2019-11-04

මීගහතැන්නේ සුපිරි මිනිරන්

මීගහතැන්න ප්‍රදේශය අතීතයේ පටන් ම මිනිරන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ය. එම ප්‍රදේශය ජනාවාස වූයේ ද මිනිරන් කර්මාන්තය සමග බව ප්‍රදේශවාසියකු වන චන්දන ගුණසිංහ පවසයි. ඔහුගේ මුතුන් මිත්තන් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරල සිට පැමිණ ඇත්තේ මිනිරන් කර්මාන්තය වෙනුවෙනි.
Translations by Creative Content Consultants
දෙවන ලෝක යුද්ධය ආසන්න වකවානුවේදී වරකාපොළ පන්දෙණිය සහ මීගහතැන්න
අළුකැටිය මිනිරන් පතල් සඳහා බලපත්‍ර නිකුත් කර ඇත. 1960 දශකයේදී මෙහෙයුම් නතර වනතෙක් අළුකැටිය පතලෙන් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මිනිරන් ගොඩගෙන තිබේ. මිනිරන්වලට ඉල්ලුම අඩු වීම හා විශාල පතල්වලින් අවශ්‍ය ඉල්ලුම සැපයීම හේතුවෙන් මීගහතැන්න ප්‍රදේශයේ පතල් වැසී ගොස් තිබේ.
අළුකැටිය මිනිරන් පතල දැනට මීගහතැන්නේ ක්‍රියාත්මක වන විශාල ව්‍යාපෘතියකි. මෙම පතලේ වැඩකටයුතු දැන් එම්.ආර්.එල්. ග්‍රැෆයිට් නම් ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් නැවත ආරම්භ කර තිබේ. මෙම සමාගම විසින් ලබාගන්නා ලද මිනිරන්වල සමස්ත කාබන් ප්‍රතිශතය හෙවත් TGC (Total Graphitic Carbon) අගය 99.98%ක් බව පරීක්ෂණ මගින් සනාථ වී තිබේ.
අළුකැටිය පතල කළුතර දිස්ත්‍රිකයේ, මීගහතැන්න ප්‍රදේශයේ, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලකන්ද හා බොගඩකන්ද ග්‍රාමයන්ට අයත් ය.
මතුගම ආසන්නයේ අන්නාසිගලවත්තේ ද පැරණි මිනිරන් පතලක් තිබී ඇත. එය හෙන්රි පේද්‍රිස් පතල ලෙස ද හැඳින්වේ.
ශ්‍රී ලංකාව අමුද්‍රව්‍යයක් ලෙස මිනිරන් අපනයනය කිරීම වෙනුවට ඒවාට වටිනාකම් එකතුකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳ විදුසර පුවත්පතේ පළ වූ ලිපියක මෙසේ දැක්වේ.
බැටරි යෙදවුම්වල ප්‍රධාන අංගයක්‌ වන බැටරි ඉලෙක්‌ට්‍රෝඩ සදහා කාබන් යොදාගැනෙන අතර, ඒ සදහා මිනිරන් හෙවත් ග්‍රැෆයිට්‌ භාවිත කෙරේ. නූතන ලෝකයේ, ප්‍රධාන වශයෙන් ම කරළියට පැමිණ ඇති හරිත තාක්‌ෂණික ක්‍රමවේද, ලෝකයේ ග්‍රැෆයිට්‌ සදහා වන වෙළඳපොළ වටිනාකම ඉහළ යැමට මූලික ම හේතුවයි. ක්‍ෂාරීය (Alkaline) හා ලිතියම් ලෝහ අයන බැටරි, ඉන්ධන කෝෂ, සූර්ය බලශක්‌ති කෝෂ, අර්ධ සන්නායක හා න්‍යෂ්ටික බලශක්‌ති යෙදවුම් සදහා මිනිරන් නැති ව ම බැරි අමුද්‍රව්‍යයක්‌ වී හමාර ය.
ජංගම දුරකථන, ලැප්-ටොප් පරිගණක, ඩිජිටල් කැමරා වැනි විද්‍යුත් ආම්පන්නවල භාවිත වන ලිතියම් අයන බැටරි මේ ඉහළ යන මිනිරන් ඉල්ලුමට වැඩිපුර දායක නො වුණත්, විදුලි වාහන හා දෙමුහුන් වාහන භාවිතය හමුවේ තත්ත්වය වෙනස්‌ වී ඇත. මේවායේ බැටරිවල සාමාන්‍ය ලිතියම් අයන බැටරියක අඩංගු ලිතියම් ප්‍රමාණයට වඩා 10 – 20 ගුණයක්‌ පමණ මිනිරන් අඩංගු වන අතර, මේ හරිත බලශක්‌ති වාහනවල බැටරියේ විශාලත්වය වැඩි වන විට අවශ්‍ය කරන මිනිරන් ප්‍රමාණය ද ඉහළ යැම වැළැක්‌විය නොහැක්‌කකි. ඒ, මේ බැටරිවල ඇනෝඩීය ද්‍රව්‍යය ලෙස, සවිවර (Porous) කාබන් ද්‍රව්‍යයන් අවැසි වන බැවිනි. ඒ අනුව මෙකී කාබන් ද්‍රව්‍යයට වන ප්‍රධානතම ආදේශකය ලෙස, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන් (Vein Graphite) ලොව පුරා පිළිගැනීමට ලක්‌ ව ඇත. ඒ 95% – 98%ක්‌ තරම් අතිශය ඉහළ ප්‍රතිශත සංශුද්ධතාවක්‌, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන් සතු වන බැවිනි.
සාමාන්‍ය මිනිරන් මෙට්‍රික් ටොන් එකකට එක්‌සත් ජනපද ඩොලර් 648ක්‌ ලැබෙද්දී, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන්, මෙට්‍රික් ටොන් එකකට එක්‌සත් ජනපද ඩොලර් 932ක්‌ ලැබෙන්නේ එබැවිනි. ඒ මෙක්‌සිකානු ක්‍ෂුද්‍ර කණිකාමය මිනිරන්වල ඒකක මෙට්‍රික් ටොන් එකක මිල එක්‌සත් ජනපද ඩොලර් 49ක්‌ වන තත්ත්වයක්‌ යටතේ ය. කෙසේ වුව ද නැනෝ පරිමාණයට සකසන ලද මිනිරන් මගින්, මෙට්‍රික් ටොන් එකකට එක්‌සත් ජනපද ඩොලර් 1200ක්‌ හෝ අනිවාර්යයෙන් ම ඊටත් වැඩි මිලක්‌ උපයාගැනීමේ ශක්‍යතාවක්‌ පවතින නිසා ම, මෙකී ව්‍යාපෘතීන්වල වැදගත්කම ඉහළ යයි.
එලෙස ම මීට ආධාර වන තවත් දත්තයක්‌ නම්, 2011 – Mackie Research Group වාර්තාවට අනුව, වසර 2020දී විදුලි වාහනවලට පමණක්‌ අවශ්‍ය වන අතිරේක, සුපිරිසිදු මිනිරන් ප්‍රමාණය ටොන් 460,000ක්‌ පමණ වන බවයි. වසර 2010දී ශ්‍රී ලංකාවේ මිනිරන් නිෂ්පාදනය ටොන් 11,000ක්‌ පමණක්‌ වූයේ, ඒ වසරේ ගෝලීය මිනිරන් නිෂ්පාදනයෙන් 2%ක්‌ පමණක්‌ ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව සිය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අවශ්‍යතාවකට ද මුහුණ දෙයි.
මීගහතැන්නේ මිනිරන් ගැන සටහනක් තබන චන්දන ගුණසිංහ මෙසේ පවසයි: අතඇරල තියෙන මගෙ ඉඩමෙ පතල් වලින් වැඩක් ගන්න පුළුවන්ද කියල පොඩි විපරමක් මමත් කෙරුවා. භු විද්‍යා අංශයේ හිතවතෙක් GPS තාක්ෂණය මගින් ඉඩමෙ පිහිටීම එහෙම අරගෙන තොරතුරු හොයද්දි තමයි දැන ගත්තෙ මීට අවුරුදු හතරකට විතර ඉස්සර ඇමරිකන් සමාගමක් මගේ ඉඩමත් එක්ක වර්ග කිලෝමීටර විශාල ප්‍රමාණයක කැණීම් කටයුතුවල අයිතිය පවරගෙන කියල. අඩුමෙ තරමෙ මගෙ ඉඩමෙ සර්වේ එකක් කරන්නවත් මට අයිතියක් නැතිලු, ඒ සමාගමෙන් අවසරයක් නැතිව. මට අයිති මගෙ ඉඩමෙ කැණිමක් කරන්න පුළුවන්වතුර ගන්න විතරලු. මමත් ඉතින් අපේම නොවන අපේ මිනිරන් කියල හිත හදාගත්ත.
අළුකැටිය පතල පිහිටි ස්ථානයේ ඡායාරූපය: නාවලකන්ද ෆේස්බුක් පිටුවෙනි