රනිල් – සජිත් සම්මුතියක්; සාකච්ඡා අද

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
Sinhala Tamil English Translations and Content Writing
සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණයක් අද සවස ද කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබේ.
පක්ෂය භේදභින්න කර නොගන්නා සම්මුතියකට යාමට මේ වන විට දෙපාර්ශ්වය ම උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට තමන් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.
යාපනය කොටුවේ පැවැත්වෙන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මහජනයා අමතමින් ඔහු මෙසේ පැවසී ය: ” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීමට ජනවරම ලබාදෙන්න. එලෙස සම්මත කරගනු ලබන ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලය විමද්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙනවා. නව ව්‍යවස්ථාව ගෙන ඒමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ පියවර ගණනාවක් ගත්ත ද ආණ්ඩුවට බහුතරයක් නොමැතිවීම නිසා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වුණා.”
සජිත් ප්‍රේමදාසට අගමැති පදවිය ලබා දෙන බවට ගිවිසුමකට එළැඹියහොත් ඔහු එකඟ වීමට ඉඩ තිබෙන බව එජාපයට සමීප ආරංචි මාර්ග පවසයි. පටු පෞද්ගලික අරමුණු සහිතව තමන් පසුපස එන පිරිස්වලට රැවටී පක්ෂය තුළ සිය අනාගතය අහිමි කරගැනීමේ සූදානමක් සජිත් ප්‍රේමදාස තුළ නැති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර කැමැත්තක් නැති බව වාර්තා වේ. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපති විසින් අගමැති ධුරය සඳහා නම් කරන්නේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයාට ය. එම තත්වය තුළ අගමැති අපේක්ෂකයකු නම් කිරීම නීත්‍යානුකූල ද නැත.
මේ වන විට ඔහු පසුපස යමින් සිටින්නේ එජාප නායකයන් අතරින් ඉතා සුළු පිරිසක් පමණි. මේ වන විටත්, ඔවුන් අතරින් ඇතැම් කණිෂ්ඨයන් එජාප නායකයන් නොතකා හරිමින් ජනාධිපති සජිත් ප්‍රේමදාස යටතේ අගමැති තමන් බව ප්‍රකාශ කරන්නට යාම ද සජිත් ප්‍රේමදාසට පක්ෂය තුළ අවාසිදායක තත්වයක් නිර්මාණය කර තිබේ.
පක්ෂ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
මේ අතර, වාමාංශික ප්‍රභවයක් සහිත, 80හැවිරිදි වයෝවෘද්ධ දේශපාලනඥයකු වන වාසුදේව නානායක්කාරගේ ප්‍රකාශයක් හේතුවෙන් සජිත් ප්‍රේමදාසට එරෙහිව කුලවාදය ඇවිළවීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නැඹුරුව පෙන්නුම් කරන ලදී. සජිත් ප්‍රේමදාස මෙන් ම ඔහු වටා ගොනු වී සිටින පිරිසෙන් අති බහුතරය ද සිංහල බෞද්ධ, ගොවිගම නොවන වෙනත් කුලවලට අයත් පිරිස් ය.
එසේම, සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන ප්‍රබල නායකයකු වන ඉරාන් වික්‍රමරත්න ඉවැන්ජලික ආගමික නිකායක නායකයකු වීම ද සිය මැතිවරණ ව්‍යාපාරයේදී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව ආගම්වාදය ඇවිළවීමට භාවිතා කිරීමට පොදුජන පෙරමුණ සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
සිංහල, බෞද්ධ, ගොවිගම නොවන වෙනත් කුලවලට අයත් දේශපාලකයන්ට පක්ෂයේ පමණක් නොව රජයේ ජනාධිපති පදවිය දක්වා නායකත්වය කරා පැමිණීමට අවස්ථාව ලබාදුන් ලංකාවේ එක ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින්, ලංකා සමසමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය මීට පෙර සිංහල, බෞද්ධ, ගොවිගම නොවන අයට හිමි වී තිබේ. එහෙත්, වර්තමානය වන විට එකී පක්ෂ ද ඇතුළු සියලු සිංහල මූලික දේශපාලන පක්ෂවල නායකත්වය අත්පත් කරගෙන තිබෙන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම කුලයට අයත් අයයි. වෙනත් කුලයක නායකත්වය ඇත්තේ එතරම් ප්‍රධාන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි ජාතික නිදහස් පෙරමුණේ පමණි.
මාතර ‘සජිත් එනවා’ රැළිය සංවිධානය කළ, එහෙත්, කුරුණෑගල රැස්වීමේදී දකින්නට නොලැබුණ මංගල සමරවීර මුදල් ඇමතිවරයා සමග අගමැතිවරයා එක්ව සිටින ඡායාරූපයක් මෙහි පළ වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා