කාශෝගී -2 එනවා

ක්ලෙමන්ට් නාමල් පීරිස්, කැල්ගරි, කැනඩා

සෞදි අරාබියේ ගෝත්‍රික රාජ තන්ත්‍රය (tribal monarchy ) විසින් තම විවේචකයන් අතුරින්  ඊලඟ ගොදුර කුමක්දැයි තීරණය කර ඇති බව විදෙස්  ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.ඒ, දැන් නෝර්වේ රාජ්‍යය තුල දේශපාලන රැකවරණ ඉල්ලා ඇති සෞදි ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ඉයද් එල් බග්දාදි ය. The Guardian පුවත් සේවය මෙන්ම Al-Jazeera ද  වාර්තා කර ඇති පරිදි ජාත්‍යන්තර ඔත්තු සේවා තොරතුරු මත පදනම්ව නෝර්වේ බලධාරීන් විසින් මෙම තරුණයාව හෙළි නොකරන ලද ආරක්ෂක ස්ථානයකට යවා ඇත.
සිය පාලන තන්ත්‍රයට වචනයෙන් නොව අදහස් හැඟීම් මත වුව එරෙහි වන්නන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට සෞදි ගෝත්‍රිකයන් පසුබට නොවන බව ඔප්පු වූයේ රජයට එරෙහිව කැරලි ගැසීම, ආගමට අපහාස කිරීම, ඉස්ලාම් ධර්මය තුළ බෙදීම් ඇති කිරීම ආදී චෝදනා මත සිරකරුවන් 37 දෙනකු හිස ගසා මරා දැමීම ගැන සිතන විටය. එහිදී මරා දැමීමට ලක්වූ 34 දෙනකුම සුළුතර ෂියා ප්‍රජාවට අයිති වූවන්ය. තරුණයන් තිදෙනකු අත් අඩංගුවට පත්ව ඇත්තේ බාල වයස්කාරයන් ලෙස වන අතර එක් අයකුට එරෙහිව නඟා ඇති චෝදනාවක් වනුයේ සෞදි තන්ත්‍රයට එදිරිව සාමකාමී විරෝධතා පා ගමනක් පිළිබඳ විස්තරයක් අන්තර්ජාලයට මුදාහැරීමයි.
පසුගියදා ලංකාවේ භූමිය තුල උන්මත්තකවාදී විනාශයන් සිදු කල සෞදි පිටු බලය ලබන ජමාද් කල්ලිය  වහාබ්වාදයේ Wahhabism තිඹිරිගෙය වන සෞදි අරාබියෙන් අනුප්‍රාණය ලබති. තම විරුද්ධවාදීන් කෙසේ හෝ ඝාතනය කිරීමේ උත්සුක බවෙන් පෙලෙන සියොන්වාදී මොසාඩ් සංවිධානයේ උපක්‍රමවලට ඉතා සමීප උපක්‍රම අනුගමනය කිරීමට දැන් සෞදි රජය පසුබට නොවේ. මේ අනුව සෞදි මෙහෙයුම් පසුපස ඊශ්‍රායලයේ අදිසි හස්තයක් තිබෙන්නේ දැයි පවා සැක සිතෙන මට්ටමට ඒවා සංවිධානය වී ඇත.
පසුගිය වසරේ ඔක්තෝබරයේදී තුර්කිය තුළ පිහිටි සෞදි තානාපති කාර්යාලය තුළදීම සෘජු සාක්ෂි නැති මිනිමැරුමක් සංවිධානය කිරීමට සෞදි ඔටුන්න හිමි  prince of death ලෙසින් හඳුන්වන මොහොමඩ් බින් සල්මන් හෙවත් MbS කුමාරයා සූක්ෂ්ම විය. ගොදුර වූයේ ජමාල් කාෂෝගී නැමැති සෞදි පාලනයේ සෘජු විවේචකයෙකි. ඔහුව මරා දැමීමට 30 දෙනකුගෙන් යුක්ත ඝාතක කන්ඩායමක්/ hit squad සෞදියේ සිට තුර්කිය දක්වා යැවීමට MbS කටයුතු සූදානම් කළේය. ඇතැමුන් පැමිණියේ පෞද්ගලික ජෙට් යානාවලිනි. තුර්කි වෝහාරික විශේෂකයන්ට/ forensic specialistට පවා තම පශ්චාත් පොලිස් පරීක්ෂාවන් අති අසීරු කරමින් කාෂෝගී ව මරා, සිරුර කැබලි වලට වෙන් කර ඒවා ‘අතුරුදහන්’ කරන ලද්දේ රියාද් නුවර ප්‍රධානතම අධිකරණ වෛද්‍ය නිලධාරියාය. සිද්ධිය නියමිත අයුරින් සිදු වේදැයි නිරීක්ෂණය නිරීමට MbS ගේ කාය ආරක්ෂක භටයන් දෙදෙනකුද මේ ඝාතක කන්ඩායමට කලින්ම ඇතුල් කර තිබිණි.  කාෂෝගී නිරුපද්‍රිතව කාර්යාලයෙන් එළියට ගිය බවට ලොවට ඒත්තු ගැන්වීමට සෞදිය විසින් යොදා ගත් අනුරූප පුද්ගලයා / body double පසුගිය සතියේදී අභිරහස් ලෙස ඝාතනය වී ඇත. එවන් විශ්වාස කළ නොහැකි ලෙසින් කුරිරු ලෙසට විරුද්ධවාදීන් ඝාතනය කරන සෞදීන් හට මේ ෂියා සුළුතරයේ තරුණයන් හුදු කැරපොත්තෝ වෙති.
⁣සෞදිය යනු අරාබි කලාපයේ දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන රටය. 2015 පටන් අසල්වැසි යේමනය සමඟ අහේතුක යුද්ධයකට පැටලී ඇති මෙම රට එහෙත් ⁣ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ තකට තකව ගැලපී සිටියි. අරුමය නම් මේ සබඳතා ඇමරිකාව වෙනුවෙන් නඩත්තු කරන්නේ ට්‍රම්ප් ගේ බෑණා වන ජුදෙව් ජාතික කුශ්නර් විසින් වීමයි. පලස්තීනයට එරෙහිව ජෙරුසෙලම ඊස්රායලයේ අගනුවර කරවීමේ යෝජනාව ටෙල් අවීව් පාලනය විසින් ඇමරිකාවට ඉදිරිපත් කරවන ලද්දේද කුෂ්නර් ඔස්සේය. මේවායේ එකට එකේ සම්බන්ධතාව 100%ක් තේරුම් ගැනීම අතිශය දුෂ්කර වුවත් එකක් නම් පැහැදිලිය.
ඒ, ඊශ්‍රායලය, සෞදි ගෝත්‍රික තන්ත්‍රය සහ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවම වශයෙන් දුරින් පිහිටි ලක්ෂ්‍යයන් තුනකින් දුෂ්ඨ අක්ෂයක් සාදා ඇති බවය. එසේම ISIS සංවිධානය මේ අක්ෂය ඔස්සේ ලොවට හොරා චලනය වන බවය.
(ඡායාරූපයේ ඉන්නේ ඉයද් එල්-බග්දාදි ය. Photo Credit: The Intercept)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා