2019-09-10

ගොවියෙක් කතා කරයි; අප සැමට වස කඩේ මුදලාලිගේ පිහිටයි!

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල

වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේ නස්පැත්තිය නවත්තන්න.
Sinhala Tamil English Translations and Content Writing
අපට ලෙඩ රෝග හැදෙනවා. ඒවට බෙහෙත් කරනවා. හැදෙන්න කලින් වළක්වන්න ක්‍රම තියෙනවා. වසංගතයක් නම් පැතිරිලා යන එක නවත්තන්න වැඩ කරනවා. ඉංග්‍රීසි, සිංහල වෙදකම්, ගොඩ වෙදකම්, ගස් වෙදකම් ආදී නොයෙක් වෛද්‍ය ක්‍රම තියෙනවා. බෙහෙත්වලින් අතුරු ආබාධ ඇතිවෙනවා සමහරවිට. බෙහෙත්හේත් විෂ වෙන වෙලාවලුත් තියෙනවා.
අපේ ගොවිතැනටත් ඒ කාරණේ ඒ විදියමයි. බෙහෙත් නොබී ලෙඩ සුව වෙන්නේ කලාතුරකින්. වගා වලට හැදෙන රෝගඑවලටත් බෙහෙත් ඕනැ. හේතු හරියට හොයා බලා පිළියම් කරන්න ඕනැ. ඖෂධ ගන්නේ කොහොමද, කොපමණද, කොයි වෙලාවෙද කියන එක හරියට තීරණය කරන්නට ඕනැ.
වෛරස්, බැක්ටීරියා, දිලීර, පරපෝෂිතයෝ අපට වගේම ගහ කොළවලටත් පොදුයි. මැස්සන්, සතුන්, සුළඟ, වැස්ස, තෙතමනය, වියළිබව ආදිය රෝග පතුරවන්නට හේතු වෙනවා වගේම රෝග අඩු කරන්නත් සමහරවිට හේතු වෙනවා. ගොවිතැන් කරනවිට නියම කාලය වෙලාව තෝර ගන්න ඕනැ. ගොවිතැන් සරු වෙන නිසරු වන කාලගුණ, දේශගුණ හේතු තියෙනවා. මෙව්වා ගැන සහසුද්දෙන් දැන ගත්තොත් විතරයි ගොවිතැන් ලෙඩරෝගවලින් බේරගන්න පුළුවන් වෙන්නේ.
සමහර ගොවිතැන් වසවිස නැතුව කරන්න පුළුවන්. සමහර ඒවාට යන්තම් මුහුකරාම ඇති. හැබැයි බොහොමයක් වගාවල් බෙහෙත් නැතුව කරන්න බැරි ගානයි. සමහර ලෙඩ රෝග වසංගත වගේ පැතිරෙන්න ගන්නවා. පහුගිය කාලේ කතාබට ලක්වුණ සේනා දළඹුවාගේ හානිය එහෙම එකක්. කීඩෑ හානිය තවත් එකක්. ඒ නිසා සමහර වෙලාවට කුඹුරු යායවල් පිටින් ගිනි තියලම දාන්න වෙනවා.
ඒ වගේ ලෙඩරෝග පැතිරුණාම කෘමිනාශක නැතිව ඒවා මැඩ පවත්වන්න බෑ. වතුර, ගින්දර, සුළඟ, විදුලිය වගේ දේවල් හැම එකක්ම බොහොම අනතුරුදායකයි. ඒ වුණාට අපට ඒ හැමදේම ඕනැ. මේ හැම එකක් ම බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනැ. සහමුලින්ම අහකදාන්නවත් සෙනෙහෙවන්තකමට බදාගන්නවත් බෑ. තරම දැනගෙන පාවිච්චි කරන්න ඕනැ.
කෘමිනාශක, වල්නාශක, පලිබෝධනාශක ආදියත් එහෙමයි. වස විස නොදා වගා කොරපල්ලා කිව්වට විතරක් හරියන්නෙ නෑ. මේ රටේ ඉන්න කෝටි දෙකකට වැඩි සෙනගගෙ බඩවල් පුරවන්නත් එපායැ. පිටරටින් ගෙනැල්ලා කොතෙක් කියලා පිරිමහන්න ද? ඉස්සල්ලම කරන්න ඕනේ අපේ රටට උවමනා තරම් එළවළු පලතුරු ටික මෙහෙම හදා ගන්න එක.
අපේ ගොවිතැන්වලට වස විස දමන්න වෙන ලොකුම හේතුව තමයි බොහොමයක් බෝග බරපතළ විදිහට ලෙඩ රෝග, කෘමි හානිවලට ගොදුරු වෙන එක. අපි වැඩියෙන්ම ආහාරයට ගන්න වම්බටු, වට්ටක්කා, තක්කාලි, අමුමිරිස්, බෝංචි, ලීක්ස්, ගෝවා, කරවිල, වැටකොළු පතෝල වගේ වගාවන්වලට රෝග කෘමි හානි ගොඩක් වැඩියි. දිලීර, වයිරස් රෝග පාලනය කරන්න ඝන සැරේටම තෙල් බෙහෙත් ඕනෑ.
වගාවල ලෙඩ රෝග පතුරුවන්නේ මැස්සෝ, මැක්කෝ, කූඩිත්තෝ ආදී සත්තු සහ හුළඟ වගේ දේවල්. මේ හානි පාලනය කරන්න පුළුවන් නවීන ක්‍රම තියෙනවා. සතුන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න, හුළඟ වළක්වන්න, වැස්සෙන් අව්වෙන් ආරක්ෂා කරන්න පුලුවන් විදිහේ ආවරණ ඇති ආරක්ෂිත හරිතාගාර තියෙනවා. එතකොට මේ ප්‍රශ්න හුඟක් මග ඇරෙනවා නමුත් එවැනි දේවලට ලොකු මුදලක් යට කරන්න ඕන. ගොවියන්ට ඒක ලොකු ගැටලුවක්.
රෝගවලට, පලිබෝධවලට ඔරොත්තු දෙන වැඩිදියුණු කළ භෝග වර්ග හා නවීන වගා ක්‍රම හොයාගන්න, හඳුන්වාදෙන්න ඕන ඒව කරන්න දැනුම් තේරුම් ඇති අයයි. ඒ වගේම, අපේ මුතුන් මිත්තන් වගා කරපු පැරණි ප්‍රභේද මේ රෝගවලට යම් තරමකට ඔරොත්තු දුන්නා. ඒ වගේම, ඒ කාලෙ භාවිතා කරපු නොයෙක් නොයෙක් පාරම්පරික කෙම් ක්‍රම ආදිය නැවත සොයාබලන්න ඕනැ. ඒවා අපි ඒ වගාවන්වලට යොදා නැවත අත්හදාබලන්න ඕනැ.
අපේ රටේ ගොවිතැනට බහින අය හැම අතින් ම හොඳටම පල්ලම් බැහැපු මිනිස්සු. මිල මුදලින් වත් පොහොසත්කමින් දැනඋගත්කමින් ආදී මේ හැම එකෙඅන්ම පහළට වැටුණු පිරිසක් ගොවිතැන තමන්ගේ රැකියාව කරගන්නේ වෙන කරන්නම දෙයක් නැති වුණු තැනයි. කැමැත්තෙන් ගොවිතැන තෝරගත්තු ගොවියෝ කීදෙනෙක් මේ කොදෙව්වේ ඇතිද? වස බෝතලයෙ ලේබලය කියවන්න දන්නෙ නැති, දැන ගත්තත් කියවන්නෙ නැති, වස කඩේ මුදලාලිගේ උපදෙස් වලට ගොවිතැන් කරන අපේ ගොවියන්ට මේවා නිනවුවක් නෑ. ඔවුන් බලන්නේ තමන් කරන ගොවිතැනෙන් ගන්න ආදායම එදිනෙදා ජීවත් වෙන්න සෑහෙනවා ද කියන එක විතරයි. මුළු සේසතම දියකරලා දහඅට රටට ණයවෙලා කරන ගොවිතැන් නිසා අන්තිමට ලෙඩරෝග හැදුනොත්, ඉදිරි කාලෙ ජීවත් වෙන්න විදිහක් නැති උනාම පිහිට පතන්න වෙන්නෙත් ඔය වස බෝතල්ම තමයි.
ඒ හන්දා ගොවියන්ට ඕන මොන ක්‍රමයකට හරි වගා අස්වැන්න වැඩි කරගන්න. ආදායම් වැඩි කරගන්න. ඒ හන්දා ඉතින් වස කඩේ මුදලාලිට ලෙඩේ කිව්වම ඕකට අරක ගහපං, මේක ගහපං, මේ දෙක තුනම ගහපං කියලා දෙනවා. ඕන් ඉතින් අපිත් ගහනවා. ගහන අපිත් ඉවරයි. ගහපුවා කන අයත් ඉවරයි. ලෙඩේ එහෙමමයි. ගොවිතැන් කරලා උපයාගත්ත තුට්ටු දෙකත් වස බෝතලයට ඉවරයි.
මේ විදිහට ගියොත්, වැඩිකල් නොගිහින් ඇතිපදම් වියදම් කරන, හැම අතින්ම හයිය හත්තිය ඇති මහා සමාගම් අතට එළවළු පලතුරු ගොවිතැන සින්නක්කරයට ම ලියවෙනවා. දැනටත් ඒක සෑහෙන දුරට වෙලා තියෙන්නේ. අපේ කොල්ලන්ට වෙන්නේ ඒ තැන් වල කුලී වැඩට යන්න. රට කරවන ඇත්තොයි ඉස්සරහට ඒ කාරියට අත ගහන්න ඉන්න ඇත්තොයි කවුරුත් මේ කාරණා හිතට අරගෙන විසඳුමක් ගැන හිතුවොත් හොඳයි. නැත්තං හැමෝටම වස බෝතලය පිහිටයි! වස බෝතලය සරණයි!