බලහත්කාර මාධ්‍ය පාලනය නවතනු! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඊට අදාළව සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පිළිබඳ වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍ය මගින් කිසියම් විනයක් හා ආචාර ධාර්මික තත්ත්වයක් අපේක්ෂා කළ යුතු වුවද, ඒ සම්බන්ධයෙන් මේවන විට රජය මැදිහත් වෙමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි  බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.
මීට පෙර මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදන මගින්ද, ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය මගින්ද අප අවධාරණය කළේ මෙවැනි සංවේදී තත්ත්වයන් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය ඊට සරිලන වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු බවයි.එහෙත් එය සිදුවිය යුත්තේ මාධ්‍ය ප්‍රජාව අතර නිසි අවබෝධයකින් යුතුව හඳුනාගනු  ලබන කිසියම් ආචාර ධාර්මික එකඟතාවයක් මත මිස නිලධාරිවාදි ප්‍රවේශයකින් නොවන බවද අපි අවධාරණය කළෙමු. එහිදි රජයට මෙන්ම ජනමාධ්‍ය සංවිධාන වලටද පහසුකාරක භූමිකාවක් ඇති නමුත් එය අධිකාරිවාදී රාජ්‍ය මැදිහත්වීමක් නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම ශ්‍රී ලංකික පුරවැසි සමාජය තුළ ඇති වි තිබෙන අවිශ්වාසය හා බිය දුරු කිරීම සදහා වත්මන් සිදුවීම්වල සත්‍ය තත්ත්වය මහජනතාවට සන්නිවේදනයවීම ඉතා වැදගත්ය. එම තොරතුරු මහජනතාවට නිවැරදිව වාර්තා නොවන තත්ත්වයක් තුළ නිල නොවන තොරතුරු වලට අනවශ්‍ය වටිනාකමක් හිමිවන බව වටහා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන්ට ඉඩ නොලැබෙන පරිදි මාධ්‍ය කළමනාකරණය කෙරෙන විධිමත් මඟ පෙන්වීමක් අද රටට අවශ්‍යව තිබේ.
එබැවින් මාධ්‍ය පාලනය සඳහා රජය දැනට ආරම්භ කොට තිබෙන අධිකාරිවාදි මැදිහත්වීමෙන් වැළැකී, මෙරට මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් යුතු ආචාර ධාර්මික එකඟතාවයක් සඳහා මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු වගකිව  යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා