2019-11-27

ගෝඨාභයවාදය හා ජාතිවාදය අතර ආදරය හා වෛරය

අජිත් පැරකුම් ජයසිංහ – 2019 නොවැම්බර් 24 අනිද්දා පුවත්පතේ පළ විය.

ජනාධිතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට බරපතල පරාජයක් බව පිළිගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ලද ජාතික ජන බලවේගය ද දැවැන්ත පරාජයකට ලක් විය. ඒ අතර ම, මෙම බලවේග දෙක ප්‍රජාතාන්ත්‍රික පදනමින් එක්සත්ව කටයුතු කළා නම් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ පරාජය වන්නට ඉඩ තිබුණු බව ද ප්‍රතිඵලයෙන් පෙනේ. එසේ වෙද්දීත්, දෙමළ හා මුස්ලිම් ජාතීන් පමණක් නොව, ක්‍රිස්තියානි ප්‍රජාව පවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු අත් නොහැර ඇති බව ද ඡන්ද ප්‍රතිඵලවලින් පෙනේ.
Translations by Creative Content Consultants
නැගී එන සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයේ අභියෝගය පළමුව සුළුතර ජාතීන්ට හා ආගම්වලට දැනීම ස්වභාවික ය. එහෙත්, එය පසුව කුල හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය දක්වා ම අවබෝධ වනු ඇත. එහෙත්, එකී අවබෝධය ලැබෙන්නේ සවිඥානකත්වය සහිත ප්‍රජාවන්ට පමණි. අධිපතිවාදයන් විසින් වහල්භාවය ද ගොඩනගන බැවින් සමාජයේ සැලකිය යුතු බලවේගයක් අධිපතිවාදී පීඩනය දරාගන්නන් බවට පත් වීම ද ස්වභාවික ය.
ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය විග්‍රහ කරගැනීම ඉතා වැදගත් ය. එහි ජනප්‍රිය ම අක්ෂය වූයේ අනෙකක් නොව, ඉතා  ම පටු හා ආන්තික ජාතිවාදය හා ආගම්වාදයයි. මූලික වශයෙන් ම මුස්ලිම් හා දෙමළ විරෝධයයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග මුස්ලිම් විරෝධය කූටප්‍රාප්තිය කරා ගෙන යා හැකි තත්වයක් නිර්මාණය විය. පවත්නා මජර ක්‍රමය කෙරෙහි ඇති විරෝධය ද ජාතිවාදයට වඩා අඩු පරිමාණයකින් මෙම ප්‍රතිඵලය තුළ සලකුණු වේ.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ පළමු වටයේ ක්‍රියාකාරිත්වයන් ඔස්සේ ම මෙම අක්ෂ දෙක කෙරෙහි ප්‍රතිචාරය දැකගත හැකි විය. ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ මැතිවරණ කාර්යාලයේදී තමන්, තමන්ට ඡන්දය නොදුන් ජනයාගේ ද ජනාධිපති බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිසෑයේ දුටුගැමුණු පිළිරුව අභියස පැවති සිය දිවුරුම් දීමේ උත්සවයේදී  ජාතිය අමතා පැවැත්වූ කතාවේදී දෙමළ ජනයා සම්බන්ධයෙන් නිශේධාත්මක ස්වරයක් පළ කළේ ය. පළමු කතාවත්, දෙවන කතාවත් අතර කාලයේදී උපායමාර්ග සම්බන්ධ ගැඹුරු සාකච්ඡා සිදුවන්නට ඇත. ජනාධිපතිවරයා දිව්රුම දීම හා අනෙකුත් උත්සවවලදී අඳින ඇඳුම කුරහන් සාටක පෙරවූ ජාතික ඇඳුමත් නොවී, පූර්ණ යුරෝපීය ඇඳුමත් නොවීම පවා මෙම සාකච්ඡා සමග සම්බන්ධ ය. ඇඳුම් අඳින ආකාරය ගැන අධි සංවේදී හමුදා නිලධාරියකුව සිටි බටහිර ආරේ පුද්ගලයකු වූ ඔහු ජනාධිපති ධුරයේ ඇඳුම් අඳින ආකාරය සම්බන්ධයෙන් පෙරළිකාර පියවරක් ගැනීම ඉතා වැදගත් දේශපාලන අර්ථ සහිත පියවරකි.
දෙවෙනි අක්ෂය වන, පවත්නා මජර ක්‍රමය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය ජනාධිපති කාර්ය මණ්ඩලය අඩු කිරීම, රාජ්‍ය කාර්යාලවල නායකයන්ගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පෙන්නුම් කෙරිණි. ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් හෝ පත් වූ සැණින් තම නිහතමානිත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි ක්‍රියා සිදුකරනු දක්නට ලැබේ. ප්‍රශ්නය වන්නේ ඒවා ස්ථාවර කරගැනීමට නායකයන් අසමත් වීමයි. ඉතා සරල උත්සවයක් පවත්වා දිවුරුම් දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙදර ගියේ කොළඹ හතේ පැජට් පාරෙන් නිල නිවසක් තමාගේත්, බිරිඳගේත් ප්‍රාණ බුක්තියට ලියාගෙන ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනාගතය පිළිබඳ අනාවැකි කීමට තවමත් ඉක්මණ් වැඩි ය. එහෙත්, කැපීපෙනෙන යම් ලක්ෂණ තිබේ. ඔහු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කරනු ලැබුවේ, පාසල් සිසුන් සම්බන්ධ නඩුහබවලට පවා පැටලී සිටින, කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් සමයේ ජයග්‍රහණ හේතුවෙන් කීර්තියට පත්, චණ්ඩ මානසිකත්වයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ හමුදා නිලධාරියකු වන කමල් ගුනරත්න ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි ඉතා වැදගත් පරිපාලන තනතුරකට කමල් ගුනරත්න පත්කිරීම සංඥාර්ථ රැසකින් යුක්ත ය. එවැනි දැඩි සිංහල ජාතිකවාදියකු එම ධුරයට පත්කිරීම ඉතා පැහැදිලිව ම දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළුතර ප්‍රජාවන්ට දැඩි සංඥාවකි. අනෙක් පැත්තෙන්, පසුගිය සමයේ කඩාකප්පල්කාරී මහා වැඩවර්ජන රැල්ලක් දියත් කළ වෘත්තීය සමිති ව්‍යාපාරයට ද, සතිපතා වීදි සටන් නිර්මාණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ද එමගින් දැඩි සංඥාවක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් කැපීපෙනෙන අනෙකුත් ලක්ෂණය වන්නේ මහ මැතිවරණය පැවැත්වීම දක්වා හෝ දැනට තිබෙන වාර්ගික ආතතිමය තත්වය පවත්වාගෙන යන්නට තිබෙන නැඹුරුවයි. එය සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයටත් වඩා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ උවමනාව මත විය හැකි ය. දෙමළ-මුස්ලිම් ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අන්දමින් ම, මහ මැතිවරණය ද සිංහල-බෞද්ධ පදනමින් ජයගැනීමේ උවමනාවක් ඔවුන්ගේ බලවේගය වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබේ. සමානුපාතික නියෝජනය තුළ වැඩි බලයක් ලබාගැනීම සඳහා ආසන බෙදී යාම තමන් වෙත වාසිදායක වන අන්දමින් සිදුකරගැනීමට ඔවුන්ට අවශ්‍ය ය. ඒ සඳහා තවදුරටත් ජාතිවාදය හා ආගම්වාදය ම භාවිතා කිරීමට ඔවුන් පෙළඹිය හැකි ය. අනෙක් පැත්තෙන්, ඔවුන් බලයට ගෙන ඒමට ක්‍රියා කළ බලවේගයේ උවමනාවන් විසින් ඔවුන් තල්ලු කරගෙන යාම ද සිදු වනු ඇත. විශේෂයෙන් ම, භික්ෂූන් විසින් නිහඬ කාලයේදී පවා පන්සල්වල මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන මට්ටම දක්වා ම ආන්තික බලවේගවල මැදිහත්වීම මෙම ජනාධිපතිවරණයට සිදු විය. අන්තවාදය සමග වෙළෙන තරම් පහසුවෙන් එයින් ගැලවිය නොහැකි ය. හොඳම උදාහරණය හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට වූ දේ ය. ජාතිවාදය බලයට වාහනය කරගත් කළු සුද්දකු වූ බණ්ඩාරනායකට අවසානයේදී සිදු වූයේ භික්ෂු කුමන්ත්‍රණයක ගොදුරක් වී අවසන් ගමන් යන්නට ය. බණ්ඩාරනායක යුගය වන විට භික්ෂු සංස්ථාව පිරිහී තිබුණු මට්ටමටත් වඩා අන්ත පිරිහීමක් වර්තමානය වන විට දක්නට ලැබේ. අද වන විට ආගම එදාට වඩා බෙහෙවින් පාරිභෝජනවාදී හා වානිජකරණය වී තිබේ.
පුරවැසි අර්ථයකට වඩා දේශපාලන අර්ථයකින් ඇමරිකානුවකු වූ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය බලය වෙනුවෙන් සිංහල බෞද්ධ අන්තවාදය සමග මුසු වූයේ බණ්ඩාරනායකටත් වඩා සීමාන්තික ලෙස ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ උභතෝකොටිකය නිර්මාණය වන්නේ එතැනිනි. ඔහු සමග සම්බන්ධ තවත් කණ්ඩායමක් විසින් ඉදිරියට ගෙන එන ලද, කුසලතාවාදී, වෘත්තීයවේදී, නවීකාරකවාදී, ආකර්ශනීය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආර්ථික සාමය හා ජාතිවාදය අතර තුලනය කෙසේ නිර්මාණය කරගන්නේ ද යන්න පැහැදිලි නැත. ජාතිවාදය මත යැපීම ඡන්දයෙන් ඡන්දයට දිගුවන්නේ නම්, ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ද, ඉන් පසු පළාත් සභා මැතිවරණ ද, ඊටත් පසු පළාත් පාලන මැතිවරණ ද පැවැත්වෙන නිසා ගැලවීමක් නැත.
ජාතිවාදය කරපින්නාගෙන, දෙමළ-මුස්ලිම් ජාතීන් යටපත් කරගෙන යන ගමනට තිරිංග යෙදෙන ඉතා වැදගත් සාධක කීපයක් තිබේ. ඉන් අතිශය ප්‍රධාන වන්නේ ආර්ථිකයයි. මහින්ද රාජපක්ෂ රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ගන්නා ලද දැවැන්ත ණය රැසක් ඉදිරි වසර කීපය තුළදී ආපසු ගෙවිය යුතුව තිබේ. ණය ගෙවීම සඳහා ණය ගැනීමේ හැකියාව පවත්වාගැනීම රජයේ ප්‍රධාන වගකීමකි. ලංකාවේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යා හැක්කේ පරිස්සමෙන් ගනු ලබන ණය හා අධාර ඔස්සේ ය. එහිදී පසුගියදා මතභේදයට තුඩු දුන් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය, රාජ්‍යයන් අතර මුල්‍ය හුවමාරු ආදිය ඉතා වැදගත් වේ. එසේම, ජීඑස්පී ප්ලස් බදු සහනය වැනි කාරණා ද අතිශය වැදගත් ය. මේවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සමග ඍජුව සම්බන්ධ ය. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවේ වාර්තාව විෂයෙහි ලා රජය සුළුතර ප්‍රජාවන් සමග කටයුතු කරන ආකාරය වැදගත් ය. මහින්ද රාජපක්ෂ රජය කළා සේ ඒ සියල්ල අතහැර චීනය වෙත යොමු වේ නම්, ඉන්දියාව හා බටහිර රටවල් නැවතත් පැරණි ප්‍රතිචාරය ම දක්වන්නට ඉඩ තිබේ. මේ සියල්ල ම අතරතුර ශ්‍රී ලංකාවේ ජනාධිපති වී සිටින්නේ ඇමරිකානුවකු වීම ද නවතම තත්වයකි. ගෝඨාභය ඇමරිකානුවකු ය යන යෙදුමෙන් ඔහු තවදුරටත් එරට පුරවැසියකු ය යන අදහස ප්‍රකාශ වන්නේ නැත. එහි ඇත්තේ ඔහුගේ දැක්ම, සංස්කෘතිය, දේශපාලනය හා බලය ගොඩනගාගැනීම සම්බන්ධ සංඥාර්ථයන් ය.