2019-12-21

ඉන්දියාව උණුසුම් කළ නව පුරවැසි නීතිය

අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ

පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී නැහැ.
Translations by Creative Content Consultants
මෙම පනතින් සිදු වී තිබෙන්නේ අසල්වැසි රටවල් තුනක මුස්ලිම් නොවන ජනතාවට පුරවැසිකම ලබාදෙන්නට මෙම පනතින් හැකි වීමයි. මෙය මුස්ලිම් විරෝධී හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයේ කොටසකැයි ඉන්දියාවේ මුස්ලිම් ජනයා කියනවා. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200ක්. ඒත්, බලයේ ඉන්නේ මුස්ලිම් විරෝධී, හින්දු ජාතිකවාදී ආණ්ඩුවක්. නරේන්ද්‍ර මෝදිගේ කැබිනට්ටුවේ ඉන්නේ එක් මුස්ලිම් ජාතිකයකු පමණයි.
මුස්ලිම් සමාජය තුළ මෙම පනත සම්බන්ධයෙන් භීතියක් පැතිර තිබෙනවා. එරටට අනවසරයෙන් රිංගාගෙන ඇතැයි සැලකෙන අන්තවාදී බලවේග මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව පුරවැසියන්ගේ සම්භවය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමග තත්වය මෙ භීතිය තවත් වර්ධනය වී තිබෙනවා. මෙම පරීක්ෂාව මගින් බලාපොරොත්තු වන්නේ, නීති විරෝධීව ඉන්දියාව තුළට රිංගාගෙන සිටින අනවසර සංක්‍රමණිකයන් 2024 වන විට රටින් පිටුවහල් කිරීමයි.
ජාතික පුරවැසි ලියාපදිංචිය නම් වන මෙම වැඩසටහන මේ වන විටත් නැගෙනහිරදිග ඇසෑමයේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, සිය සම්භවය හා පුරවැසිභාවය ඔප්පු කිරීමට අසමත් වූ 19 ලක්ෂයක් වැසියන් රටක් නැති මිනිසුන් බවට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දීය ග්‍රාමීය, දිළිඳු ජනයා අතරින් සැලකිය යුතු පිරිසකට රජය ලියාපදිංචිය සඳහා බලාපොරොත්තු වන ලේඛන හා වෙනත් සාක්ෂි සැපයීමේ හැකියාව නැහැ.
මේ අතර මෙම ජාතික පුරවැසි ලියාපදිංචිය නිසා රටක් නැති පුරවැසියන් බවට පත් වීමේ ඉඩ ඇති පිරිස අතර සැලකිය යුතු ජනගහනයක් භාරතීය ජනතා පක්ෂයට සහාය දෙන හින්දු බෙංගාලි ජාතිකයන්. ඒ නිසා දැන් ඒ ලියාපදිංචි ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීම අත්හිටුවා තිබෙනවා. බංග්ලාදේශයෙන් සිදුවන අනවසර සංක්‍රමණ ඇසෑමයේ දිගුකාලීන ප්‍රශ්නයක්.
මෝදි කියන්නේ මෙම නීතිය ඉන්දීය පුරවැසියන්ට බලපාන්නේ නැති බව හා විපක්ෂය මේ සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය කරන බවයි. අභියෝග හමුවේ තමන් මෙම නීතිය සම්බන්ධයෙන් පසු නොබසින බව අගමැති මෝදි හා ඔහුගේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ද පවසනවා. මෙම පනත මෑතදී භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් නැති උත්තර සභාවේත් සම්මත වුණා. පහළ මන්ත්‍රී මණ්ලයේ එය සම්මත වුණේ 2016දීයි.
මෙම පනත මගින් පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට පොදු සමාවක් පිරිනැමෙනවා. 64 වසරක් පැරණි ඉන්දීය පුරවැසි පනතට කරන ලද සංශෝධනයක් මගිනුයි එය කරන්නේ. මීට පෙර, නීති විරෝධී සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් සැලකුණේ අනවසරයෙන් පදිංචිව සිටින විදේශිකයන් ලෙසයි. නව සංශෝධනය අනුව, හින්දු, සික්, ජෛන, ක්‍රිස්තියානි, බෞද්ධ සහ පාසි යන ජනවර්ග හයට අයත් ආගමික සුළුතරයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන් මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හෝ බංග්ලාදේශය යන රටවලින් සංක්‍රමණය වූවන් බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. පුරවැසිභාවය ලබාගැනීම සඳහා සංක්‍රමණිකයන් වසර 11ක් ඉන්දියාවේ සිටිය යුතු බවට පැවති නීතිය වසර හය දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව, 2014ට පෙර පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.
මෙමගින් ආගමික පළිගැනීම්වලට ලක් වූ සරණාගතයන්ට සහන සැලසෙන බව ඉන්දීය රජය කියනවා. එහෙත්, විවේචකයන් කියන්නේ මෙමගින් මුස්ලිම්වරුන් කොන්කිරීමට භාරතීය ජනතා පක්ෂ රජය උත්සාහ කරමින් සිටින බවයි. ජාතික පුරවැසි ලියාපදිංචියත්, පුරවැසි පනතට ගෙන එන ලද සංශෝධනයත් එකිනෙක අතර සම්බන්ධයකින් යුක්තයි. එක පැත්තකින් රටට මැනැවින් හැඩගැසුණු සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාදෙන ගමන් අනවසරයෙන් රිංගාගෙන සිටින්නන් පිටුවහල් කිරීම මෙහි අරමුණ බව ඉන්දීය රජය පවසනවා. මේ ඔස්සේ ඉහත දක්වන ලද බෙංගාලි හින්දු ජාතිකයන්ට මෙම පනත මගින් පුරවැසිභාවය ලබාගැනීමට හැකියාව ලැබෙන්නට පුළුවන්. ඒත්, මුස්ලිම් ජනතාව ප්‍රශ්න කරන්නේ ද මෙම තෝරාගැනීමේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයයි. පුරවැසිභාවය ලබාදීමේදී ආගම පදනම බවට පත්කරගැනීම ඉන්දියාවේ දිගුකාලීන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය මූලධර්මවලට හා අනාගමික ව්‍යවස්ථා සංකල්පයට පටහැණියි. එසේම, එය වාර්ගික වෙනස්කම් කිරීමක් හා නීතිය ඉදිරියේ සමානත්වය අභියෝගයට ලක්කිරීමක්.
අසල්වැසි මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් සුළුතරයන් මෙම නීති සංශෝධනයෙහිදී නොතකා හැර තිබෙනවා. පාකිස්තානයේ සුළුතර මුස්ලිම් ප්‍රජාවක් වන අහමඩියා මුස්ලිම්වරුන් රැසක් ඉන්දියාවේ සරණාගතයන් ලෙස ජීවත් වෙනවා. පාකිස්තානයේ සුන්නි මුස්ලිම් බහුතරයේ පළිගැනීමට මෙම ප්‍රජාව ලක්වී තිබෙනවා. බුරුමයෙන් සංක්‍රමණය වී තිබෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ආපසු යැවීමට ඉන්දීය රජය උත්සාහ කරමින් සිටින්නේත් මේ අතරමයි.
මේ අතර, රට පුරා සියලු විරෝධයන් එක හා සමාන නැහැ. නිදසුනක් ලෙස පාකිස්තානයට, ඇෆ්ගනිස්තානයට සහ බංග්ලාදේශයට මායිම් වන ප්‍රාන්තවල ජනතාව විරෝධය දක්වන්නේ අලුතෙන් සංක්‍රමණය වීමට ඉඩ ඇති ජනයා හේතුවෙන් තමන්ට ඇති විය හැකි ගැටලුවලට විරුද්ධවයි. මේඅතර, ශිෂ්‍ය උද්ඝෝෂණ ද පැවැත්වෙනවා. ඒවාට පසුබිම් වන්නේ බොහෝ විට පොලිස් මර්දනය වැනි කාරණායි. ශිෂ්‍ය උද්ඝෝෂණ හා පොලිස් පහරදීම් නිසා පසුගිය සතියේ දිල්ලිය උණුසුම් වුණා. භාරතීය ජනතා පක්ෂයට වඩා ලිබරල් දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයත් මෙම සංශෝධනයට විරුද්ධයි. එය බල දේශපාලනික හේතුවක්.
තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ
මේ අතර, විස්මයට තුඩුදෙන හා තමිල්නාඩුවේ දෙමළ ජනයා අතර විරෝධයට තුඩු දෙන කාරණයක් වන්නේ ඉන්දියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික යුද සරණාගතයන්ට පුරවැසිභාවය ලබාගැනීමේ අවස්ථාවක් මෙම පනත හරහා හිමි නොවීමයි. එහෙත්, ජයලලිතාගේ දැක්ම අනුව කටයුතු කරන ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ මන්ත්‍රී පිරිස පුරවැසි සංශෝධන පනත සම්මත කරගැනීමට භාරතීය ජනතා පක්ෂයට සහාය දී තිබෙනවා. 60,000කට වැඩි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙනවා. ඔවුන් අතරින් 30,000ක් පමණ දෙනා වාර්ගික ප්‍රචණ්ඩත්වයන් නිසා රටින් පළා ගිය කඳුරට දෙමළ වැසියන්.