝ සංස්ථාව වැනි බොහෝ මාතෘකා පිළිබඳ පාඨක මනස අවදි කරවන්නට කෘතිය සමත් වේ. ඒ අතර කතුවරිය ද මැදිහත් වී ඇගේ දැක්ම එහි බහාලන මුත්, පාඨකයාට එය ගිල්ලවන්නට හදන බවක් දක්නට ලැබෙන්නේ නැත.
කතාවේ ‘මකර චෝර කතා වස්තුව’ නම් කොටස ලංකාවේ දේශපාලනය, ව්‍යාපාරකරණය, බලය, දූෂණය හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජනප්‍රිය විරෝධාකල්පික ප්‍රබන්ධයේ නැවත ලිවීමකැයි මට සිතේ. සමාජයේ රැඩිකල් බලවේග මෙවැනි අති සරල, පැතලි විවරණයන් වෙත ආශක්ත වන ආකාරය හා එය සත්‍ය සමාජ විවරණයක් ලෙස වැළඳගන්නා ආකාරය දක්නට ලැබේ. දේශපාලනය ගැන මෙම කුමන්ත්‍රණ කතා බොහෝ දුරට පදනම් වන්නේ ඉහළ පැළැන්තියේ මධු සාද සාමීචි හා ඕපාදූප මත ය. ඒවායින් නිර්මාණය කරගන්නා දේශපාලනය කුමන්ත්‍රණ කතාව විසින් ඇත්ත වශයෙන් ම සිදුකරන්නේ සමාජ ප්‍රගමනයට දායක වීමක් නොවේ. ඒ වෙනුවට කරන්නේ, සත්‍යය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට පාඨකයා යොමු නොකර සරල ප්‍රබන්ධයක් තුළ ඔවුන් සිර කිරීමයි. වින්දනය සඳහා ප්‍රබන්ධකරණයේදී මෙය ගැටලුවක් නැත. එහෙත්, එය සමාජය විප්ලවීය ලෙස වෙනස් කිරීමේ ලා දායක වන ප්‍රගතිශීලී සාහිත්‍යයක් ලෙස අලෙවිකරන්නේ නම් හා පාඨකයන් එසේ භාරගන්නේ නම් ඇත්තෙන් ම සිදුවන්නේ ජනතාව ගොනාට ඇන්දවීමකි. අවශ්‍ය, අනවශ්‍ය බොහෝ දේ කතාවට ඇතුළත් කරන්නට යාමෙන් මෙහි දේශපාලන හතර බීරි කතා රැසක් ද ඇතුළත් වී තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, මකරානන්දය නම් දීර්ඝ නවකතාව කියවීමට වැය කරනු ලබන කාලයත්, ඒ ගැන සටහනක් තබන්නට වැය කරන දත්තත් නරක ආයෝජනයක් නොවේ.