ආරක්ෂක මෙහෙයුම් හා මාධ්‍ය රොමැන්තීකරණය

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ත්‍රස්තවාදී ව්‍යාපාරය පොඩිපට්ටම් කර දමමින් තිබෙන අතර තවත් බොහෝ ප්‍රචණ්ඩ ව්‍යාපාර ද හෙළිදරව් වෙමින් තිබේ. මෙය සෑහෙන සුද්දයකි. දැනට මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදු වන මුත්, සිංහල සමාජය තුළට ද මෙම ආරක්ෂක මෙහෙයුම් යා යුතු ය. එහෙම වුණොත් මේ අවස්ථාව උපයෝගී කරගෙන සිංහලයන් අතර තිබෙන තුවක්කු, පිස්තෝල, කඩු, කිණිසි, පුපුරන ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම්, එස්ලෝන් බට ආදී සියල්ල සුද්ද කර දැමිය හැකි ය.
කෙසේ වෙතත්, ආරක්ෂක මෙහෙයුම් හා මාධ්‍ය බිස්නස් එක වෙන් කළ යුතු ය. එක පැත්තකින් මාධ්‍ය ආරක්ෂක හමුදාවල මෙහෙයුම් කැත අන්දමින් විකුණාගෙන කන්නේ ය. ප්‍රවෘත්තිවලට මුහුණ දමාගන්නටත්, එමගින් උසස්වීම්වලට අවස්ථා ලබාගන්නටත් ලොබ බඳින නිලධාරීන් මාධ්‍ය හිඟන්නන්ගේ මේ උප්පරවැට්ටිවලට අහුවෙති. මුන්ව ඇන්දුවා යයි උන් සිතති. උන්ව ඇන්දුවා යයි මුං සිතති.
කෙසේ වෙතත්, අවසානයේ එක හත කර කීම් එමට බව පෙනේ. අප ද හරි හැටි නොදන්නා නිසා නිදසුන් දක්වන්නේ නැත. මාධ්‍ය ප්‍රවෘත්ති මොළෙන් සවන් දී වටහා ගන්න.
මාධ්‍ය එක පැත්තකින් ආරක්ෂක අංශ මෙහෙයුම්වල සාර්ථකත්වය විකුණන ගමන් අනෙක් පැත්තෙන් රට අනාරක්ෂිත ය යන දේශපාලන කැම්පේන් එක ද විකුණති.
මේ අතර, එම දේශපාලන කැම්පේන් එකට සම්බන්ධ පිරිස් සුළු සිද්ධි මහා අවුල් ජාලා බවට පත් කරන්නට දත මැදගෙන බලා සිටිති. මාධ්‍යවලට ඒවා ද නැවත වාර්තා කිරීමේ ලාභදායී අවස්ථාව ලැබේ.
අද දින පාසල් පැවැත්වීම අසාර්ථක කරන්නට මෙකී භීෂණය පතුරුවන මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම් ඉවහල් විය. කෙසේ වෙතත්, රට සාමකාමී විය. අනුමාන රහස්‍ය බුද්ධි අංශ වාර්තා දැන් පුවත්පත් නිවේදන වැනි ය. අදාළ පොලිස් නිලධාරීන් ඒවා යවන්නේ කෙළින් ම මාධ්‍යවලට ය. ආරක්ෂක ඇමති ජනාධිපතිතුමාටත් දැන් ලේසි ඇති. එතුමා කොහොමත් ප්‍රවෘත්ති දැනගන්නේ පත්තර බලලා ය.
කෙසේ වෙතත්, හෙට දින වන විට රට බොහෝ දුරට යථා තත්වයට පත් වනු ඇති බව අපි අනුමාන කරමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා