Photo: Dinamina
(හැටහත් හැවිරිදි, එහෙත් ඉතා වියපත් ගම්පොළ හුදකලා මවක් ඇය විසින් පන්සාළිස් අවුරුද්දක් රැක බලාගත් ආබාධිත දියණිය මරා දමා ඇත. ඇය පවසන්නේ ඇය නැති කලෙක දුව බලාගැනීමට කවුරුවත් නැති නිසා ඇය එසේ කළ බවයි.)
මේරි නෝනා බලාපන්
මැරුණ උඹ වාසනාවන්
උඹ බලන්නට අරුමයකි
මුළු ගම ම ඇවිදින්
පොලීසියෙ ලොකු මහත්තැන්
එක්ක අර ඇවිදින්
ටයි දමා කළු කෝට් ඇඳලා
නඩුකාර උතුමන්
රාළහාමිලා නිලමෙලා
වැල නොකැඩි මෙහෙ ඇදෙනවා
පොටෝ අල්ලන මහත්තුරු
නුඹේ වගතුග අහනවා
ලෝරි නෝනා නැති කලක
මේරි නෝනා බලන්නට
මේ තරම් මහ සෙනග ඇති බව
හීනෙකින්වත් හිතුව නම්
සදාකාලික ළමා සුරතල්
බලනවා මං මැරෙන කල්
ඒත් මගෙ දරු සිඟිත්තී
උඹට මං විතරයි දුවේ
ඇත්ත ඒකයි දෝනියේ
ඒ නිසා උඹ දුක් නොවන්
බුදුන් බුදුබව දැරූ සමයත්
උඹේ වයසට සමානයි
පිපාසයි මට ක්ලාන්තයි
යන්න කාලය දැන් ළඟයි
උඹත් හිටියා ඇති දුවේ
මං ගිහින් එන්නම්
– අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා