මහින්දගේ කැබිනට්ටුව අර්බුදයේ හා අසරණකමේ කැඩපතකි


මහින්දගේ කැබිනට්ටුව බහුතර බලය පෙන්නීමට අසමත් වීමේ අසරණකම පෙන්නුම් කරන අඩයාලමකි. ශ්‍රීලනිපයෙන් ගැලවී යයි කියා සැක සහිත මෛත්‍රී පාර්ශ්වයේ අයටත්, එජාපයෙන් ගැලවී එන ඕනෑම කෙනෙකුටත් ලෝභ නැතුව ඇමතිකම් දී තිබේ.
එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය අය අතරින් විජේදාස රාජපක්ෂට හැර සෙසු අයට එතරම් වැදගත් අමාත්‍යාංශ ලැබී නැත.
මහින්ද මුදල් ඇමතිකම තමන් සන්තක කරගෙන තිබෙන්නේ පරණ සෙල්ලම වෙනුවෙන් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
තව කැබිනට් ඇමතිවරුන් 18ක් හා කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් 40ක් දිවුරුම් දීමට නියමිත ය. කුමක් කීවත්, මහින්ද බලය තහවුරු කරගතහොත් මේ වටයේ කැබිනට් ඇමතිකම් හිමි කරගන්නා අය ගොඩ යනු ඇත. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිකම් එතරම් වැදගත් නොවනවා මෙන් ම, මේ වටයෙන් ඒවා පවා අහිමි වන අයට ඉදිරියට යන්නට ලේසි නොවනු ඇත. කොහෙන් හෝ හොයා ගන්නා 113ක් අතරින් මහින්දට ඇමතිකම් දිය හැක්කේ 70කට පමණි. ඒ අතර සිය පවුල වෙනුවෙන් හොඳම ටික තමා ළඟ තබාගන්නට ද ඔහු අමතක නොකරනු ඇත.
මෛත්‍රීපාලගෙන් කැඩුණු 15 කණ්ඩායම ඇතුළු මහින්ද වටා සිටි කිසිවෙකුට තවම ඇමතිකම් දී නැත. ඔවුන් සමූහයක් ලෙස ඇමතිකම් නොගන්නේ නම්, එයින් ඇඟවෙන්නේ පත් කර තිබෙන්නේ තාවකාලික බ්‍රොයිලර් ඇමති මණ්ඩලයක් බවයි. එහෙම නම් මේ ඇමති මණ්ඩලයට අබ සරණ ය. මහින්ද අනුගාමිකයන් අතරින් කිසියම් කොටසකට පමණක් ඇමතිකම් හිමි වන්නේ නම්, අහිමි වන කොටසට මහින්දට කළ සේවය කුමක් වුණත් සොරි ඩොට් කොම් ය.
මහින්ද බලය තහවුරු කරගත්තත් ඉදිරි කාලයේදී ඔහු සහ ජනාධිපතිවරයා අතර ගැටුම් අවසන් වන්නේ නැත. එය තුළ තව තවත් නාට්‍ය බිහි වනවා ඇත. මහින්ද සමග යන්නට තීරණය කළ කාට කාටත් බෙල්ල බේරාගැනීම සඳහා ලොකු සටනක් කරන්නට සිදු වනු ඇති බව නියත ය. කෙසේ වෙතත්, ඇමති තනතුරක බලය යනු අනාගත බලය ගොඩනගාගැනීම සඳහා මූලික ආයෝජනයකි.
ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දුන්නත්, මහින්ද තවමත් අගමැති ලෙස බලය තහවුරු කරගෙන නැත. පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය පෙන්වන ලෙස ඔහුට එල්ල වන අභියෝගයෙන් තවමත් ඔහු මගහරිමින් සිටියි. ඔහු පසුපස වැටෙමින් නීතියේ සිදුරුවලින් රිංගා යා හැකි පීචං නීති තර්ක ඉදිරිපත් කරන පිරිස් අතරට ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වූ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ද වැටී තිබෙනු දැකිය හැකි ය. මේ ඊනියා නීති විශාරදයන්ගේ තර්ක අපට ද පහසුවෙන් බිඳ දැමිය හැකි ය. කියවන්න: අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?
එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ අභියෝග කරන්නේ නීති තර්කවලින් මහපොළවේ මෙම ගැටුම විසඳා ගනිමු කියා ය. ඒ වෙනුවෙන් හෙට දින කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කරමින් ඔවුන් හඬ නගන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටයි. මේ වන විට ඔවුන්ගේ ඉල්ලීමට සිවිල් සමාජ සංවිධානවල, ආගමික නායකයන්ගේ හා ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලැබෙමින් තිබෙන අතර එයින් එක්සත් ජාතික පක්ෂ ඉල්ලීමට සුජාතබවක් ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙම අර්බුදය ඇදී යාම රටේ රෝගී ආර්ථිකයට, යහපත් තත්වයක් නොවේ. එබැවින් මෙය ඉක්මණින් විසඳාගත යුතු ය. අප මෙහිදී කියන්නේ සරල දෙයකි. ජනවරමට පයින් ගැසූ ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණයක් මගින් නීත්‍යානුකූලව බලයට පත් වූ ආණ්ඩුවක් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් පහ කිරීමට උත්සාහ කරමින් සිටියි. ඔහු විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ හෝ මෙම අවස්ථාවේදී බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ යුතු ය. පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය පෙන්වීමට ඔහු මැලි වන්නේ ඇයි?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා