විප්ලවකාරිත්වය මානසික රෝගයක් ද? – ශාස්තෘ


කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන අදාළ වන්නේ එකී දේශපාලනයටයි.
ශාස්තෘ නවකතාවේ වස්තු බීජය මා සිත පිළිසිඳ ගත්තේ මහින්ද රාජපක්ෂ රජයේ මර්දනයට බියෙන් මා ඉන්දියාවේ ස්වයං පිටුවහලේ සිටි 2007 වසරේදී ය. එම වකවානුවේදී මා කියැවූ කුෂ්වාන්ත් සිං ලියූ Burial at Sea ආභාසය එයට ලැබිණි.
ශාස්තෘ නවකතාව ලිවීමේදී මට බල පෑ චිත්‍රපටයක් ද තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි.
සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී මානසිකත්වය රෝගයක මට්ටම හා සාමාන්‍ය හෝ විශේෂ හෝ මානසික මට්ටම අතර දෝලනය වන ආකාරය එක් තලයකදී විභාග කිරීමටයි.
භින්නෝන්මාදයේ යම් යම් මට්ටම්වලින් පෙළෙන පුද්ගලයෝ අපට සමාජයේ නිතර හමු වෙති. ප්‍රතිකාර නො ලබන මෙය උත්සන්න වූවෝ තමන්ට පෙනෙන මායා දර්ශන හෙවත් delusions සමග කතා කරමින්, හැසිරෙමින් වීදි සරන අන්දම සුලබ ය.
තමන්ට තිබෙන රෝගය නො හඳුනන තවත් විශාල පිරිසක් විශ්ව ශක්තිය, අද්භූත බල, දේව වරම්, නක්ෂත්‍රය හා ආයුර්වේදය වැනි දේ භාවිතා කරමින් මිනිසුන් අමාරුවේ දමති. මෙවැනි අයට අසු වී රෝග අසාධ්‍ය මට්ටමට පත් කර ගන්නා අය අතර සමාජයේ ප්‍රභූ හා බුද්ධිමත් කොටස් ද සිටිති. අප මෙම බ්ලොගය හරහා අඛන්ඩව මෙම පිරිස්වලට එරෙහිව සටන් කර තිබේ.
ශාස්තෲ නවකතාව එතැනනිනුත් ඔබ්බට විහිදෙමින් සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ඉතිහාසය විසින් සමාජය වෙනස් කිරීම සඳහා වගකීම් පවරා ඇති, යුගයේ කාර්ය භාරය ඉටු කරන බව කියන ශාස්තෘවරුන්, විප්ලවවාදීන් හා වෙනත් එවැනි අයත්, මෙම මානසික තත්වයත් අතර ඇති සම්බන්ධයයි.
සමාජය වෙනස් කිරීම වෙනුවෙන් දිවි කැප කිරීම හා භින්නෝන්මාද තත්වය අතර සම්බන්ධය අතිශය සංකීර්ණ විෂයකි.
අප පෞද්ගලිකව දකින්නේ මෙය කිසියම් සුවිශේෂ මානසික තත්වයක් ලෙසයි. මෙම මානසික තත්වය රෝගයක් බවට පත් වන සීමාව බොඳ වූ කලාපයකි.
ශාස්ත නවකතාවේ ඉන්ද්‍රනාමගේ සිට බොහෝ චරිත මෙකී මානසික තත්වයේ විවිධ මට්ටම්වල සිටින අය වෙති. ඇතැම් විට, මෙය සෑම මිනිසකු තුළ ම ඇති ලක්ෂණයක් විය හැකි ය. මිනිසා සතු, වෙනත් සතුන් සතු නොවන නිර්මානශීලිත්වය හා භින්නෝන්මාදය අතර සම්බන්ධයක් ද තිබිය හැකි ය.
ශාස්තෘ කියවන ඔබට එය ඔබ කැමති අන්දමින් ග්‍රහණය කර ගැනීමට ඇති නිදහස සමග කතුවරයා ලෙස මම කිසිදු අන්දමකින් නො ගැටෙමි. එහෙත්, මේ කතාව මුලින් ම රස විඳි පුද්ගලයා ලෙස මම මා විඳි රසය පිළිබඳ මෙසේ ස්වයං විචාරයක් කිරීම වරදක් කොට නො සලකමි.
ශාස්තෘ නවකතාවේ අත් පිටපත කියැවූ මගේ හිතමිත්‍රයකු කී කාරණයක් වන්නේ මෙය සාහිත්‍ය සමාජය විසින් භාර ගැනීමට ඉඩ ඇති මුත් වාම සමාජය විසින් නම් කිසි සේත් ම භාර නො ගනු ඇති බවයි. මෙය පළ නොකරන ලෙස මගෙන් ඉල්ලා නොසිටීමට තරම් ඔහු ආචාරශීලීවූ බව මට වැටහිණි. ඔහු කී දෙය එසේ ම සිදු විය. එහෙත්, නොනැසී පවතින්නට නම් වාම සමාජය කවදා හෝ මේ පිළිබඳ කතා කිරීමට ආත්ම ශක්තිය උපදවා ගත යුතු ය.
දියුණු සාහිත්‍ය සමාජයක් ලංකාවේ නැත. එය වනාහි දේශපාලන සමාජයේ ම පේනුවක් හෙවත් plugin එකක් පමණි. ලංකාවේ කතා කලාව දියුණු මට්ටමකට ගෙන ආ සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ වැනි අය මාක්ස්වාදී හා ජාතිවාදී පිරිමි ශාස්තෘන්ගේ ගර්හාවට ලක් වන්නේ හා ලාංගනී ප්‍රනාන්දු අබේධීර වැනි අප දන්නා පමණින් ලේඛන කලාව පමණක් කළ ගැහැණු සමාජයේ කිසිවකුගේ ඇගයීමකට ලක් නො වන්නේ ඒ නොදියුණුකම නිසා ය.
ශාස්තෘ පොත මා පළ කළේ කර්තෘ ප්‍රකාශනයක් ලෙස ය. එය අලෙවි කිරීම සඳහා මම එතරම් වෙහෙසක් නොදැරුවෙමි. එකල මා තුළ තිබූ වෙළඳපොළ විරෝධී ඇතැම් ආකල්ප ද එයට හේතු විය. එහෙත්, දැන් මා සිතන්නේ වෙළඳපොළ යනු මෙල්ල කර ගත යුතු රකුසෙකු බව ය. එයට බියෙන් පළා යාමට නොහැකි තරම් වෙළඳපොළ සමාජය තුළ අඬු බඬු විහිදා හමාර ය.
නවකතාව යනු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය යයි ගුණදාස අමරසේකර කීවේ ය. අපි සාහිත්‍යය දේශපාලන අරගලයේ උත්තර අරගලයක් ලෙස ද සලකමු.
මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඔබට ශාස්තෘ මිළ දී ගත හැකි ය. තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගැනීමට ද හැකි ය. විස්තර මෙතැනින්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා