මැද පෙරදිග ගෘහ සේවයෙන් උපයන මුදලින් ජොලි කරන ලංකාව

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-20 ලංකා පුවත්පතේ පළ විය

විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 ජනාධිපතිවරණ සමයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලද්දේ අදින් අවුරුදු නවයකට පෙර ය. ඔහු ඉන් පසු ද අවුරුදු පයක් ආණ්ඩු කළේ ය. එතැන් සිට මේ දක්වා තවත් ආණ්ඩුවක් තිබිණි. කිසිවෙකු විදේශ ශ්‍ර‍මිකයන් සම්බන්ධයෙන් එවැනි සුබසාධනයක් කර නැත. 
Sinhala Tamil English Translations and Content Writing
විදේශ ශ්‍රමිකයන් රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයයි. 2017 වසරේදී ඔවුන් රටට ඩොලර් බිලියන 7.16ක් රැගෙන ආ හ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා අවශ්‍ය ධනය නිෂ්පාදනය කරන ප්‍රධාන පිරිස විදේශ ශ්‍රමිකයෝ ය. ඔවුන් ගෙන එන මුදල්වලින් සැප විඳින ලංකාවේ ඇමතිවරුන්, නිලධාරීන්, රජයේ සේවකයන් පමණක් නොව පොහොර වැනි සහනාධාර ලබන ගොවීන් හා සමෘද්ධිලාභීන් පවා මෙම විදේශ ශ්‍රමිකයන්ට ණය ය. රජය සෙසු  ජන කොටස් වෙනුවෙන් මෙන් නොව මෙම ශ්‍රමික පිරිස වෙනුවෙන් කිසිදු සුබසාධනයක් නො කරන තරම් ය. එපමණක් නොව විදේශ රැකියා සඳහා යන්නට අපේක්ෂා කරන මිනිසුන් ගැහැණුන් දේශපාලකයන්, නිලධාරීන් හා ඒජන්සිකරුවන් විසින් සූරා කනු ද දක්නට ලැබේ.
මෙම විදේශ ශ්‍රමිකයන් බොහෝ දුරට වහලුන්ට සමාන වන අතර ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තත්වය ඉතා දුර්වල ය. ඔවුන් අතරින් බහුතරය මෙන් ම පීඩිත ම කොටස වන ගෘහ සේවිකාවෝ අනන්ත තාඩන පීඩනවලට ලක් වෙති. 
මඩකලපුවේ ඔට්ටමාවඩිහි පදිංචි මොහොමඞ් අලියාර් කයිරුනිසා වයස අවුරුදු 14ක් ව සිටියදී, ඇගේ වයස 25ක් ලෙස සඳහන් කරන ලද ව්‍යාජ ගමන් බලපත්‍ර‍යක් භාවිතා කරමින් කුවේටයේ ගෘහ සේවිකා රැකියාවකට යවන ලදී. අවුරුදු ගණනාවක් ම වැටුප් රහිතව කුවේට්හි නීති විරෝධී අන්දමින් සේවයෙහි යෙදවීමෙන් අනතුරුව 2016දී ඇය හිස් අතින් ලංකාවට පැමිණියා ය. කුවේට් තානාපති කාර්යාලයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් පසු කලෙක ඇගේ හිඟ වැටුප් ලබා දෙන ලදී.
එහෙත්, රිසානා නෆීක්ට එවැනි වාසනාවක් නොතිබිණි. මූතූර්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික දිළිඳු ගැහැණු ළමයකු වූ රිසානා නෆීක් 2005දී ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබිය වෙත යවනු ලැබුවේ ඇයට වයස අවුරුදු 17ක් වෙද්දී ය.  එසේ යවනු ලැබුවේ ඇගේ වයස අවුරුදු 21ක් ලෙස දක්වන ලද ව්‍යාජ ගමන් බලපත්‍ර‍යක් උපයෝගී කර ගනිමිනි. එහිදී ඇය විසින් කිරි පොවමින් සිටි ළදැරියක කිරි හිර වී මිය යාම නිසා මිනීමැරුම් චෝදනාවට ලක් වූ රිසානා 2009දී හිස ගසා මරා දමන ලදී. මරණීය දණ්ඩනයට ලක් කරන විට ද ඇය 21 හැවිරිදි වූවා ය. දේශපාලකයන් හා නිලධාරීන් ගණනාවක් ඇයට අභය ලබා දීමට යයි විදේශ චාරිකා ගණනාවක් ගිය හ. ඇය මිය ගියා ය.
විශේෂයෙන් ම ගෘහ සේවිකා රැකියා සඳහා කාන්තාවන් විදේශගත වීම අධෛර්ය කරන්නට පසුගිය කාලයේ රජය විසින් බැරෑරුම් පියවර ගන්නා ලදී. 2013දී විදේශ රැකියා ප්‍ර‍වර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් වැදගත් චක්‍රලේඛ දෙකක් නිකුත් කරන ලදී. පළමුවැන්න ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනවලට වන අතර දෙවැන්න නිකුත් කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ය. 2014 ජනවාරි සිට ක්‍රියාත්මක කරන ලද මෙම චක්‍රලේඛ මගින් ගෘහ සේවා ක්ෂේත්‍රයේ විදේශ රැකියා අපේක්ෂා කරන සියලු කාන්තාවන් විසින් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී.
කාන්තා විදේශ ගෘහ ශ්‍ර‍මිකයන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා සත්කාරකත්වය ගැන වැඩි අවධානයක් යොමු කරමින් තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව තහවුරු කිරීම මෙම පවුල් පසුබිම් වාර්තාවේ ඉලක්කය විය. එමගින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ ගෘහ සේවිකාවන් ලෙස සංක්‍ර‍මණය වීම වළක්වන ලදී. වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින කාන්තාවන්ට ද විදේශ ගෘහ සේවක රැකියා සඳහා සංක්‍ර‍මණය වීමට අවසර ලැබෙන්නේ දරුවන් රැක බලා ගැනීමට සෑහීමට පත් විය හැකි වැඩපිළිවෙලක් යොදන්නේ නම් පමණි.
එසේම, පළමු වරට විදේශ ගෘහ සේවිකා රැකියාවක් සඳහා සංක්‍ර‍මණය විය හැක්කේ වයස අවුරුදු 55ට අඩු කාන්තාවන්ට පමණි. එසේම සවුදි අරාබියට යා හැක්කේ වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට පමණි. අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවම වයස අවුරුදු 23කි. සෙසු රටවල් සඳහා 21කි.
පවුල් පසුබිම් වාර්තාව සඳහා ග්‍රාම නිලධාරිවරයාගේ, මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ, රැකියා නියෝජිතායතනයේ, ස්වාමි පුරුෂයාගේ, දරුවන්ගේ භාරකරුගේ (භාරකරු පියා නොවේ නම්) අවසර අවශ්‍ය ය. අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංක්‍ර‍මණය හා සම්බන්ධ සංවර්ධන නිලධාරිවරයා සතුව ය.
මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස 2013 වසරට සාපේක්ෂව 2014 වසරේදී කාන්තා ශ්‍ර‍මිකයන් විදේශ රැකියා සඳහා යාම 6.4%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍ර‍කාශක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා 2015 මාර්තු මස මාධ්‍යවලට පැවසී ය. විදේශ රැකියාවලට පිටත් වීමට පෙර පැවැත්වෙන පුහුණුවීම්වලට කාන්තාවන් සහභාගි වීම ද 34%කින් අඩු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.
පුහුණු ශ්‍ර‍මිකයන් ලෙස කාන්තාවන් විදේශ රැකියා සඳහා යාම දිරිගැන්වීමේ උවමනාවක් රජයට තිබිණි. එය සිදු වී නැත. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ අඩු වැටුප් ලැබෙන නුපුහුණු ශ්‍ර‍මය සඳහා කාන්තාවන් සංක්‍ර‍මණය වීම වැඩි වීම පමණි. 
2017 වර්ෂයට සාපේක්ෂව කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීම 2018 වර්ෂයේදී අඩු විය. එහෙත්, ගෘහ සේවිකා රැකියා සඳහා මැද පෙරදිග යන කාන්තාවන් සංඛ්‍යාව 2017ට සාපේක්ෂව 2018දී 13%කින් වර්ධනය වී තිබේ. 
2017දී කාන්තාවන් 68,319ක් විදේශගත වූ හ. 2018දී විදේශගත වූයේ කාන්තාවන් 66,971ක් පමණි. 
එහෙත්, 2017දී ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව 55,884ක් වෙද්දී, 2018දී එම සංඛ්‍යාව 64,695ක් දක්වා වැඩි වී තිබේ. 
2018දී රැකියා සඳහා විදේශගත වූ ලාංකිකයන් අතරින් 31.7%ක් කාන්තාවෝ ය. විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගෙන් 95%ක් පමණ යන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා ය. 2017දී රැකියා සඳහා විදේශගත වූ කාන්තාවන් අතර ගෘහ සේවිකාවන් සිටියේ 82%ක් පමණි.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය 36%ක පමණ අගයක් ගනී. එය දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව පවා පහළ මට්ටමකි. ආචාර්ය නිශා අරුණතිලක විසින්  2012 සංගණන දත්ත පාදක කර ගනිමින් සම්පාදනය කර තිබෙන Labour Market Characteristics නම් තේමාත්මක වාර්තාවේ දැක්වෙන ආකාරයට කාන්තා ජනගහණයෙන් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.
ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම එක පැත්තකින් කාන්තාවන් බලසතු කිරීමටත්, අනෙක් පැත්තෙන් රටේ සංවර්ධනයටත් විශාල දායකත්වයක් සපයනු ඇත. එහෙත්, ගෘහ සේවිකා රැකියා සඳහා කාන්තාවන් විශාල වශයෙන් විදේශගත වීම ලොකු තේරුමක් ඇති දෙයක් නොවේ.
ලංකාවේ සමාජ සංස්කෘතික පසුබිම තුළ මව පවුලෙන් ඉවත් වී විදේශගත වීම හේතුවෙන් දරුවන්ට සිදු වන බලපෑමෙහි සමාජ පිරිවැය විදේශ විනිමය ආදායමට වඩා වැඩි ය. එහෙත්, විදේශ රැකියා සම්බන්ධයෙන් කාන්තාවන්ට පමණක් සුවිශේෂ නීති පැනවීම වෙනස්කම් කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. දරුවන් හදා වඩා ගැනීම මවගේ පමණක් කාර්යයක් නොවේ.
මෙම ගැටලුවලට විසඳුම ඇත්තේ කාන්තාවන්ගේ අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව සංවර්ධනය කිරීමත්, සෑම ආකාරයක ම රැකියා අවස්ථා ලබාගැනීමට කාන්තාවන් දිරිමත් කිරීමත් තුළ ය. ඒ සඳහා ප්‍රතිපත්ති ගොඩනැගීම රජයේ වගකීමකි. මහජනතාව එයට ආණ්ඩුවට බලපෑම් කළ යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා