නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන මුත් ලංකාවේ භික්ෂූන් නීතිය ඉදිරියේ වැඩිපුර සමාන ය

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි විසින් දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසු පැවැත්වූ කතාව රියන් දෙකක්වත් ඉදිරිය නොදැක කළ මඩකෙළිනා කතාවකි.
(දැන්වීමකි)
Sinhala Tamil English Translations and Content Writing
තවමත් කිසිදු චෝදනාවක් ඔප්පු නොවූ, චෝදනා ගොනුකිරීමක්වත් සිදු නොවූ, දිවයින පුවත්පතේ සාක්ෂි මත පදනම් නොවූ කතාවක් හා ඊ්ර්ෂ්‍යා පරවශ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින, වෛරී මාධ්‍යවල හා පුද්ගලයන්ගේ උවමනාව පරිදි පැමිණිලි එක්රැස් කරමින් තිබෙන කුරුණෑගල රෝහලේ දොස්තර ෂාෆි සම්බන්ධයෙන් උක්ත මහනාහිමි පවසන්නේ මෙසේ ය:
“ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මම එහෙම කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි.”
මුස්ලිම් වෙළඳාම් වර්ජනය කළ යුතු බව කියමින් අස්ගිරි නාහිමි පැවසුවේ “මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා,” කියා ය.
මෙම ප්‍රකාශ ඉතා පැහැදිලිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි යටතට වැටේ. මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.
නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන මුත් ලංකාවේ පවතින තත්වය තුළ භික්ෂූන් නීතිය ඉදිරියේ වැඩිපුර සමාන ය. මහනායක හිමි කිව්වා ම උපරිම සමාන ය. ඒ නිසා ලංකාවේ පොලිසියට හෝ දේශපාලකයන්ට හෝ කිසිවක් කරන්නට බැරි ය.
බෞද්ධ භික්ෂූන්ගේ නායකයන් මේ අන්දමින් රටේ නීති උල්ලංඝනය කරමින් ඉතා අඳබාල ප්‍රකාශ කරමින් සිටින සංදර්භයක් තුළ ජාතික චින්තන මහාචාර්ය නලින් ද සිල්වා ගෝඨාභය රාජපක්ෂ පෙරටු කරගෙන බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ අපැහැදිලි අදහසක් ද ප්‍රවර්ධනය කරමින් තිබේ.
ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශව‍‍යේ මහනායක හිමියන් ‍ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති උපාධ‍්‍යායවරයා ය. එහිමියන් අස්ගිරිය වි‍‍ජේසුන්දරාරාම පුරාණ විහාරය, පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරය හා බෝරුප්ප බෝධිමළු විහාරය යන විහාරයන්හි ද අධිපතිත්වය හෙබවූ, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ හිටපු අනුනායක හිමිවරයෙකි.
එහිමියන්ගේ ගම හාරිස්පත්තුව, වරකාගොඩ ය. පියා දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේ වන අතර මව අලකොලදෙණියේ දුක්ගන්නා රාළලාගේ පිංචිඅම්මා ය. 1942 මාර්තු මස 18 වැනිදා උපත ලැබු ඔවුන්ගේ දරුවා 1955 අප්‍රේල් මස 7 වැනිදා අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී 1962 ජුනි මස 9 වැනිදා අධිශීල උපසම්පදාව ලැබුහ. බදුල්ල වි‍‍‍ද්‍යොත්තංස පිරිවෙණෙන් හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙණෙන් මුලික අධ‍්‍යාපනය ලැබු ඥානරතන හිමිඅනතුරුව අස්ගිරි මහා විහාර පිරිවෙණෙන් සහ පේරාදෙණිය සාරානන්ද පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය හැදෑරූහ. 1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව වසර 23 ක් ගුරුවරයෙකු ලෙස කටයුතු කොට ඇත.
එහිමියන්ගේ කතාව පහත වීඩියෝවේ දැක්වේ. උපුටා ගත්තේ ගගන යූටියුබ් චැනලයෙනි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා