පුවත් අධි සංවේදීකරණය හා ව්‍යාජ පුවත් නිර්මාණය උදාහරණයකින් තේරුම් ගැනීම

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 30 ලංකා පුවත්පතේ ද පළ වේ)

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වාර්තාකරුවා මූලිකව කළ යුතුව තිබෙන්නේ සිදු වූ දෙය සිදු වූ පරිදි කීම යයි සම්ප්‍ර‍දායික පුවත්පත් කලා අධ්‍යාපනයේදී පැවසේ.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing
එහෙම කීවාට එය කවදාවත් එසේ වී නැත. වාර්තාකරුවා භාවිතා කරන වචනවලින්, පුවතට එකතු කරන අමතර විස්තර හා ඡායාරූප ආදියෙන් ඍජුව ම නොවුණත් අදහසක්, හැඟීමක් සන්නිවේදනය කළ හැකි ය. එපමණක් නොව, පුවත පළ කරන ස්ථානය, පුවතට දමන හෙඩිම ආදී අමතර කරුණු ද එහිදී බලපෑමක් කරයි. දැන් නම්, රූපවාහිනී පුවත් වාර්තාකරණයේදී පසුබිම් සංගීතය පවා යොදාගන්නා බව පෙනේ.
අප කැමති වුවත්, නැතත්, මේවා සිදුවීම වළක්වන්නට බැරි ය. ප්‍රවෘත්ති මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරිත්වය නිසාත්, මාධ්‍යකරුවන්ට ගෙවන අඩු වැටුප් නිසාත්, අඩු වැටුපට වැඩ කරන මාධ්‍යකරුවන්ට තිබෙන අඩු ධාරිතාවන් නිසාත්, සරල, සංවේදී, නොගැඹුරු පුවත්වලට ඇති සමාජ කැමැත්ත නිසාත් එසේ සිදුවීම වළක්වාගත නොහැකි ය.
මෙම පසුබිම තුළ අපට කළ හැකි එක ම දෙය වන්නේ මෙකී ප්‍රයෝග අතරින් සත්‍යය තේරුම් ගත හැකි බුද්ධිමත් ග්‍රාහකයකු නිර්මාණය කිරීම සඳහා උත්සාහ කිරීමයි. එවැනි ග්‍රාහකයකු දෙවන අදියරේදී හොඳ පුරවැසි මාධ්‍යකරුවකු බවට ද පරිවර්තනය කරගත හැකි ය. ප්‍රවෘත්ති මාධ්‍ය අනාගතය තුළ පුරවැසි මාධ්‍යකරණයේ අවකාශය දවසින් දවස පුළුල් වන එකකි. මේ අතර, ප්‍රවෘත්ති වාර්තාවක් සියුම් ලෙස විශ්ලේෂණය කරගැනීමේ සබුද්ධිකභාවය නැති ග්‍රාහකයා කූට පුවත් වාර්තාකරුවාගේ අසරණ ගොදුරක් බවට පත් වීම වැළැක්විය නොහැකි ය.
අනෙක් පැත්තෙන්, ප්‍රජා පුරවැසි මාධ්‍ය අවකාශයේ අප මේ පිළිබඳ සිතන ආකාරය තරමක් වෙනස් ය. අප සිතන පරිදි ප්‍රවෘත්ති වාර්තාකරණය ද සමාජය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන දැනුවත් කිරීමේ ක්‍රියාමාලාවේ කොටසකි. එහිදී සමාජ සංවර්ධනය සඳහා ඉවහල් වන පරිදි සාධනීය මතවාද ප්‍රවර්ධනය වන අයුරින් පුවත් වාර්තාකරණය සිදුකිරීමෙහි වරදක් නැත. සරලව කියනවා නම්, අප නම් පුවත් වාර්තා කරන්නේ ගතානුගතික පුවත්පත් කලා මූලධර්ම ආරක්ෂා කරන්නට නොවේ. සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්නට ය. පුද්ගලයන්ගේ චර්යාවන් යහපත් අන්දමින් වෙනස් කරන්නට ය. යහපත් යන්නට අපට අර්ථ නිරූපණයක් තිබේ. අප කරන්නේ ප්‍රවෘත්ති වාර්තා කරන රස්සාවක් නොවේ. සමාජය වෙනස් කරන අරගලයකි. එය පුරවැසි මාධ්‍යකරණයේ මූලික ලක්ෂණයකි.
සංවේදී පුවත් වාර්තාකරණයේදී වාර්තාකරුවා සමාජ තත්වයන් පිළිබඳ දැඩි ලෙස සංවේදී විය යුතුයි. තමන් කරන වාර්තාකරණය වෙනත් අයෙකුට ඉතා සංවේදී විය හැකි බව වාර්තාකරුවා දැන සිටිය යුතුයි. එහිදී කිසිවෙකුට වරදක් සිදු නොවන අයුරින් වාර්තාකරණය සිදුකිරීම වෘත්තීය පුවත්පත් කලාවේදියකුගේ වගකීමක්. පොදු වැදගත්කමක් නොමැති නම් යමෙකුගේ පෞද්ගලිකත්වයට අප ගරු කළ යුතුයි. මහජන මුදලින් යැපෙන දේශපාලකයකුගේ හෝ රාජ්‍ය නිලධාරියකුගේ ඇතැම් පෞද්ගලික කාරණාවක් පොදු වැදගත්කමකින් යුක්ත විය හැකිමුත්, සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලිකත්වයේ අයිතියට මාධ්‍ය ගරු කළ යුතුයි.
වර්තමානයේ භයානක ගැටලුවක් වී තිබෙන පුවත් අධි සංවේදීකරණය හා ව්‍යාජ පුවත් කෙරෙහි සමාජයේ අවධානය යොමු විය යුතු ය. ව්‍යාජ ප්‍රවෘත්තියක් හඳුනාගැනීමේ මෙන් ම අධි සංවේදීකරණයට ලක් වූ පුවතක යථාර්ථය වටහාගැනීමේ මාධ්‍ය සාක්ෂරතාව ග්‍රාහකයන් තුළ ගොඩනැගිය යුතු ය. සරලව කියනවා නම්, මාධ්‍යකරුවන් ප්‍රවෘත්ති විකුණාගැනීම සඳහා උලන බාල අයිසිං යටින් ඇත්ත හඳුනාගැනීමේ හා ඒවාට නොරැවටී සිටීමේ සියුම් හැකියාව මාධ්‍ය ග්‍රාහකයන් වන අපට තිබිය යුතු ය.
මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ ප්‍රධාන අනුග්‍රහයෙන් ජනපෝෂ නම් ආයතනයක් විසින් කොළඹ මහ රෝහල, කළුබෝවිල මහ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල අසල පවත්වාගෙන යන දන්සැල් මගින් දිනකට රෝගීන් සහ රෝගීන්ගේ උපකාරයට සිටින අය 2000කට පමණ උදේ සහ දිවා ආහාර ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේගේ ප්‍රකාශයක් පදනම් කරගෙන දිවයින පුවත්පතේ පසුගිය ජුනි 22දා පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ. එම වාර්තාවේ දැක්වෙන ආකාරයේ ජාතිවාදී ප්‍රකාශ කිසිවක් තමන් කිසි සේත් ම දිවයින පුවත්පතට නොකළ බව ගාමිනී ලොකුගේ ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි. ගාමිණී ලොකුගේ මෙම ප්‍රකාශය දිවයින පුවත්පතට සිදු කළ බව තහවුරු කිරීමට සාධක දිවයින පුවත්පත සතු විය යුතු ය. එසේ නොමැති නම්, දිවයින පුවත්පතේ මෙම වාර්තාව ව්‍යාජ පුවතකි. එහි අරමුණ වන්නේ සත් චේතනාවෙන් සිදු කරන බව පෙනෙන සමාජ සේවා කටයුත්තකට අකුල් හෙළා, බාධා කර, කඩාකප්පල් කරදැමීම විය හැකි ය. එසේම, එය නිර්මාණය කරනු ලබන්නේ ජනවාර්ගික ගැටුම් ඇති වී තිබෙන සංවේදී වකවානුවක ය. එම ගැටුම් තීව්‍ර කිරීමේ අරමුණක් මෙම පුවත්පතට හා මෙම ප්‍රවෘත්ති ලේඛකයාට තිබෙනවා විය හැකි ය. මෙවැනි පවිටු අරමුණු සහිත ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යම් යාන්ත්‍රණයක් අවශ්‍ය බවට මෙම පුවත කදිම නිදසුනකි.
මෙම ලිපියේ අග දැක්වෙන උදාහරණය ඇසුරෙන් අපට වාර්තාකරුවන් ප්‍ර‍වෘත්තියක් අධි සංවේදීකරණයට ලක් කරන හැටි තේරුම් ගත හැකි ය. උපුටාගත්තේ දිවයින පුවත්පතෙන් වීම පුදුමයට කාරණයක් නොවේ.
මෙම ප්‍ර‍වෘත්තිය වනාහි සුළු සොරකමකි. කාන්තාවක ඇගේ මිතුරියකගේ සැමියාගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කරගෙන එයින් රු. 27,000ක භාණ්ඩ ලබාගැනීමේ චෝදනාව මත ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇයට ඇප ලැබී තිබේ. ප්‍රවෘත්තිය එපමණකි.
අනෙක් සියල්ල මේ නොවැදගත් පුවත සංවේදීකරණය පිණිස යොදාගන්නා ලද ප්‍රවෘත්තියට අදාළ නැති විස්තර ය.
සොරකම කර තිබෙන්නෙ විශ්‍රාමික හමුදා නිලධාරියකුගෙනි. එම නිලධාරියා අතීතයේ යම් කලෙක දිගුදුර විහිදුම් බලකායේ ද සේවය කර තිබේ. කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සගයකු වූ ශංකර් මරා දමනු ලැබුවේ මෙම දිගුදුර විහිදුම් බලකාය විසින් බව කියැවේ. එම පසුබිම මෙම ප්‍රවෘත්තියට සම්බන්ධ කරගෙන ඇති ආකාරය සහ මාතෘකාවට පවා යොදා ඇති ආකාරය බලන්න. ක්‍රෙඩිට් කාඩ් හිමියා ප්‍රභාකරන්ගේ පරිවර්තක මැරූ නිලධාරියා ලෙස මාතෘකාවෙන් හඳුන්වා ඇත.
මෙම සොරකම කර තිබෙන කාන්තාවගේ සැමියා ද හමුදා නිලධාරියෙකු බව මෙම පුවත අනුව පෙනේ. සොරකමකට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවකගේ සැමියා රැකියාව කරන ස්ථානය විස්තර කර ඇති ආකාරය බලන්න. එම විස්තරය අනුව අදාළ සැමියා හඳුනාගැනීම ඉතා පහසු ය. බිරිඳ කළ ක්‍රියාවක් නිසා මෙහිදී වැඩි නරක අවධානයකට ලක් කෙරෙනුයේ සැමියා ය. එහි තිබෙන සදාචාරය කුමක් ද? මෙම මාධ්‍යකරුවා මෙසේ ලියන්නේ කාගේ හෝ ද්වේෂ සහගත උවමනාවක් මත වන්නට බැරි නැත. ඒ වෙනුවෙන් මෙම මාධ්‍යකරුවා එම මාධ්‍ය අවකාශ්‍ය භාවිතා කරයි. ඔහු ඒ වෙනුවෙන් තුන්වන පාර්ශ්වයකින් යම් යම් වාසි ලබාගන්නවා ද යන සාධාරණ සැකය මතු වේ.
මෙහෙම බලනවිට එය හාස්‍යජනක යයි සිතෙන්නට හැකි වුවත්, කුඩා,නොවැදගත් ප්‍රවෘත්තියක් විකුණාගන්නට මෙම මාධ්‍යකරුවා එය අයිසිං කරන ආකාරය ඇත්තට ම පුවත්පත් කලාව පැත්තෙන් නම් කණගාටුදායක ය. මේ රටේ මාධ්‍යවලට මගහැරෙන පුවත් කොතරම් නම් තිබේ ද?

ප්‍රභාකරන්ගේ පරිවර්තක මැරූ නිලධාරියාගේ ක්‍රෙඩිට්‌ කාඩ් එකෙන් වංචා කරලා; බලලත් නිලධාරියකුගේ බිරිඳ අත්අඩංගුවට

සමන් ගමගේ (දිවයින 2019 ජුනි 15)

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ භාෂා පරිවර්තක වූ ශංකර් නමැති කොටි ත්‍රස්‌තවාදියා ඝාතනය කළ යුද හමුදා දිගුදුර විහිදුම් බළකායේ විශ්‍රාමික නිලධාරියකුගේ නිවසින් ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ සොරාගෙන මුදල් වංචා කළ බව කියන යුද හමුදා මූලස්‌ථානයේ පිරිස්‌ පාලන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ බලලත් නිලධාරියකුගේ බිරිඳ අත්අඩංගුවට ගත් කිරුළපන පොලිසිය 12 වැනිදා ඇය ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
කොළඹ ඇන්ඩර්සන් පෙදෙසේ යුද හමුදා විවාහක නිවාසවල එල් කොටසේ පදිංචි සැකකාරිය දිගුදුර විහිදුම් බළකායේ විශ්‍රාමික නිලධාරියාගේ බිරිඳ සමග මිතුරු වී නිවසට යන එන අතරේ මෙම ක්‍රෙඩිට්‌ කාඩ් සොරකම සිදුකර තිබෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

තමා ක්‍රෙඩිට්‌ කාඩ්පත සොරාගෙන එයින් රුපියල් 27000 ක භාණ්‌ඩ ලබාගත් බව පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී පිළිගෙන ඇත. මෙම සැකකාරියට එරෙහිව මීට පෙර කිරුළපන, නාරාහේන්පිට සහ යුද හමුදා පොලිසිය මගින් ද සොරකම් සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්‌ සිදුකර තිබේ.

ප්‍රසිද්ධ ගායිකාවකගේ මිත්තණියගේ රන් භාණ්‌ඩ සොරකම් කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ද සැකකාරියට එරෙහිව මීට පෙර පැමිණිල්ලක්‌ ලැබී තිබුණු බව කිරුළපන පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.
ව්‍යාජ පුවත් හා අධි සංවේදීකරණයට ලක් කරන ලද පුවත්වල අහිතකර බලපෑම් වළක්වා ගැනීම නිති සම්පාදනයෙන් කෙතරම් දුරට කළ හැකි ද යන්න පිළිබඳ මතභේද තිබේ. දැනට පවත්නා නීති ඔස්සේ මෙන් ම අලුතෙන් පැනවිය හැකි නීතියකින් ද ව්‍යාජ පුවත් කොටු කරගැනීම ලෙහෙසි නැත. මෙම පුවත් හඳුනාගැනීමේ හා ඒවා බැහැර කිරීමේ හැකියාව ජනතාව තුළ ගොඩනැගිය යුතු අතර, ව්‍යාජ පුවත් නිරීක්ෂණයටත්, ඒවාට එරෙහිව සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමටත් බරපතල වගකීමක් ප්‍රගතිශීලී මාධ්‍යකරුවන්ට තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා