2019-10-31

සිය දිවි නසාගැනීම්වලට හේතු කියන අධි සංවේදී පුවත්පත් කලාවට නිදසුනක්

ඊශා කප්පරගේ

සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි

මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි.
Translations by Creative Content Consultants
මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසා බව දිනසේන රතුගමගේ දැනගත්තේ කෙසේ ද?
මෙම වාර්තාවේ මෙසේ දැක්වෙනවා: “එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය යාමත් සමගම ඇය එම ශෝකයෙන් හා ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා දරුවන් සමග ළිඳට පැන තිබේ.”
සැමියා මිය යාමෙන් පසු ඇය හා දරුවන් ජීවත් වී තිබෙන්නේ දින 10ක් පමණයි. ජීවත් වීමට ආදායම් මාර්ගයක් වෙනුවෙන් විකල්පයක් සොයා අසාර්ථක වෙන්නට තරම්වත් කලක් ඇය ජීවත් වී නැහැ. එසේ නම්, මෙම මාධ්‍යකරුවා සියදිවි නසාගැනීමට හේතුව දැනගත්තේ කෙසේ ද?
සැමියාගේ මරණය වැනි ක්ෂතිමය අත්දැකීමකින් පසු යමෙකු විෂාධය තත්වයට පත්වෙන්නට පුළුවන්. සමාජයේ බොහෝ අය මෙම තත්වය තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා එවැනි අය නිසි මනෝ සමාජ උපකාර සඳහා, උපදේශනය සඳහා හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ යොමුකරන්නේ නැහැ. එහෙම යොමු කර අවශ්‍ය උපදේශනය සහ ප්‍රතිකාර ලබාදුන්නා නම් මෙවැනි කණගාටුදායක තත්වයන් වළක්වාගන්නට පුළුවන්. මෙම කාන්තාව ජීවත් වූ වවුනියාව ප්‍රදේශයේ කාන්තාවන් සම්බන්ධයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් ක්‍රියාත්මක වෙනවා.
මාධ්‍යකරුවන් මෙවැනි තත්වයන් පිළිබඳ මීට වඩා දැනුවත් විය යුතුයි. නොදන්නා දේ ගැන නිගමන දෙන්නට නොගොස් වාර්තාකරණය පමණක් සිදු කළ යුතුයි. අධි සංවේදී ලෙස පුවත් වාර්තාකරණයට උත්සාහ නොකර සමාජය දැනුවත් වන පරිදි වාර්තා කළ යුතුයි.
(ඡායාරූපය www.groundviews.org වෙබ් අඩවියෙනි)

සෞඛ්‍ය ප්‍රතිපත්ති: රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ජාතික සෞඛ්‍ය රක්ෂණය

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය)

සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි.
Translations by Creative Content Consultants
ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගත්තත්, ගෝඨාභය රාජපක්ෂ ජයගත්තත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළ හැකි තත්වයක්.
මොකක්ද මේ ජාතික සෞඛ්‍ය රක්ෂණය? ලංකාවේ අපට මෙය කුමක් ද යන්න තේරුම් ගන්නට අමාරුයි. ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු අපට එය පැහැදිලි කරදුන්නේ මෙසේයි:
ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩ කරන ජනතාව ලබා ගන්නා වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණ වාරිකය ලෙස කපා ගන්නා අතර ඒ හා සමාන කොටසක් රැකියාව කරන ආයතනය මගින් ද වෙන්මේ කර, මුළු මුදලම රක්ෂණ සමාගමට ගෙවනු ලබනවා. එම පුද්ගලයාගේ සෞඛ්‍ය වියදම් ආවරණය වන්නේ මෙම සෞඛ්‍ය රක්ෂණයෙන්. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත ගියවිට ශ්‍රී ලංකාවේ මෙන් අත්තනෝමතික මිළ ගණන් අයකරන්නට බැහැ. රක්ෂණ සමාගම් විසින් ඒ ඒ ප්‍රතිකාර සඳහා නියමිත ගෙවීම් සම්මත කර තිබෙනවා. ෆාමසිවලින් මිළ දී ගන්නා ඖෂධ සඳහා ද සම්මත මිළ ගණන් තිබෙනවා. ඒ අනුවයි රක්ෂණ සමාගම් ගෙවීම් කරන්නේ. වැඩි මිළක් අය කරන්නට සිදුවෙනවා නම් වෛද්‍යවරයාට හෝ රෝහලට රක්ෂණ සමාගමෙන් අනුමැතිය ලබා ගන්නට සිදු වෙනවා.
මේ පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක අදහස් දක්වන්නේ මෙසේයි: “අද වනවිට පොදු සෞඛ්‍ය සේවාවේ ඇත්තේ විශාල කඩාවැටීමකි. නිදහස් සෞඛ්‍ය සේවය යැයි කීව ද එහි නිදහස්භාවයේ සීමාව එන්න එන්නම පටුවෙමින් තිබේ. කොහේ හෝ වැටී සිටීමට තැනක් ඇත යන අර්ථයෙන් සෞඛ්‍ය සේවය පවතිද්දී ඇති හැකි මිනිසුන් සෑමවිටම සිය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යොමුවන්නේ පෞද්ගලික රෝහල් වෙතටය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු මීට කදිම යෝජනාවක් වසර කීපයකට පෙර කළේය. ඒ සෑම පවුලකටම නිතර මුණගැසිය හැකි වෛද්‍යවරයකු බිහිකිරීමය. මෙය දියුණු ලෝකයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකි. දියුණු රාජ්‍ය විසින් සහතික කරනු ලැබූ තත්ත්වයකි. පුරවැසියන්ට පා ගමනින් යා හැකි දුරකින් වෛද්‍යවරයකු හෝ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම එහිදී සිදුවේ. මේවා ලෝකයේ යථාර්ථයක් කළ වැඩපිළිවෙළය.
“මෙම වැඩපිළිවෙළ යටතේ පුරවැසියකු විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ සාමාන්‍ය වෛද්‍යවරයාගේ මඟපෙන්වීම හා අනුදැනුම මතය. විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ ආදිය ද වෛද්‍ය මධ්‍යස්ථානයේ පුරවැසියාට අදාළ ගොනුවේ තැන්පත් කර ඇත. එයින් කියැවෙන්නේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්ව හා රෝග ඉතිහාසය ගැන කියැවෙන වාර්තාවක් ඔවුන් අසලම ඇති බවය. මෙය ඉතාම පහසුවෙන් දියත් කළ හැකි ව්‍යාපෘතියකි. ඊට රුපියල් කෝටි ගණන් වැය වෙන්නේ ද නැත. ඒ සඳහා පුහුණු කළ වෛද්‍යවරු මේ රටේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට දිය යුත්තේ මූලික යටිතල පහසුකම් පමණි. අපට මෙය ග්‍රාමසේවක කොට්ඨාස පදනමින් වුව ආරම්භ කළ හැකිය. උදාහරණයකට ග්‍රාමසේවක කොට්ඨාසයේ පවුල් පන්සීයක් වේ නම් ඔවුන් වෙනුවෙන් වෙනම වෛද්‍යවරයෙක් සිටී. ඔහුට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය. මේ ආකාරයට රට පුරා ව්‍යාප්ත වූ බිම් මට්ටමේ සෞඛ්‍ය සේවයක් ආරම්භ කරන්නේ කෙසේදැයි අප සාකච්ඡාවට ලක් කළ යුතුය. ඊට සෑම පුරවැසියකුටම ජාතික සෞඛ්‍ය රක්ෂණයක් දෙන ක්‍රමයක් සෑදිය හැකිය. දැන් පවතින ක්‍රමය යටතේ මනුෂ්‍යයෙකු රෝගී වූ විට අන්ත අසරණය. ඔවුන් සිටින්නේ අන්තිමේදී ගොස් ඉස්පිරිතාලයට මිය යන අදහසකිනි. එසේම සෞඛ්‍ය වෛද්‍ය සේවා සියල්ල ඒකාබද්ධ කිරීම ද අත්‍යවශ්‍යය. සැබැවින්ම තර්කානුකූල පදනමකින් කෙරෙන සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයකින් අපට මේ පොදු පෞද්ගලික භේදය පවා වෙනස් කළ හැකිය.” (මූලාශ්‍රය: 2019 පෙබරවාරි 13 ලංකාදීප පුවත්පත)
කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාව වැනි බටහිර රටවල ව්‍යාප්ත වී ඇති සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයෙන් (social health insurance) සැමදෙනාටම එක් ක‍්‍රමයක් යටතේ එක් මට්ටමක ආවරණයක් ලබාදෙන බැවින් සෞඛ්‍ය සේවා පාරිභෝගිකයන්හට සැලකියයුතු බාහිර වියදම් නොමැතිව වඩාත් පරිපූර්ණ සහ සාධාරණ සේවා ආවරණයක් ලබා ගත හැකි බවත්, ග‍්‍රී ලංකාවේ පවත්නා නිදහස් සෞඛ්‍ය පද්ධතියට විකල්පයක් වශයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් යෝජනා කරන්නේ බටහිර රටවල්වල පවතින මේ සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය බවත්, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රජා හා පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්‍ය රම්‍යකුමාර් විසින් සම්පාදනය කරන ලද ලිපියක, දිවයින පුවත්පතේ පළ වූ පරිවර්තනයක දැක්වේ.
ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි මෙසේ දැක්වේ: “80 දශකය පමණ වනතෙක් මුළුමනින්ම රජයේ වගකීම මත ක‍්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවාවෙන් රජය ක‍්‍රමයෙන් ඉවත් වී හෝ ප‍්‍රමාණවත් පරිදි මැදිහත් නොවී එම සේවාව වෙළඳපොලට භාරදෙමින් සිටියි. සෞඛ්‍ය ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවත් සැලස්මක් නොමැති වීම නිසාත් ඒවා විසඳීම සඳහා වන රාජ්‍ය මැදිහත්වීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන නිසාත් පැනනැගී ඇති අර්බුදය විවිධ අංශ විසින් සිය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කර ගනිමින් සිටී අවම අවදානමක් සහිතව පහසුවෙන් අධික ලාභ ලැබිය ක්ෂෙත‍්‍රයක් ලෙස සෞඛ්‍යය ආයෝජකයින් විසින් හඳුනා ගෙන ඇත. බදු ගෙවීම්වලින් පසු තම පසුම්බියෙන් සෞඛ්‍ය සේවාව සඳහා වැය කිරීම (out of the pocket expenses) 50% ඉක්මවා ඇත.”
අප රට තුළ සෞඛ්‍ය සේවාව සඳහාදළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව වෙන්වන ප‍්‍රමාණය සාමාන්‍යයක් ලෙස 3% පමණ වුවද ඒ සඳහා රජයේ දායකත්වය දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු වෙමින් පවතින බව ද, 2007 දී එය 1.68% ක් වූ අතර 2017 දී එය 1.48% ක් වූ බව ද පෙන්වා දෙන ජාතික ජන බලවේගය විසඳුමක් ලෙස යෝජනා කරන්නේ “සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුළ එය 3% දක්වා වැඩි කිරීම” ය. ඒ වෙනුවෙන් උද්දේශනය ඉතා හොඳ දෙයක් වන අතර ම ජාතික සෞඛ්‍ය රක්ෂණයක හොඳ නරක පිළිබඳව ද සංවාදයක් ඇති විය යුතු ය.
හේතුව වන්නේ පවත්නා තත්වය විසින් පහසුවෙන් විසඳිය නොහැකි ගැටලු රැසක් නිර්මාණය කර තිබීමයි. වෛද්‍ය රම්‍යකුමාර් පෙන්වා දෙන පරිදි, “කොළඹ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනය විසින් පළ කර ඇති දත්ත අනුව 2015 දී ග‍්‍රී ලංකාවේ සෞඛ්‍ය වියදම්වලින් 54% ක් පෞද්ගලික මූලාශ‍්‍රවලින් පැමිණ ඇති අතර, එයින් 85% ක්ම රෝගී පාර්ශ්වය විසින් තම පසුම්බියෙන් ගෙවා තිබේ. ඉතිරි 15% අතරින්, සේවායෝජකයන් විසින් 5-8% ක් පමණ දායක වූ අතර රාජ්‍ය නොවන ආයතන විසින් 2-3% අතර ප‍්‍රමාණයක් ආවරණය වී ඇත. ඉතිරි 5% ක ප‍්‍රමාණය සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වී ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවනු ලබන කොටස සැලකිය යුතු ලෙස පෙනෙන්නට නොතිබුණද පෞද්ගලික මූල්‍ය සම්පාදනය සඳහා සෞඛ්‍ය රක්ෂණ දායකත්වය 1990 සිට 2015 කාල පරාසය තුළ 1% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම 2015 ඇස්තමේන්තුව තවදුරටත් ඉහළ යමින් පවතී.” (මූලාශ්‍රය: 2019 ජනවාරි 13 දිවයින පුවත්පත)
පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් මහජනයා අතර රෝග සම්බන්ධ බිය පතුරුවාහරිමින් සෞඛ්‍ය රක්ෂණය ඔස්සේ අධික ලෙස ලාභ ලබන, මනා නියාමනයකින් තොර, කූට අන්දමින් කටයුතු කරන වෙළඳපොළක් නිර්මාණය කර තිබේ. මෙම සෞඛ්‍ය ආවරණයන් බොහෝ විට වයස්ගත පුද්ගලයන්ට හිමි වන්නේ නැත. එසේම, එමගින් ආවරණය කරනු ලබන රෝග හා ප්‍රතිකාර සඳහා දැඩි සීමාවන් තිබේ. වෙළඳ ප්‍රචාරණයේදී එම කරුණු වසන් කරනු ලැබේ. වෙළඳපොළෙහි තිබෙන සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත්ත ද, සෞඛ්‍ය වියදම් සම්බන්ධ අවදානමට එයින් විසඳුමක් ලැබෙන්නේ නැත.
රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ක්‍රමය හා පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය වැනි රක්ෂණ ක්‍රම සහනදායී වේ. එහෙත්, පාසල් සිසුවකු පළමු වර උසස් පෙළ විභාගය ලියූ සැණින් එම සිසුවාගේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය අවසන් වේ. අග්‍රහාර රක්ෂණයෙන් ආවරණය කරනු ලබන්නේ සමස්ත ජනගහනයෙන් සුළු ප්‍රතිශතයකි.
ජාතික සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වා දීමේදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ රක්ෂණය සඳහා අවශ්‍ය ගෙවීම් කරගත නොහැකි දිළිඳු ජනකොටස්වල ආවරණයයි. ජාතික සෞඛ්‍ය රක්ෂණයකින් කිසිවකු අත නොහැරීම රජයේ වගකීමකි. ඉන්දීය රජය කෝටි 50ක් ජනතාව ආවරණය කරමින් 2018 වසරේ දියත් කළ ආයුෂ්මන් භාරත් රක්ෂණ ක්‍රමයේ අත්දැකීම් මෙහිදී යොදාගත හැකියි. එය ලොව ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ලෙස සැලකේ.
මේ අතර, නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැතිව ජාතික සෞඛ්‍ය රක්ෂණයක් පවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාව පෙන්වා දෙමින් වෛද්‍ය රම්‍යකුමාර් ඉහත සඳහන් කරන ලද ලිපියේ පහත දැක්වෙන කරුණ පෙන්වා දෙයි.
“2017 වසරේදී රජය විසින් හඳුන්වාදුන් “සුරක්‍ෂා” වැඩසටහන මගින් අවුරුදු 5 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සිසුන් හට රෝහල්ගත කිරීම සඳහා රුපියල් 200,000 ක්ද (රු. 100,000 ක උපරිමයකට යටත්ව, රජයේ රෝහලකට ඇතුළත් කිරීමකදී දිනකට රු. 1000 ක්ද, රජයේ රෝහල මගින් නොලැබෙන ඖෂධ / පරීක්ෂණ සඳහා රු. 10,000 ක්ද ඇතුළත්ව), විශේෂ නිදන්ගත රෝග හා සම්බන්ධ බාහිර රෝගී සේවා සඳහා රු. 10,000 ක් ද සමහර අනතුරු/ආබාධිත තත්ත්වයන් සඳහා සීමිත ප‍්‍රතිලාභ ගොනුවක් ද 2018 ඔක්තෝබර් මාසය දක්වා මෙම සිසුන්ගේ දෙමාපියන් වෙත සපයන ලදී. මෙහිදී, රජය විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත රක්ෂණ වාරික ගෙවූ අතර ග‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාසල් ළමුන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා ආවරණය සිසුන් හට ලබා දුනි.
“සුරක්‍ෂා වැනි යෝජනා ක‍්‍රම, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොමැති තැන නිෂ්පල වේ. උදාහරණයක් ලෙස යාපනයේ මා හඳුනන නිවසක සේවයේ යෙදෙන ස්ත‍්‍රියකගෙ දියණිය වන තෙනුජාගේ කතාව ගෙන බලමු. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වූ ශිෂ්‍යාවක් වන තෙනුජා මසකට වැඩි කාලයක් පුරා අඛණ්ඩ උණෙන් පෙළීම නිසා යාපනය ශික්ෂණ රෝහලට කීප වතාවක් ඇතුළත් වූ අතර, විශේෂඥයන් විසින් තරයේ පරීක්ෂා කර අවසානයේදී නිදන්ගත බෝවන රෝගයක් ඇතිබව හඳුනාගනු ලැබීය. තෙනුජාගේ මව හට තම දුව රෝහලේ රැඳී සිටියදී රෝහලෙන් ලබාගත නොහැකි පරීක්ෂණයකට සහ ඖෂධ සඳහා රු. 2600 ක් ගෙවීමට සිදුවිය. ඇය ඉන් අනතුරුව මෙම වියදම් පියවා ගැනීමට සහ නේවාසික ප‍්‍රවේශ සඳහා දිනකට රු. 1000 ක දීමනාව ලබා ගැනීමට අයැදුම් කරන ලදී. මෙම අවස්ථාවේදී සුරක්‍ෂා ක‍්‍රමය තෙනුජාගේ මවට සහනයක් වුවද, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොතිබුනේනම් ඇය බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.”

සජිත්, ද පෑඩ්මෑන් සහ ඔසප් ස්වස්ථතාව

අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය

නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදී සිදුවන සර්ප දෂ්ටන, සීතලට ගොදුරුවීම වැනි කරුණු නිසා කාන්තාවන් මියයාම නිසා මේ වනවිට මෙම චාරිත්‍ර‍ය නීතියෙන් තහනම් කර තිබේ. එහෙත්, තවමත් එය එහි සිදුවේ. අල් ජසීරා රූපවාහිනිය ඒ පිළිබඳ වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කළේය.
Translations by Creative Content Consultants
ශ්‍රී ලංකාවේ මෙවැනි අමානුෂික චාරිත්‍ර‍ දක්නට නොමැති වුණත්, වැඩි විය පැමිණීම, ඔසප් වීම, දරුවන් ලැබීම වැනි කාන්තාවන් සම්බන්ධ ජීව විද්‍යාත්මක කරුණු කිලි ලෙස සලකන අයුරු සිංහල සංස්කෘතියෙහි දක්නට ලැබේ. පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වන මඩුවන්වෙල වලව්වේ ‘මැණිකේලාගෙ කිලි කාමරයක්’ ඇති බව ක්‍රියාකාරී සමාජ මාධ්‍යකරුවකු වන ඉන්දික කොඩිතුවක්කු වරක් සටහන් කර තිබිණි. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවල ද එවැනි ලක්ෂණ තිබේ.
කිලි සංකල්පය පිළිබඳව 2011 ජනවාරි 16 දින දිවයින පුවත්පතට ලිපියක් ලියමින් කැලණිය සරසවියේ ඉෂානි සෞම්‍යා ලියනආරච්චි පැවසූ කරුණක් වන්නේ කිල්ල පුද්ගල දියුණුව, නිරෝගී සම්පත්තිය වනසන දෙයක්‌ ලෙස සලකන ලද බවයි.
සිංහල ගැමියා ජනතාව අතර පිළිගැනෙන පරිදි, කිලි වර්ග පහක් ඇති බව ඇය පෙන්වා දෙයි.
1. වැදුම් කිල්ල (දරු උපත්)
2. කොටහළු කිල්ල (ප්‍රථම ඔසප් වීම)
3. ඔසප් කිල්ල (මාසික ඔසප් වීම)
4. විවාහ කිල්ල (කන්‍යාභාවය බිඳීමේ කිල්ල)
5. මරණ කිල්ල
මෙයින් හතරක් කෙලින්ම කාන්තාවන් සමඟ මෙන්ම රුධිරය සමඟ ද සම්බන්ධය.
කිල්ලට බඳුන් වූ පුද්ගලයාගේ ස්‌ථානයට ඇතුළුවීම, එම පුද්ගලයා ස්‌පර්ශ කිරීම වැනි කටයුතු නිසා කිල්ලට බඳුන් වන බව පොදු විශ්වාසය වන බව ඇය පවසයි.
කොටහළු කිල්ල ලෙස සැලකෙන්නේ ගැහැනු ළමයකුට මුල් වරට ඔසප් වීමයි. ඒ හා ආශ්‍රිත චාරිත්‍ර‍ පිළිබඳව ඉෂානි සෞම්‍යා ලියනආරච්චි වැඩිදුරටත් මෙසේ සටහන් කරයි.
“මේ කිල්ල පවතින අවස්‌ථාවේදී එම දැරිය කෙරෙහි යක්‍ෂ, පිසාචාදීන්ගේ බැල්ම පවතින බව ගැමි මතයයි. එබැවින් එම කිල්ල ඇයට මෙන්ම අන් මිනිසුන්ට ද බලපානු ලබයි. එම හේතුව නිසාම ඈව අන් අයගෙන් වෙන්කර තබනු ලබයි. ඒ සඳහා ඈට කොළ මඩුවක්‌ තනන අතර, තම පියා ඇතුළු කිසිදු පිරිමියෙක්‌ දක්‌නට නොදීමත්, ශබ්ද නගා කතා කිරීම, සිනාසීම වැනි කාර්යයන් නොකළ යුතු වේ. වැඩිහිටියන් විසින් අනුමත කරන ආහාරපාන ගෙන, ශරීර කෘත්‍ය සඳහා පමණක්‌ ඇගේ හිස සිට සුදු රෙද්දකින් වසා ගිරයක්‌ අතටදී ඒ සඳහා වැඩිහිටි කතක්‌ ද සමඟ යා යුතු වේ.
“ඈට තැම්බුම් හොඳි, බත්, එළවළු ආදිය හැරුනු විට මස්‌, මාළු, බිත්තර, බැදුම් වර්ග, කිරි, තෙලෙන් පිසූ ආහාර, අනුභවයට නොදෙයි. තෙල් ආහාර, පුළුටු ආහාර නිවසේ සෑදීම පවා තහනම් කරන්නේ එවන් ආහාර උදෙසා යක්‍ෂ පිසාචාදීන්ගේ ඇල්ම බැල්ම රැඳෙන නිසාය. එවන් ආහාර අනුභවයට නොදෙන්නේ මාසික ඔසප් වීමේදී ඇති වන බඩේ අමාරු අසනීප ආදිය වළක්‌වා ගැනීම සඳහාය.
“පසුව දින හතක්‌ ගත වූ විට ඈව කිල්ලෙන් මුදාගැනීම සඳහා පවිත්‍ර කරනු ලබයි. එබැවින් ස්‌නානය කිරීම සඳහා ඈව තිර හතක්‌ හෝ කිහිපයක්‌ ඇතුළත සිටුවා තැබීම, දෙවියන්ට පුද පූජා පැවැත්වීම, පහන් දැල්වීම, වී ගොඩක්‌ මත තබා ස්‌නානය කරවීම, සුදු මල් දැමූ වතුර කළයකින් නෑවීම, අවසානයේදී එම මැටි කළය බිඳීම ද පුද පිළිවෙත් කීපයකි. සියලු වස්‌ දොස්‌ දුරුවීම, සෞභාග්‍යය උදාවීම උදෙසා එකී කාර්ය කරනු ඇතැයි සැලකිය හැකිය. නැකතට නිවසට පා තබන විට ඒ සඳහා සුදුසු අයෙක්‌ හෝ ඈ විසින්ම පොල් ගෙඩියක්‌ දෙපලු වන සේ බිඳින්නේ ද වස්‌ දොස්‌ දුරු වී සෞභාග්‍ය උදා වේ යෑයි විශ්වාසයක්‌ නිසාය. එය හරියටම දෙපලු වී එහි වතුර පිරී ගොස්‌ තිබිණි නම් ඉදිරි අනාගතයම වාසනාවන්ත වන බව ගැමියන්ගේ විශ්වාසය විය.
“උත්සවශ්‍රීයෙන් කිලි මංගල්‍යය හෙවත් කොටහළු මඟුල අවසන් වූ නමුදු කොටහළු කිල්ල තෙමසක්‌ වන තුරු රඳා පවතියි. එකී කාලය තුළදී ද පූජ්‍ය ස්‌ථානවලට නොයා සිටීමට ගැමියෝ වගබලා ගනිති. එබැවින් කොටහළු කිල්ල ද ලාංකේය ගැමි ජන සමාජයේ මුල්බැස ගෙන වර්තමානය දක්‌වාම දිව ආ ප්‍රබල සංකල්පයක්‌ බැව් කිව හැකිය. කොටහළු කිල්ලෙන් අනතුරුව මසක්‌ පාසා සිදුවන මාසික කිල්ල හෙවත් ඔසප් කිල්ල ද තවත් එක්‌ වැදගත් කිලි අවස්‌ථාවක්‌ ලෙස ගැනේ. මෙම දිනවලදී ස්‌ත්‍රියට වාසය කිරීමට මෙන්ම කුටියක්‌ අතීතයේ නිවෙස්‌වල විය. එම කාලය ඇතුළතදී ඇය ගෙදර දොරේ කටයුතුවලට සහභාගි නොවී එම කුටිය තුළ විසිය යුතු වූ අතර ඇය සඳහා ආහාරපාන සැපයීම ගෙදර සෙසු අයගේ කාර්යයක්‌ විය. (සිංහල විශ්ව කෝෂය) මෙකී කිල්ල ක්‍රියාත්මක වන කාලයේදී අතීත කාන්තාවෝ එම දින තුන තුළ ස්‌නානය නොකර සිටීමට වගබලා ගත්හ. ස්‌නානය කිරීම නිසා ශරීරයෙන් පිටවිය යුතු රුධිර ප්‍රමාණය ඉවත් නොවී ඒවා ගර්භාෂය තුළ ඉතිරි වී ගර්භාෂ පිළිකා ආදී අවදානම් තත්ත්වයනට මුහුණ දීමට සිදුවන බව ඔවුන්ගේ පිළිගැනීමයි. යක්‍ෂ, පිසාචාදීන් සිටිනවා යෑයි සලකනු ලබන ළිඳට, ගඟට, සොහොන් භූමියට සවස්‌ යාමය හෙවත් ගොම්මන් වැටෙන වේලාව යෑයි හඳුන්වන කාලයේ යැම නුසුදුසු වේ. එමෙන්ම ඔසප් කාලය තුළදී පූජ්‍යස්‌ථාන (විශේෂයෙන්ම දේවාල) කරා ගමන් නොකිරීමට ද අතීත කාන්තාවෝ කටයුතු කළහ.”
ඔසප් වීම ආශ්‍රිත මෙවැනි චාරිත්‍ර‍ තවමත් සිංහල සමාජයේ පවතී. එමගින් ගැහැනු ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් ඇති වන සමාජ ආකල්ප විෂමතාවලට හේතු වන බව පෙනේ. එපමණක් නොව, ඔසප් වීම ආශ්‍රිත ඇතැම් චාරිත්‍ර‍ හේතුවෙන් ගැහැනු ළමයින්ගේ හා කාන්තාවන්ගේ සනීපාරක්ෂාවට ද හානි සිදුවේ. විශේෂයෙන්ම, පවිත්‍ර‍තාව හා සම්බන්ධ වන ඇතැම් කරුණු හේතුවෙන් ගැහැනු ළමයින් හා කාන්තාවන්ට ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවේ.
වැඩිවිය පැමිණි පසු දින ගණනක් කාමරවල සිර කරගෙන තබාගැනීම ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනයට බලපාන කරුණකි. එසේම, වැඩිවිය පැමිණීමත් සමග පනවනු ලබන තහංචි ගැහැනු ළමයාගේ ශාරීරික, මානසික වර්ධනයට බලපායි. වැඩිවිය පැමිණීමත් සමඟ ගැහැනු ළමයින්ට ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම් තහනම් කිරීම අද ද සුලබය.
ඔසප් වීම කිල්ලක්, අපවිත්‍ර‍ දෙයක් ලෙස සැලකීම නිසා ගැහැනු ළමයින්, කාන්තාවන් අවමානයට ලක් කිරීමක් ද සිදුවේ. නවීන සමාජය මෙවැනි ජීව විද්‍යාත්මක සාමාන්‍ය සිදුවීම් දෙස වඩා දියුණු ඇසකින් බැලීම අවශ්‍යය.
ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතු යයි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට තමන් සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය 2017 වසර මුලදී පැවසුවාය.
චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි බීබීසී සංදේශය වැඩසටහන විසින් කරන ලද විමසීමකට ප්‍ර‍තිචාර ලෙස ඇය එසේ පැවසුවාය.
ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතු යයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව පවසමින් ඇමතිවරිය මෙසේ ද පැවසුවාය: “දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුළුවන් නම් හොඳයි කියල.”
එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය පැවසුවාය.
මේ පිළිබඳ සමාජ ජාල ඔස්සේ සංවාදයක් ඇති වූ අතර, එයට පක්ෂව මෙන්ම එරෙහිවද මත ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ දැනටත් නිවාඩු වැඩිවීම නිසා මෙවැනි නිවාඩු නොගැලපෙන බව කී අයද සිටියහ.
ගමේ ගොඩේ මිනිසුන් ඔසප් වීමට මාසෙ මාරුවයි කියති. තරමක් අසභ්‍ය වදනක් ලෙස සැලකුණත්, මෙය ඇත්තෙන්ම විද්‍යාත්මක යෙදුමකි. එයින් කියවෙන්නේ දින 28ක් වන ඔසප් චක්‍රයේ එක් චක්‍ර‍යක් අවසන් වී අලුත් චක්‍ර‍යක් ආරම්භවීම පිළිබඳවයි.
මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ලොව පුරා සමරනු ලැබේ. 2014දී ආරම්භ වූ ඔසප් ස්වස්ථතා දිනයේ අරමුණ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔසප් චක්‍ර‍ නිසා මුහුණ දෙන අභියෝග පිළිබඳ දැනුවත් කිරීම හා එම අභියෝග ජය ගැනීම සඳහා විසඳුම් අවධාරණය කිරීමයි. මේ නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2018 මැයි 28දා කොළඹදී ‘පෑඩ්මෑන්’ බොලිවුඩ් චිත්‍ර‍පටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීය.
‘පෑඩ්මෑන්’යනු අඩු වියදම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයෙන් ඔසප් ස්වස්ථතාව පිළිබඳ සංකල්පයේ විප්ලවයක් ඇති කළ දකුණු ඉන්දියානු ජාතිකයකු වූ අරුණාචලම් මුරුගානන්දම්ගේ දිරිවඩනසුලු ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍ර‍පටයකි. ඔහු ඒ සඳහා පර්යේෂණ කිරීමට පෙළඹෙන්නේ ඔහුගේ බිරිඳ ඇගේ ඔසප් සමයේදී කිළිටි රෙදි කැබලි හා පුවත්පත් කඩදාසි භාවිතා කරනු දැකීමෙනි. මෙම චිත්‍ර‍පටය විසින් ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිකරණය සහ ඔසප් වීම අපකීර්තියක් බවට සමාජයේ තිබෙන අදහස වැනි කරුණු රැසක් අභියෝගයට ලක් කරනු ලැබේ.
‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය ඔසප් ස්වස්ථතා දිනයේ වැදගත්කම පිළිබඳ මෙසේ පැවසුවාය: “ඔසප් වීම ආශ්‍රිතව තිබෙන, එය අපකීර්තිමත් දෙයකි යන අදහස විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව යටපත් කරනු ලැබේ. ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කිරීමෙන් අපට ඔසප් ස්වස්ථතාව හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍ර‍ම හා සෞඛ්‍ය සම්පන්න ආකල්ප ප්‍ර‍වර්ධනය කළ හැකිය. ඔසප් වීම කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පමණක් නොව, පිරිමින්ට හා පිරිමි ළමයින්ටත් අදාළ වන දෙයක් බව තේරුම් ගැනීම වැදගත්ය. ඔසප් වීම පිළිබඳ සංවාදයට පිරිමින් සහ පිරිමි ළමයින් ඇතුළත් කර ගැනීමෙන් එය සාමාන්‍ය දෙයක් බවට පත් වන අතර කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙනුවෙන් වඩා සුරක්ෂිත සහ උපකාරශීලී වාතාවරණයක් නිර්මාණය කළ හැකිය. ”
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් නොයවති. 80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුය.
ඔසප් ස්වස්ථතාව පිළිබඳ කතා කරමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි.
“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදුනොවීම නිසා ගැලවී රුධිරය සමඟ ඉවත්ව යාමයි. ඔසප් වීම සිදුවන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්නය කියලායි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එකම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන්ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍යයි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”
කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බව වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය පෙන්වා දුන්නාය. එබැවින් එම දිනවලදී ඔවුන්ගේ ජීවිතය ගත වන ආකාරය කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ හැකියාවන් සහ ජීවිත මල් ඵල ගන්වා ගැනීමට බලපායි. එයින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට බලපෑම් සිදුවන අතර, වෙනස්කම් කිරීමට, ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය මගහැරීමට, රැකියා හා වෙනත් ජීවන අවස්ථා අහිමි වීමට හේතු විය හැකියි.
ඔසප් වීම යනු සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. එසේ වෙතත්, එය ලොව පුරාම පාහේ අපකීර්තිමත් කාරණයක් ලෙස සැලකේ. එබැවින් බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතා කිරීමට මැලිකමක් දක්වති. ඒ පිළිබඳ නිහැඬියාව බිඳීම සමාජ සංවර්ධනයට ඉවහල් වන කාරණයක් වන්නේ එබැවිනි.

2019-10-30

හඳට යානා යවන මිනිසුන්ට අඩි 26ක් යට සිර වූ දරුවකු බේරාගැනීමට බැරි වූයේ ඇයි?

තමිල්නාඩුවේ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවාගේ මරණය ප්‍රශ්න රැසක් ලොව හමුවේ තබයි. සඳ වෙත යානාවක් යවන්නට සමත් වූ ඉන්දියාවට අඩි සියයකට අඩු දුරක් පොළවේ කුහරයක සිර වී, දුක් විඳ, සෙමින් මිය ගිය දෙහැවිරිදි දරුවකු බේරාගැනීමට බැරි විය.
තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටි සුජිත් වැටුණේ ජලය ලබාගැනීම සඳහා හාරනු ලැබ, නොවසා අත්හැර දැමූ පටු ළිඳකට ය. එයට වැඩිහිටියකු වැටෙන්නට ඉඩක් නැත. වැඩිහිටියා එහි මුල ම හිර වෙයි. එහෙත්, දරුවා මුලින් අඩි 26ක් යට සිරවුණේ ය. ඔහුගේ අත්වලට මදු දමා ඔහු බේරාගැනීමට උත්සාහ කරන අතරතුර ඔහු අඩි 88ක් දක්වා කීපවරකට පහළට වැටුණේ ය. එසේ වැටෙන අතරතුර ඔහු බරපතල තුවාල ලබන්නට ඇත.
මෙම වරද සිදුවන්නේ ද රොබෝ තාක්ෂණික බේරාගැනීමේ උපකරණ පවා භාවිතා කළ අත්දැකීම් සහිත කණ්ඩායම් අතිනි. එහෙත්, එය දරුණු අත්වැරැද්දකි. මෙම රොබෝ උපකරණ පවා නිසි ලෙස වලංගු බවට පත් කරන ලද ඒවා නොවේ.
ඊළඟ මෙහෙයුම සෙනසුරාදා උදයේ ආරම්භ කරන ලදී. ඒ වල අසලින් තවත් වලක් හාරා, හරස් අතට ගොස් දරුවා වෙත සමීප වීමයි. එහෙත්, බැකෝ යන්ත්‍ර යොදාගෙන අඩි 20ක් හාරන විට ගල මතු වීම නිසා එම මෙහෙයුම අතහැර දමන්නට සිදු විය.
වල තුළට යවන ලද කැමරාවලින් දරුවා පණ පිටින් සිටින බව සොයාගැනිණි. වල තුළට අඛණ්ඩව ඔක්සිජන් පොම්ප කරන ලද මුත්, එතැනින් එහාට හෑරීම සඳහා ගල් හාරන, සංකීර්ණ යන්ත්‍රයක් යොදාගැනීමට සිදු විය. මුලින් ගෙනෙන යන්ත්‍රයට පසුව ඊට වඩා ප්‍රබල යන්ත්‍රයක් ද ඉන්පසු පෞද්ගලික අංශයෙන් ඊටත් වඩා ප්‍රබල යන්ත්‍රයක් ද කුලියට ගෙන හෑරීමට සිදු විය.
අඩි 110ක් යටට වලවල් තුනක් හාරා, ඉන් පසු එමවලවල් එක වලක් ලෙස පුළුල් කර, ජීවිතාරක්ෂක භටයන් දෙදෙනා බැගින් එතැන් සිට වල දෙසට අඩි හයක් හරස් අතට හාරා සුජිත් බේරාගත යුතු විය. මෙම මෙහෙයුම සෙමින් ඉදිරියට යන අතර ප්‍රදේශයට වැසි වැටෙන්නට ද පටන් ගත්තේ ය.
සඳුදා රාත්‍රියේ මෙම දැවැන්ත මෙහෙයුම නවත්වන ලදී. ඒ වන විටත් ඔවුන් තවත් අඩි 35ක් හෑරිය යුතුව තිබිණි. දරුවා හුස්ම ගන්නා හඬ ද නොඇසෙන බව වාර්තා විය. දරුවා මියගොස් ඇති බව පසුදා නිවේදනය කරන ලදී. ශරීරය නරක් වීම ආරම්භ වී, වල තුළින් දුගඳක් හමමින් තිබිණි.
මෙවැනි සිරවීම්වලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි ඉන්දීය ආපදා කළමනාකරණ අංශ විසින් තවමත් සංවර්ධනය කර නැත. එහෙත්, මෑත වකවානුවේදී මෙවැනි ළිංවලට වැටී ජීවිත දහයක් පමණ විනාශ විය.
අවසානයේදී මෙවැනි සිරුරක් ගොඩගැනීම සඳහා තිබෙන ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටි අනුව යමින් කොක්කක් යවා කැබලි වශයෙන් සිරුර ගොඩ ඇද ගන්නා ලදී. සිරුර ගොඩගැනුණේ දරුවා එහි වැටී පැය 81කට පසුවයි.
මෙය උග්‍ර ජල හිඟයක් ඇති වියළි ප්‍රදේශයකි. එකී ළිඳ අඩි 600ක් පමණ යටට හාරා ඇති බව වාර්තා වේ. භූගත ජලය ලබා
මේ සියල්ල අතරතුර මාධ්‍ය විසින් ළිඳේ සිර වී සිටින දරුවාගේ හිස හා ඉහළට එසවී තිබෙන අත් චලනය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රචාරය කරන ලද අතර, එය ඉතා ආචාරධර්ම විරෝධී ලෙස සමාජ මාධ්‍ය විසින් මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද භාවිතා කරන ලදී.
දේශපාලකයන් ද මෙය සංදර්ශනයක් බවට පත් කරගත් බවට චෝදනා එල්ල වේ.
මේ අතර මහජනයා ද වැල නොකැඩී එහි ඇදී එමින් මෙහෙයුමට බාධා වන අන්දමින් පවා හැසිරුණ හ.
ලොව පුරා ම ජනතාව සුජිත් වෙනුවෙන් හඬා වැළපුණ හ. එහෙත්, සුජිත් ඉතා අසරණ ලෙස, වේදනාකාරී මරණයකට ගොදුරු වූයේ ය.
(ඡායාරූපය: සුජිත් වැටුණු පටු ළිඳ ඔහුගේ මරණින් පසු වසා දමා ඇති අයුරු)

දෙමළ යෝජනා රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නට ද?

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ.
Translations by Creative Content Consultants
මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළ බව සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවද හෙතෙම කීය.”
මේ ප්‍රකාශය ම ගැටලු සහගත ය. සුළු ජන කොටස් සඳහා ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ පූර්ණ අයිතිය ලබා දී තිබේ ය කියන්නේ එය මහ ජාතිය විසින් ඔවුන්ට ලබා දී තිබෙන වරප්‍රසාදයක් යන අදහස දෙන ප්‍රකාශයකි. තමන් ජාතිවාදී නොවේ යයි කියන හා ඇතැම් විට අවංකව ම සිතන අයත් මෙවැනි අදහස් දරති. සුළුතර ප්‍රජාවන්ට එය දැනෙන්නේ ජාතිවාදය ලෙසයි. එසේම, දෙමළ පාර්ශ්වයේ ඉල්ලීම් ඕනෑවට වඩා බැරෑරුම් ලෙස සැලකීමක් ද මෙම ප්‍රතිචාරය තුළ තිබේ. එතරම් තදින් පහර දෙන්නට තරම් එම ඉල්ලීම් වැදගත් ද යන්න අපි මතු සාකච්ඡා කරන්නෙමු.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හෝ මේ ගැන කිසිදු අදහසක් පළ කර නැත. එහෙත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විවෘතව ම දෙමළ යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. ඒවා රට බෙදන කොන්දේසි බව ඔහු පවසා තිබිණි. එය ඇත්තක් ද? අප මේ උත්සාහ කරන්නේ දෙමළ ජනතාවගේ සපත්තුවට ද යම් දුරකට බසිමින් මෙම යෝජනා විමසා බැලීමටයි.
1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම: උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම අලුත් දෙයක් නොවේ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒකාබද්ධ කර තිබුණු මෙම පළාත් දෙක වෙන් කරනු ලැබුවේ එම එක්කිරීම අනුමත කරගැනීම සඳහා පවත්වන්නට නියමිතව තිබුණු ජනමත විචාරණය නොපැවැත්වීම මත ජනතා විමුක්ති පෙරමුණ විසින් පවරන ලද නඩුවක් අනුව ය. ඉංග්‍රීසීන් විසින් නිර්ණය කරන ලද මෙම පළාත් භූමි සීමා ඒ අයුරින් ම පිළිපැදීමේ අවශ්‍යතාවක් නැත. රටේ අවශ්‍යතා අනුව, පළාත් ප්‍රතිව්‍යූහගත කරගන්නට අපට හැකියාව තිබිය යුතු ය. ස්වයං නිර්ණ අයිතිය යනු අනිවාර්යයෙන් ම වෙන් වීමේ අයිතිය නොවේ. වෙන් නොවී එක්ව සිටීමට ද තීරණය කිරීමේ අයිතිය එහි තිබේ. එසේම, එක් රටක් තුළ බලය බෙදාගැනීම පිණිස දෙමළ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිබෙන අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය ද ස්වයං නිර්ණ හිමිකම මත ම පදනම්ව දෙමළ ජනතාව විසින් නිර්මාණය කරගන්නා ලද්දකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.
2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ 2015දී ශ්‍රී ලංකාව සම දායකත්වය සපයමින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනා සම්මතය අනුව,
මානව හිමිකම් සහ අන්තර්ජාතික මානවවාදී නීතියේ කඩවීම් විමර්ශනය කිරීම සදහා විශේෂ නීති නිලධාරියෙකු සහිතව සහ අන්තර්ජාතික සහභාගීත්වය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන අධිකරණමය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතු ය. එය ජාත්‍යන්තර මැදිහත්වීමක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වුවහොත් 30/1 යෝජනා සම්මතය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව පවසයි. එසේ වුවහොත්, ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වැඩි ඉඩක් ලැබෙනු ඇත.
3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම: මෙය ද ඉහත කී 30/1 යෝජනා සම්මතය අනුව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙන කරුණකි. මේ සඳහා ගෙන ආ ප‍්‍රති ත්‍රස්ත පනතෙහි ඇතැම් කාරණා ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවක් හේතුවෙන් එහි ඉදිරිගමන ඇණහිට තිබේ. වර්තමාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අන්දමින් පවත්වාගෙන යා යුතු යයි කියන කිසිවකු සිටිත්දැයි නොදනිමි.
4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම: යුද්ධය සම්බන්ධ වැරදි හේතුවෙන් සිරගතව සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙවැනි ම ඉල්ලීමක් තිබේ. මේ දෙපාර්ශ්වයට ම කොන්දේසි සහිත පොදු සමාවක් ලබාදීම පිළිබඳ රජයට සලකා බැලිය හැකි ය. කරුණා, කේපී යන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ඉහළ ම නායකයන්ට දෙපලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන සංදර්භයක් තුළ පහළ සාමාජිකයන් කුමන වැරදි සම්බන්ධයෙන් හෝ සිරගත කර තැබීම තේරුමක් නැත.
5. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම: 2018 අපේ‍්‍රල් මාසය වන විට, දක්නට නොමැති බවට සහතිකයක් ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලූම්පත් 827 කින්, 616 කට එම සහතිකපත් නිකුත් කර තිබුණු බව වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය දෙමළ දේශපාලන පක්ෂ හිතන තරම් සරල නැත. සාක්ෂි සහිත අතුරුදහන් කිරීම් පිළිබඳ ඉහත දෙවන ඉල්ලීම යටතේ යොදාගත හැකි ක්‍රමවේද ඔස්සේ කටයුතු කළ හැකි ය.
6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම: යුද හමුදාව භාරයේ පැවති ඉඩම් පසුගිය වසර හතරක කාලය ඇතුළත කලින් කලට ඒවායේ සිවිල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීම සිදුව ඇති බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.. කෙසේවුවත්, 2018 වසරාවසානය වන විටත්, අක්කර 30,187ක ඉඩම් ප‍්‍රමාණයක් (රජයේ ඉඩම් අක්කර 25,946ක් සහ පෞද්ගලික ඉඩම් 4,241ක ප‍්‍රමාණයක්) තවමත් පැවතියේ යුද හමුදාව භාරයේ බව එම සංවිධානය පවසයි. මේවා ද ක්‍රමානුකූලව නිදහස් කළ යුතු ය යන රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබේ. එතරම් බරපතල ගැටලුවක් නැත.
7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම: උතුරු නැගෙනහිර ආක්‍රමණශීලී සිංහල ජනාවාසකරණයක් සිදු වන බව බොරුවක් නොවේ. මෙය එකී අරමුණෙන් ම 1980 දශකයේ සිට ආරම්භ වූවකි. එහෙත්, 1950 දශකයේ පදවිය ගොවි ජනපදය පිහිටුවන විට, ජනවාර්ගික අනුපාතය අනුව එහි පදිංචි කළ යුතුව තිබුණු දෙමළ ජනයාට පදිංචි වන්නට බෞද්ධ භික්ෂූන්, ඉඩම් සංවර්ධන සංස්ථාවේ සේවකයන් සහ කලින් පදිංචි වූ ජනපදිකයන් ඉඩ නොදීමෙන් පෙනෙන්නේ එම ඉතිහාසය ඊටත් වඩා ඈතට විහිදෙන බවයි. මෙම ඉල්ලීම එම තත්වයට ප්‍රතිචාරාත්මක ඉල්ලීමක් ලෙස සැලකිය හැකි ය. මුළුමනින් ම ඉටු කළ නොහැකි ය.
8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම: මෙම කාරණය ප්‍රධාන වශයෙන් ම අදාළ වන්නේ වැලිඔය, මහවැලි එල් කලාපය ප්‍රදේශවලටයි. එහෙත්, එම ප්‍රදේශවල පදිංචි කරන ලද ජනතාව දැන් පරම්පරාවකට වඩා එහි ජීවත් වී තිබේ. කොටි සංවිධානයට කපා, කොටා, පහර දී, මරා දමා හෝ මෙම ජනතාව ඉවත් කිරීමට බැරි විය. මෙය ද ප්‍රතිචාරාත්මක ඉල්ලීමකි.
9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම: මෙය සහ ඉහත ඉල්ලීම අතර එතරම් වෙනසක් ඇති බවක් නොපෙනේ.
10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම: මෙහි අර්ථයක් නැත. පුරාවිද්‍යා, වනජීවි සංරක්ෂණ පනත් වලංගු නීති ය. දෙමළ ජනතාවගේ නිජභූමි යන සංකල්පය වලංගු නීතියක් නොවේ.
11. උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම: මෙය ඉතා සාමාන්‍ය ඉල්ලීමකි.
12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම: මෙය ද ඉහත ඉල්ලීම හා සමාන ය. එහෙත්, බොළඳ, අදේශපාලනික ඉල්ලීමකි. යම් දුරකට ඉටු කළ හැකි ය.
13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම: මෙය ද අදේශපාලනික, බොළඳ ඉල්ලීමකි. මෙවැනි ඉල්ලීම්වලට දෙමළ ජාතික සන්ධානය ද එකඟ වීමෙන් පෙනී යන්නේ ඔවුන් අතර ද මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් බැරෑරුම් සලකාබැලීමක් නැති බව ය. පළාත් සභා මැතිවරණ පවත්වා පළාත් සභා පිහිටුවාගත හැකි ය. ඒ නැතත්, දැනටත් උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතනවලට සභිකයන් පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිටිති. මහජනයා සංවිධානය කරගැනීම ඔවුන්ගේ වගකීමකි.
මෙම යෝජනාවලිය ඉදිරිපත් වන්නට හේතු කීපයක් හඳුනාගත හැකි ය. එක පැත්තකින් පසුගිය වසර හතරකට වැඩි කාලයක් තිස්සේ රජයට අනියමින් සහයෝගය දක්වමින් සිටින දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පැහැදිලි ජයග්‍රහණ දිනා දීමට අසමත් වී ඇති බවට ඔවුන්ට වඩා ආන්තික ආස්ථානවලින් ඔවුන් ප්‍රශ්න කරන අය චෝදනා කරති. එම බලවේග සඳහා ඡන්ද පදනම් වෙනුවෙන් තරගයක් ඇත. මෙම යෝජනා ගෙන එන්නේ එකී තරගකාරී බලවේගවල ද හවුල්කාරිත්වයෙනි. අනෙක් පැත්තෙන් රැඩිකල් දෙමළ තරුණ කොටස් වෙතින් දේශපාලන නායකයන්ට දැඩි බලපෑමක් වෙමින් තිබෙන බව මෙම යෝජනාවලිය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුලපිරුමක් වීමෙන් පෙනේ.
මෙම යෝජනාවලියට දකුණෙන් ලැබෙන ප්‍රතිචාරය ඔස්සේ සිදු විය හැකි ආන්තික ම දෙය වන්නේ ජනාධිපතිවරණයේදී ඡන්දය වර්ජනය කරන්නැයි දෙමළ පක්ෂ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටීමයි. එහෙත්, 2005දී මෙවැනි වර්ජනයක් සාර්ථක අන්දමින් කිරීමෙහි අත්දැකීමක් දෙමළ සමාජයට තිබේ. කොටි සංවිධානය එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා ඡන්ද වර්ජනය පාවිච්චි කළේ ය. එමගින් තමන් වඩා දුර්වල පාලකයකු පත් කරගෙන වාසිදායක තත්වයක් අත් කරගන්නවා යයි කොටි සංවිධානය අපේක්ෂා කළමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සිදු වූයේ අනෙක් පැත්තයි. කොටි සංවිධානයට පමණක් නොව දෙමළ අරගලයට ද එයින් දැඩි හානියක් සිදු විය. දෙමළ ජනතාව දවල් වැටුණු වලේ රෑත් වැටීම තෝරා ගනීවි ද?

2019-10-28

ලංකාවේ අන්තවාදීන්ටත් නායකත්වය දුන් බග්දාදි කවුරු ද?

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත.
Translations by Creative Content Consultants
පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයා වූ ඔහු පසුව එයින් බිඳී ගොස් ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්ත සංවිධානය බිහි කළේ ය. සිරියාව ද සම්බන්ධ කරගනිමින් පැරණි ස්වරූපයේ ඉස්ලාමීය කාලිෆ් රාජ්‍යයක් පිහිටවූ බව ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) සංවිධානය 2014දී නිවේදනය කළේ ය.
අල්ලාගත් ඉරාකයේ මොසුල් නගරයේදී පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් තමන් ලොව ඉස්ලාමීය ජනයාගේ නායක කාලිෆ්වරයා බව ස්වයංව නිවේදනය කළේ ය. ලොව සියලු ඉස්ලාමීය රටවල් එය ප්‍රතික්ෂේප කළ මුත්, මේ කාලිෆ් රාජ්‍යය ලොව පුරා සටන්කාමී ඉස්ලාම් අන්තවාදීන්ට ආකර්ෂනීය විය.
එයින් ලංකාවට සිදු වූ බලපෑමේ තරම කෙතරම් ද යත්, පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය අල් බග්දාදිගේ නායකත්වය කෙරෙහි භක්තිමත්ව, ඔහු හෝ IS සංවිධානය සමග ඍජු සම්බන්ධයක් පවා නොමැතිව ස්වයංව සිතා ක්‍රියාත්මක කරන ලද proactive ප්‍රහාරයක් ලෙස විග්‍රහ කළ හැකියි. ලංකාවේ ප්‍රහාර දියත් කළ කණ්ඩායම සහ IS හෝ වෙනත් ත්‍රස්ත කණ්ඩායමක් සමග සම්බන්ධයක් පිළිබඳ සාක්ෂි කිසිවක් තවමත් විමර්ශකයන්ට හමු වී නැහැ.
ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බයක් පුපුරුවාගැනීමට නියමිතව සිට පසුව දෙහිවල කුඩා හෝටලයක කාමරයේදී පුපුරුවාගැනීම සිදු කළ අබ්දූල් ලතීෆ් ජමීල් ඔස්ට්‍රේලියාවේදී IS සමග සම්බන්ධකම් ඇති කරගෙන, පසුව බ්‍රිතාන්‍යයට ගොස්, එහි සිට සිරියාව කරා ගොස් IS සමග සම්බන්ධ වන්නට උත්සාහ කර, කිසියම් හේතුවක් නිසා අසාර්ථක වී ආපසු පැමිණි අයෙකි.
තවත් ලාංකිකයන් ගණනාවක් ම සිරියාවට ගොස් IS සංවිධානය සමග එක්ව සිටින බව ද, ඇතැමෙකු මිය ගිය හා ඇතැමෙකු තවමත් සිරියාවේ ජීවත් වන බව වාර්තා වේ.
අයි එස් හා ශ්‍රී ලාංකිකයන් අතර සම්බන්ධතා පිළිබඳ මෙම ලිපියේ කරුණු දැක්වේ. තව්හිද් ජමාද් උන්මන්තක වියරුවේ මුල මැද අග >>
රී ලාංකික ඉස්ලාමීය ත්‍රස්ත නායක සහරාන් ඇතුළු පිරිස බග්දාදි වෙනුවෙන් දිවි පිදීමට ප්‍රතිඥා දෙමින්



2019-10-27

කන්ටේනරයක් තුළ සීතලේ ගල් වුණ ෆෑම්ගේ සිහිනය

මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි.
Translations by Creative Content Consultants
දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නට ඇති. ඒ මිනිසුන් මියයන්නට ඇත්තේ අධික ශීතල හේතුවෙන් හයිපොතර්මියා නම් තත්වය නිසා යයි අනුමාන කරනවා.
මේ වනාහි මිනිසුන් රටෙන් රට නීති විරෝධී අන්දමින් රැගෙන යාමේ කුට්ටන ව්‍යාපාරයක තවත් ගොදුරු ටිකකුයි. නීති විරෝධී සංක්‍රමණයන් බොහෝ විට සිදුවන්නේ මෙවැනි අවදානම්සහගත ක්‍රම යොදාගනිමිනුයි. ශ්‍රී ලංකාවේ ඔබ අසා තිබෙන ඕස්ට්‍රේලියාව වෙත බෝට්ටුවලින් සංක්‍රමණය වීමත් මෙවැනි ම දෙයක්.
ඉහත සඳහන් කරන ලද තරුණිය ද ලොරිය තුළ මිය ගිය අය අතර ඇතැයි ඇගේ පවුලේ අය අනුමාන කරනවා. ඇය අවසන් වරට ඇගේ ජංගම දුරකථනයෙන් එවා ඇති පණිවුඩයේ සඳහන් වන්නේ තමන් හුස්මගැනීමට නොහැකිව මියයමින් සිටින බවයි. “අම්මේ මා ඔබට ආදරෙයි. මට සමාවෙන්න,” යනුවෙන් ද ඇය සටහන් කරනවා. එම පණිවුඩ එවන ලද පසුගිය අඟහරුවාදා රාත්‍රී 10.30 වේලාව අනුව ඇය ඒ වන විට බෙල්ජියමේ වරායක සිට එසෙක්ස් වරායක් වෙත මුහුදේ ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයේ සිටින්නට ඇතැයි අනුමාන කරනවා. එම කන්ටේනරය පැය තුනකට පසු විවෘත කරන විට, එහි සිටි 39දෙනා ම මියගිහින්. ඒ අතර කාන්තාවන් අටදෙනෙකු සිටියා.
සති තුනකට පෙර ඇය පවුම් 30,000ක් ගෙවා බ්‍රිතාන්‍යය වෙත හොරෙන් සංක්‍රමණය වීමේ මෙම අවදානම් ගමන ඇරඹුවා.
මෙවැනි සංක්‍රමණයන් අධික ලෙස අවදානම් සහගතයි. නිසි මාර්ගයෙන් සංක්‍රමණය වන්නට උත්සාහ කරන්න. තමන් උපන් රටට, ලද ජීවිතයට ආදරය කරන්න. එය හොඳ නැතිනම් වෙනස් කරගන්නට අරගල කරන්න. මෙවැනි අවදානම් ගන්න එපා.

හරිනම් මෛත්‍රී-මහින්ද ඔක්: 26 කුමන්ත්‍රණයට හිරේ සිටිය යුතු ය

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.  
Translations by Creative Content Consultants
ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජය කිරීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ සමත් වූ හ. විධායක ජනාධිපති බලය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දුබලතාව හේතුවෙන් ජනාධිපතිට එරෙහිව නීතියෙන් ක්‍රියා කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රාජ්‍යයට නැත. නැතිනම්, මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවා මේ වන විට සිටිය යුත්තේ හිරේ ය.
ඔහුගේ ප්‍රධාන කුමන්ත්‍රණ සහායකවරයා මහින්ද රාජපක්ෂ ය. මේ වන විට ඔහු ඊළඟ අගමැති වීමේ සිහිනය දකිමින් සිටියි. වර්තමානයේ විපක්ෂ නායක ධුරය දරන ඔහුට විපක්ෂ නායක ධුරය තබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ දැරීමට නීතිමය අයිතියක් නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයට පත් වූ අවස්ථාවේදී ඔහුගේ නාම යෝජනාව ඇතුළත් වූ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සාමාජිකභාවය, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.
මහින්ද රාජපක්ෂ නොවැම්බර් 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ ය. ඒ අනුව, ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී හමාර ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම යනු ඉතා පැහැදිලිව ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා එහි සාමාජික පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව, එම මන්ත්‍රීවරයා ඉවත් කර ඇති බව හා ඔහු වෙනුවට වෙනත් අයකු පත් කරන බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තිබිණි. එම සන්ධානයේ මහලේකම් ධුරය හෙබවූ මහින්ද අමරවීර එසේ නොකර සිටීම පක්ෂ ලේකම්වරයකු ලෙස වගකීම් පැහැරහැරීමකි. එය හුදු පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවේ. පාර්ලිමේන්තුව හා සම්බන්ධ පොදු කාරණාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු එම ධුරය දැරීමත්, එසේ කිරීමට අනුබල දීමත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමකි. 
ඔක්තෝබර් 26 දින ආරම්භ වූ දේශපාලන අර්බුදයේ ප්‍ර‍තිඵල 2018 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත මගින් නිරූපණය විය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2018 වසරේදී 3.1% දක්වා පහත වැටිණි. 4 %ක ආර්ථික වර්ධන වේගයක් කලින් අපේක්ෂා කර තිබිණි.
ඔක්තෝබර් 26 කුමන්ත්‍ර‍ණය නිසා සිදු වූ එක් යහපත් දෙයක් තිබේ. එනම්, ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය හා අධිකරණය, පාර්ලිමේන්තුව, රජය ඇතුළු පද්ධතිවල අවංකභාවය, පරිපූර්ණත්වය හා විශ්වසනීයත්වය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අලුත් විශ්වාසයක් ගොඩනැගීමයි. ලංකාවේ සමාජ ක්‍ර‍මයට ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී කුමන්ත්‍ර‍ණවලට මුහුණ දී පරාජය කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දීම ආයෝජක විශ්වාසය, ජාත්‍යන්තර වෙළඳාම වැනි ආර්ථික සාධක සම්බන්ධයෙන් වැදගත් ය.
(කාටුනය: විනී හෙට්ටිගොඩ, ලංකා පුවත්පත)

ජනාධිපති නඩත්තු කරන්නට දිනකට කෝටි දෙකක්; මෛත්‍රීට කොළඹ හතෙන් ගෙයක් – විජිත හේරත්

පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.
Translations by Creative Content Consultants
මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලය, වාහන ආදිය වෙන් කරන ලද බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පාර්ලිමේන්තුව ආසන්නයෙන් අක්කර භාගයක වටිනා ඉඩමක් හා ඉදිවෙමින් තිබුණු මන්දිරයක් ලබාදෙන්නට හදද්දී ශ්‍රේෂ්ඨාධිකරණය 2007 මැයි 03දා දුන් තීන්දුවෙන් විශ්‍රාමික ජනාධිපතිවරයාට හෝ ජනාධිපතිවරියට ලැබිය යුතු වරප්‍රසාද නිර්ණය කළා. ඒවා මෙසේයි:
වාසය කිරීමට සුදුසු නිවසක්. නිවසක් පිරිනොනැමේ නම් වැටුපෙන් අඩකට සමාන දීමනාවක්.
ලේකම්වරයකු සඳහා ජනාධිපති පෞද්ගලික ලේකම්වරයකුට ගෙවන දීමනාව හා සමාන දීමනාවක්.
ප්‍රවාහන පහසුකම්: නිල වාහන දෙකක්. ආරක්ෂක නිලධාරීන් සඳහා වාහන එකක්. රියදුරන් තුනක්. මාසික ඉන්ධන දීමනාවක්.
එහෙත්, මේවා අභිභවමින් විවිධ දීමනා හා පහසුකම් කැබිනට් මණ්ඩලය විසින් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන්නා.
ලොකුම විහිළුව වන්නේ මුදල් ඇමති මංගල තමයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වරප්‍රසාද ලබා දෙන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නෙ. ඒ අනුව, පැජට් පාර හෙවත් මහගම සේකර මාවතේ, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල අසල දැනට ඔහු පදිංචි නිවස ඔහුට විශ්‍රාමික නිල නිවස ලෙස පිරිනමනු ලබනවා. එය එක්සත් ජාතික පක්ෂයේ සියලු ඇමතිවරුන් විසින් අනුමත කරනවා.”
මෙය සිදු කරන්නේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ජනතාව අති විශාල වශයෙන් බදු ගෙවමින් පීඩාවට පත් වෙමින් සිටින සමයක බව ප්‍රකාශ කළ විජිත හේරත් ඒ පිළිබඳ තම පක්ෂයේ දැඩි පිළිකුළ ප්‍රකාශ කරන බව ද පැවසී ය.
මෙවැනි නාස්තිකාර වියදම් කරන, ඒවාට අනුබල දෙන අය පිළිබඳ නිසි තීරණයක් ගන්නා ලෙස ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා ඉල්ලා සිටියේ ය.

එක්සත් වාමාංශික පෙරමුණ සජිත්ට; ලාල් විජේනායක අනුරට

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය.
ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණය කර තිබේ. මෙම යෝජනාව ට පක්ෂව මධ්‍යම කාරක සභිකයන් 30ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර, සිව්දෙනෙකු විරුද්ධ වී දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
දැනට කිසියම් පක්ෂ සාමාජිකයකු වෙනත් ජනාධිපති අපේක්ෂකයකුට සහාය දක්වන්නේ නම්, එම ප්‍රචාරණ කටයුතුවලදී සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බව ද එම යෝජනාවේ සඳහන් වේ.
එම අවස්ථාවේදී ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලික ලේකම්වරයකු පත් කරගත යුතු බවට ජයම්පතී වික්‍රමරත්න යෝජනා කර තිබේ. එම අවස්ථාවේදී ලාල් විජේනායක තමන් පක්ෂ ලේකම් ධුරයෙන් අස් වන බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, කීර්ති කාරියවසම් ලේකම් ධුරය සඳහා පත් කරගෙන තිබේ.
සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන වමේ රැළියක් ඔක්තෝබර් 28දා පෙ.ව. 11ට කොළඹ නව නගර ශාලාවේදී එක්සත් වාමාංශික පෙරමුණේ නායකයන්ගේ, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ඔක්තෝබර් 30දා මීගහතැන්න නගරයේදී කීර්ති කාරියවසම්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් සිවිල් සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් මහජන රැස්වීමක් පැවැත්වේ. මතුගමදී ඔක්තෝබර් 27දා ද, ඔක්තෝබර් 4දා බදුරලියේදී ද, 6දා බුලත්සිංහලදී සහ කළුතර දිස්ත්‍රික්කය පුරාමත් රැස්වීම් සංවිධානය කර තිබේ.

‘අරාබි’ ජාතික ගීය කියන මුජිබර් හඳුනාගන්න

මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු.
1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා.
එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක් ප්‍රවර්ධනය කරද්දි එයට විරුද්ධව මුස්ලිම් සමාජයේ මතවාදය ගොඩනැගූ අයෙකු තමයි මුජිබර් රහුමාන්.
2005දි පමණ ඔවුන් පක්ෂය විසුරුවාහැර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මුස්ලිම් පදනම් ශක්තිමත් කරන්නට මුජිබර් රහුමාන් විශාල වැඩ කොටසක් කරනවා. ඔහු කොළොන්නාවේ පදිංචිව සිටි අයෙක්. ඔහු කවදාවත් මුස්ලිම් ජාතිවාදියෙකු වුණේ නැහැ.
මුජිබර් දෙමළ බස කතා කරන කෙනෙක්. දෙමළ භාෂාවේ බයන්නට, පයන්නට දෙකට ම භාවිතා වෙන්නෙ එකම අකුරක්.
ඔහු අරාබි ජාතික ගීය කිව්වා ය කියන කොටසෙ ඔහු කියන්නෙ මේ විදියට: “අපේ දූ දරුවො මේ රටේ අර අපි ජාතික ගීය කියන, එක මවකගෙ දරුවො කියල අපි කියනවා. අන්න ඒ එක මවකගෙ දරුවො කියන එක මහපොළවෙ යථාර්ථයක් කරන්න තමයි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙන්න ඕනැ.”
දෙමළ බස කතා කරන මුස්ලිම් මිනිහෙකු කියන අර අපි කියන වචන දෙක අරාබි ලෙස අර්ථකථනය කරන්නට තරම් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමික සිංහල ජාතිවාදීන් පහත් තත්වයකට වැටුණා. මෙම වීඩියෝවේ වෙනත් තැනක ඔහු අපි කියන වචනය ශබ්ද කරන්නේත් ඒ හා සමානවමයි.
පහත දැක්වෙන්නේ ඔහු කරන ප්‍රකාශය:
මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ සුද්දච්චාරිගේ ප්‍රේමරත්න හෙවත් නිරෝෂන් ප්‍රේමරත්න ඒ ගැන කියන කතාව:
මෙහි දැක්වෙන්නේ සවුදි අරාබියේ ජාතික ගීයයි. එහි සංගීත නිර්මාණයත් රහුමාන් කෙනෙකුගේ නම් තමයි. ඒ ඊජිප්තු සංගීතඥයකු වූ අබ්දූල් රහුමාන් අල්-ඛටීබ්. සංගීත නිර්මාණය කර තිබෙන්නේ 1947දීයි. 1984 සිට භාවිතා වන වර්තමාන පෙළ අරාබි කවියකු වන ඊබ්‍රාහිම් අල් කෆාජි විසින් විරචිතයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් පහත් ජාතිවාදී ප්‍රචාරණ ව්‍යාපාරයකට යොමුවෙන්න එපා. ඔබට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබේ නම්, දැන් සිට ම රට පාලනය කරන ජනාධිපතිවරයකු ලෙස වැඩ අරඹන්න. ලංකාවේ සියලු ජාතීන්ගේ නායකයා වන්නට උත්සාහය දැන්ම අරඹන්න. සියලු ජාතීන් විසින් පිළිගන්නා නායකයකු නොවුණොත් ඔබට කිසිදා සාර්ථක ජනාධිපතිවරයකු වන්නට බැහැ.

මැතිවරණ මාධ්‍ය උපමාන කුමට ද?

මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති

(ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.)
සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතය හැඩගැස්වීම සඳහා මුල් කාලයේ රැස්වීම්, ගෙන් ගෙට කැන්වසින්, පත්‍රිකා ආදිය මගිනුයි. ඒ නිසා හැම ඡන්ද පනතකම තිබෙන පරිදි පෝස්ටර් ගැසිය හැක්කේ රැස්වීම් භූමියේ පමණයි. ගෙන් ගෙට යන්නට බැහැ. ඡන්දය ආයාචනා කරන්න බැහැ. අල්ලස් දෙන්න බැහැ. සංග්‍රහ කරන්න බැහැ. මෙවැනි කරුණු තමයි තිබුණෙ.
Translations by Creative Content Consultants
කලක් යනකොට පෙනුණා පුවත්පත් මගින්, රේඩියෝවලින් ආදියෙන් ප්‍රචාරය කරන බව. ඒ නිසා තමයි මාධ්‍ය පාලනයක් අවශ්‍ය වුණේ. (2001දි 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පළමුවරට මැතිවරණ සඳහා මාධ්‍ය මගපෙන්වීම් හඳුන්වා දුන්නෙ.)
මාධ්‍ය පාලනය කියන්නේ ප්‍රකාශනයේ නිදහස ඇවිරීම. ඡන්දය කියන්නේත් අදහස් ප්‍රකාශනයක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිසා, එම අයිතියටත් එහා තිබෙන පාලකයන් තෝරාගැනීමේ අයිතියට බාධා වෙනවා නම් අපි කොයි අයිතිය ද පාලනය කරන්නට ඕනැ?
ජනමනස වෙනස් කිරීම මාධ්‍ය හිමිකරුවන්ගේ පාලනයෙන් සිදුවෙනවා නම්, එය ද මාධ්‍ය උපමාන? මාධ්‍යයෙන් මෙවර ඇති කළ මතය කොපමණ ද යත්, සමාජ ජාලවල සාකච්ඡා වුණා සිංහල බෞද්ධ නොවන අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව. එතරම් ම වැරදි මත පතුරුවාහැර තිබුණා.
මාධ්‍ය පාලනය මිථ්‍යාවක්. එය ලොව කිසිම රටක කර නැහැ. එය කරන්නට පුළුවන් යකඩ සපත්තුවෙන්, තුවක්කුවෙන් විතරයි. ඒත් එකඟතාව මත සදාචාරවත් මාධ්‍යයක් හදන්නට පුළුවන්. මෙම මාධ්‍ය උපමාන කාගෙවත් බෙල්ලට එල්ල කළ කඩුවක් නෙමෙයි.
මාධ්‍ය උපමාන අවශ්‍ය වුණේ ජනතාව තමන් ඇසූ, දුටු, කියවන දේ විශ්වාස කරන නිසා. ශිෂ්ට සමාජයේ අපි ඉගෙන ගන්නේ ප්‍රාථමික මිනිසා කළ සේ අත්දැකීම්වලින් නොවන නිසා. ඒ නිසා තමයි මාධ්‍ය උපමානවලට අනුගත විය යුතු යුතු.
කෙනෙකුට අහන්නට පුළුවන් මෙය ප්‍රායෝගික ද, සියලු දෙනාට එක ලෙස සලකනවා ද කියලා. මැතිවරණෙදි වුණත්, අපේක්ෂකයන් සියලුදෙනාට එක සමාන ලෙස සලකන්නට බැහැ. ඇතැම් අපේක්ෂකයන් වෙනත් අය වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජ අපේක්ෂකයන්. ඔවුන් ඡන්ද අඩුවෙන් ගැනීම නෙමෙයි වැදගත්.
එක් කාලයක රාජ්‍ය මාධ්‍යවල මැතිවරණ කාලේ අලියා බීම දැන්වීමවත් ප්‍රචාරය කළේ නැහැ. ඒත්, දැන් අපි ඉන්නේ කොතැන ද? රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් මෙවර විධානයක් පනවනවා. මැතිවරණ මාධ්‍ය උපමානවලට අනුගතව කටයුතු නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීන් මැතිවරණ කොමිසන් සභාවේ විධාන කඩ කරනු ලැබුවා සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යටතේ ඔවුන්ට දඬුවම් ලබා දෙනු ඇත.
මෙතනදි රාජ්‍ය මාධ්‍යවලට කෙණහිලි කරනවා නෙමෙයි. අපි අපට අල්ලා ගන්නට පුළුවන් අය අල්ලාගන්නවා. ඒ රාජ්‍ය දේපල. පෞද්ගලික මාධ්‍ය ඔවුන්ගේ මුදල්. හැබැයි, තරංග මාලා අපේ. ඔවුන් බදු ගෙවනවා විය හැකියි. ඒ නිසා පෞද්ගලික මාධ්‍යත් මේ උපමානවලට අනුගත විය යුතුයි.
නොකළොත් මොනවද කරන්නට පුළුවන් කියලා ඇතැමෙකු අහනවා. අපට පුළුවන් ඒ ඒ මාධ්‍ය ආයතන අසවල්, අසවල් ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා ය කියා ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට පුළුවන්. පුවත්පත් දැන්වීමක් පළ කරන්නට පුළුවන්. අපි වෙන මොනවා කරන්න ද? මෙය කළ යුත්තේ එහෙම නෙමෙයි. අප කළ යුත්තේ අවබෝධයකින් යුතුවයි. මාධ්‍ය උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යවල වගකීමක්
මාධ්‍ය උපමාන 30 අතරින් සංක්ෂිප්ත කරන ලද වැදගත් උපමාන 16ක් පහත පළ වේ. උපුටාගැනීම සමබිම වෙබ් අඩවියෙනි.
01. සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති සහ දේශපාලන කටයුතු සම්බන්ධ වැඩසටහන්වල නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතුය.
02. යම් අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් ලැබෙන පරිදි මාධ්‍ය ආයතනයක ඉඩ ලබා නොදිය යුතුය.
03. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ විද්‍යුත් මාධ්‍ය මගින් අදහස් දැක්වීමේදී ව්‍යාකූල සහ පක්ෂපාතී වීමට ඉඩ ඇති බැවින් ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ අදහස් නොදැක්විය යුතුය.
04. රූපවාහිනි, ගුවන්විදුලි වැඩසටහන්වල එක් පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන හෝ තවත් පාර්ශ්වයකට අගතියක් ගෙන දෙන පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය.
05. මැතිවරණ කාලසීමාවේ මැතිවරණය සෘජුවම සම්බන්ධ වන වැඩසටහනක් ප්‍රචාරය කරන්නේ නම් පිටපත් රචක, නිවේදක හා සංස්කාරකවරයාගේ නම් හෙළිදරව් කළ යුතුය.
06. යම් අපේක්ෂයෙකුට විරුද්ධව තහවුරු නොකළ හැකි සහ නිරවද්‍යතාව ඔප්පු කළ නොහැකි චෝදනා ප්‍රචාරය නොකළ යුතුය.
07. කණ්ඩායම් සාකච්ඡා සඳහා සහභාගිවන්නන් තෝරාගැනීමේදී සියලු‍‍ම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිවන්නන්ගේ සංයුතිය තුලනය වන ආකාරයෙන් සාධාරණ ලෙස කටයුතු කළ යුතුය.
08. වැඩසටහනකට සහභාගි වන යම් තැනැත්තකු ප්‍රවීණත්වයක් නොදක්වන යම් භාෂාවක් යොදා ගනිමින් එම සහභාගිවන්නාට අගතියක්වන ආකාරයට වැඩසටහන මෙහෙයවීමෙන් වැළකිය යුතුය.
09. ඡන්දයක මත විමසුමක ප්‍රතිඵල විකාශය කරන්නේ නම් එම මත විමසුම සිදු කරන ලද සංවිධානයේ නම, ඒ සඳහා මුදල් ලබා දුන් ආයතන, ඒ සඳහා යොදා ගන්නා ලද ක්‍රමය, නියැදියේ ප්‍රමාණය, දෝෂ සීමාව සහ ක්ෂේත්‍රයේ සමීක්ෂණය කළ කාලසීමාව සඳහන් කළ යුතුය. එමෙන්ම එම මත විමසුම පවත්වන ලද අවස්ථාවේ පැවැති මහජන මතය පමණක් එයින් පිළිබිඹු වන බවද ප්‍රකාශ කළ යුතුය.
10. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිත අවසරයක් නොමැතිව යම් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ හෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීමෙන් වැළකිය යුතුය.
11. මැතිවරණ දිනයට පෙරාතුව විකාශය කරන ලද අපේක්ෂයන් පෙනී සිටින වැඩසටහන් සහ ප්‍රකාශ ඡන්ද විමසීමේ දිනට පෙරාතුවම පවතින නිහඬ කාලසීමාව තුළ දී ප්‍රචාරය කිරීම නොකළ යුතුය.
12. ආගමික විශ්වාස, ඇදහිලි, කථන භාෂා, වාර්ගිකත්වය, චාරිත්‍ර හා කුල ගෝත්‍ර ඇතුළු විවිධ හේතු පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ වෛරය හා නොඉවසනසුළු බව ඇති වන හෝ ඇති කරවන ආකාරයට ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතුය.
13. සෑම මාධ්‍ය ආයතනයක්ම, සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාකාරීන් අතර වෛරී සහගත දේශපාලනයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු ප්‍රචාරය කිරීමෙන් වැළකිය යුතුය.
14. යම් අපේක්ෂකයෙකු විසින් අතීතයේ දී කරන ලද ප්‍රකාශයක් එම ප්‍රකාශය කරනු ලැබූ තැනැත්තාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව නැවත පළ කිරීමෙන් හෝ නැවත විකාශය කිරීමෙන් වැළකිය යුතුය.
15. නිර්නාමික දැන්වීම් හෝ ප්‍රචාරණ හෝ ව්‍යාජ තැනැත්තන් හෝ සංවිධානවල නම් යටතේ කරනු ලබන දැන්වීම් හෝ ප්‍රචාරණ ආවරණය නොකළ යුතුය. ඒ සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍ය ආයතන වෙත පැවරේ.
16. මැතිවරණ කාලසීමාවක් තුළ දී, මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කිරීම සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා සමාජ වෙබ් අඩවි පරිපාලකවරුන්ගේ ද කේබල් රූපවාහිනි නාලිකා හිමිකරුවන්ගේද වගකීම වන්නේය.

සියලු‍ උපමානයන් මෙතැනින් කියවන්න >>  

Adapted from praja.lk